ප්‍රසන්න රණතුංගගේ නිවසට  ගිනි තැබූ සිද්ධියේ සැකකරුවෝ අනිද්දා දක්වා රිමාන්ඩ්

120

සැකකරුවන්ට විරුද්ධව කිසිදු සාක්‍ෂියක් නෑ – පොලිසිය වැරැදි ලෙස ඔවුන් අල්ලාගෙන

සැකකරුවන්ගේ නීතිඥ කණ්ඩායම

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අයත් උඩුගම්පොළ පිහිටි නිවස සහ එම නිවස පරිශ්‍රයේ තිබූ වාහන ගිනි තබා විනාශ කිරීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණ සැකකරුවන් සිව්දෙනකුව 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය පෙරේදා (14 වැනිදා) සවස නියම කළාය.

උඩුගම්පොළ, කෙහෙල්බද්දර, වීදියවත්ත සහ මදුරුවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන එල්. කේ. තිලංක විදුරංග, දිනේස් මධුරංග පෙරේරා, කේ. ඉරේස් උදය කුමාර සහ ඒ. පී. නුවන් චම්පික යන සැකකරුවන් සිව්දෙනා මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. සැකකරුවන්ට විරුද්ධව කිසිදු සාක්‍ෂියක් නොමැති බවත් සැකකරුවන්ව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැරදි ආකාරයකට බවත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම අධිකරණය හමුවේ පැවසීය.

අයුතු ජනරාශියක සාමාජිකයන්ව සිටිමින් ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් පිරිසක් විසින් ඉකුත් 09 වැනිදා රාත්‍රි ප්‍රසන්න රණතුංග මහතාගේ තෙමහල් නිවසට, රැස්වීම් ශාලාවට ගිනි තබා ඇති බව පොලිසිය කීය.

එම නිවස පරිශ්‍රයේ තිබූ කන්ටේනර් පෙට්ටි 02 ක්, රාජ්‍ය දේපලක් වූ කැබ් රථ 02 ක්, තවත් කැබ් රථයක්, යතුරුපැදි 30 ක්, ත්‍රීවීල් රථයක් සහ කුඩා ලොරි රථයක් කලහකාරීන් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි ද පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. නිවාස පරිශ්‍රයේ තිබියදී ගිනි ගැනීමට ලක් වූ යතුරුපැදි සහ වාහන එදින (09 වැනිදා) අරලියගහ මැඳුරේ පැවති සාකච්ඡාවට ගිය අයවලුන්ගේ බවට අනාවරණය වී ඇති බව ද පොලිසිය කීය. ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීම් ඒකකය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය අසාර්ථක වූ බව ද පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. පරීක්‍ෂණ අවසන් නොමැති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසූ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම චෝදනා ප්‍රතික්‍ෂේප කළේය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment