සීතල නවසීලන්තය උණුසුම් කරමින් ශ්‍රී ලංකාව පිටියට

383

ශ්‍රී ලංකා නවසීලන්ත ගැටුමට තව දින 4කි. සීතල නවසීලන්තය උණුසුම් කරමින් ක්‍රයිස්චර්ච් හි ඇරැඹෙන එම ටෙස්ට් ක්‍රිකට් තරගය දෙස ලෝකයම අවධානයෙන් සිටී. එම තරගාවලිය තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියකි. මේ තරගාවලිය දෙස එම අවධානය යොමු වී ඇත්තේ ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය සඳහා මෙම තරගාවලියේ ප්‍රතිඵලය සෘජුව බලපෑම් කරන බැවිනි.

එසේම ඊට බලපෑම් කරන තවත් තරගයක් වේ. ඒ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන බෝඩර් ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයයි. එම තරගය ද තව දින හතරකින් ඇරඹේ. එනම් මාර්තු 9 වැනිදාය. ශ්‍රී ලංකාව හා නවසීලන්තය එදින ක්‍රයිස්චර්ච් හි සටනට පිවිසෙද්දී ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අහමදාබාද් හිදී තරගවැදීමට නියමිතව සිටී.

සැබවින්ම ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එම තරගය ඔස්ට්‍රේලියාවට වඩා වටින්නේ ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ය. මන්ද එම තරගය ජයග්‍රහණය කළහොත් ඉන්දියාවට ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට හැකිය. ඔස්ට්‍රේලියාව දැනටමත් එම කඩඉම පැන ඇත. ඒ පසුගිය සිකුරාදාය. එනම් පෙරේදා ඉන්දියාව පරදා කඩුලු 9ක ජයග්‍රහණයක් ලැබූ ඔස්ට්‍රේලියාව ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට ප්‍රවේශය උදාකර ගත්තේය.

එතැන් පටන් ඔස්ට්‍රේලියාව සමග අවසන් තරගයට එන්නේ කවුරුන්ද යන්න කියා ප්‍රශ්නයක් පැන නැඟුණි. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙකකි. එක්කෝ ඉන්දියාවය. නොඑසේ නම් ශ්‍රී ලංකාවය.

තව දින හතරකින් උදා වන්නේ එම පැනයට පිළිතුරු ලැබෙන කාලයකි. ඊට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාව අඩුවක් නැතිව කළ යුතු දෙයක් ඇත. එනම් නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකම ජය ගත යුතුය. එක තරගයක් ජයගෙන එක තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තද ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසු නොවේ. ඒ කියන්නේ එක තරගයක් හෝ පරාජය වී කොහොමත් බැරිය. ක්‍රයිස්චර්ච් හිදී මෙන්ම වෙලිංන්ටන්වල පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ද ජයගත යුතුමය.

එහෙත් ශ්‍රී ලංකාවට පාලනය කළ නොහැකි තවත් දෙයක් වේ. එනම් ඔස්ට්‍රේලියා ඉන්දියා අවසාන ටෙස්ට් තරගයේ ප්‍රතිඵලයයි. එම තරගය ඉන්දියාව ජයග්‍රහණය කළහොත් ඔවුහු නියත වශයෙන්ම ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග අවසන් මහ සටනට පිවිසෙති. ඒ පිළිබඳ විවාදයක් නොවේ. ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව තරග දෙකම ජයග්‍රහණය කළ ද ඉන්දියාව ඔස්ට්‍රේලියාවට එරෙහි අවසාන තරගය ජයගෙන තිබුණ හොත් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටේ.

යම් හෙයකින් ඉන්දියාව අවසන් ටෙස්ට් තරගය ද පරාජයට පත් වුවහොත් හෝ එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් හෝ ඉන්දියාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව 2-0ක පූර්ණ ජයග්‍රහණයක් නොලබා තිබිය යුතුය. ශ්‍රී ලංකාව 1-0ක ජයග්‍රහණයක් ලැබුවත් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසු වේ.

ඒ අනුව ලබන 09 වැනිදා ඇරඹෙන්නේ ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග දෙකක් වැනි තරග දෙකක් යැයි කීවද වරද නොවේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර නවසීලන්ත සංචාරයට එක් වූයේ පළපුරුදු පිතිකරුවන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වාගේ ගේ ද සහාය ඇතිවය. ඔවුහු ශ්‍රී ලංකාව සතුව සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෝ වෙති. එසේම කුසල් මෙන්ඩිස් ඕෂධ ප්‍රනාන්දු මෙන්ම නවක ක්‍රීඩකයෝ ලෙස මිලාන් රත්නායක සහ නිශාන් මධුශ්ක යන අය ද ඇතුළත් වෙති. ඒ අතරින් නිශාන් දක්ෂ පිතිකරුවෙකි. මිලාන් පන්දු යවන්නෙකි. පන්දු යැවීමේ බලඇණියට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දඟ පන්දු යැවීමෙන් සහය වෙති. නවසීලන්ත තණතීරු කවදත් වේග පන්දුවට හිතකරය. ඒ අනුව කසුන් රාජිත විශ්ව ප්‍රනාන්දු අසිත පනාන්දු සහ ලහිරු කුමාරට වැඩි බරක් පැටවේ.

නවසීලන්තය දැන් සිටින්නේ එංගලන්තයට එරෙහිව අවසන් තරගයේ දී තියුණු ජයක් ලබා ඉහළ මානසිකත්වයෙනි. ඔවුහු අවසන් වරට පැවති නවසීලන්තයේ පැවති ටෙස්ට් තරගාවලිය 11කින් එකක් වත් පරාජයට පත් වී නොමැත. ඒ නිසා මේ තරගාවලිය ශ්‍රී ලංකාවට හිතන තරම් පහසු නැත. එහෙත් නවසීලන්තයට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රදැල්ලේ ක්‍රීඩාංගණයට ගොස් විශේෂ පුහුණුවක් ද ලැබූහ.

දැන් තිබෙන්නේ ඒ පුහුණුවේ සහ තම හැකියාවන්වල සහ අත්දැකීම්වල තරම පෙන්වීමේ කාලයයි. ඒ මත ශ්‍රී ලංකාවට ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට වුවද එන්නට බැරි කමක් නැත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment