පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හරහා ඡන්ද කල් දැමීමේ අවශ්‍යතාවක් නෑ – නීති ප්‍රතිසංස්කරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ

71

දූෂිත දේශපාලන ක්‍රමය හරිමගට ගන්න අධිකරණය මැදිහත් විය යුතුයි
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හරහා ඡන්ද කල් දැමීමට හෝ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවක් නැතැයි අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ප්‍රථමයෙන් නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්ථා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීම සිදු විය. පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාල ඇමැතිවරු පිළිතුරු ලබා දෙනු ලැබීය. ඉන් අනතුරුව 27/2 යටතේ පක්ෂ නායකයන් විසින් අසනු ලබන විිශේෂ ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු ලබා දීම සිදුවිය.

අනතුරුව ජ්‍යෙෂ්ඨ නීතීඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කරමින් අධිකරණ, බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා :

විධායක ජනපතිගේ බලතල 2015 දී අපි අඩු කළා. ඒවා අනෙක් අංශවලට බෙදා හැරියා. විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න මේ පාර්ලිමේන්තුවේ බෑ. ඒ ගැන ක්‍රියාකරනවානම් ජනතාව සමග පුළුල් සංවාදයකට යායුතුයි. මන්ත්‍රීලාට ඕන විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න බෑ. ජනතාවගේ අදහස් ලබාගන්න ඕන.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය 89 සිට ජනතාවට එපා වුණා. මිනිස්සුන්ට වගකියන ක්‍රමයන් ගේන්න කිව්වා. විවිධ නායකයන් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කළා. 2015 දී අපි මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කළා. සදාකාලිකව නොකර සිටිය යුතු නෑ.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට මිශ්‍ර ක්‍රමයක් ගේන්න යෝජනා කළා. මන්ත්‍රීවරු 160ක් කේවල ක්‍රමයෙන් හා ඉතිරි 65න් 5ක් ජාතික ලැයිස්තුවෙන් අනිත් කොටස දිස්ත්‍රික්ක මට්ටමින් තෝරන්න යෝජනා කරනවා.

මීට විවිධ යෝජනා තියෙනවා. සංඛ්‍යාවන් වෙනස් කරන්න සාකච්ඡා කරමු. මේ වගේ පනතක් පාර්ලිමේන්තුවේ කාලය දික්කරන්න බැහැ. 2025 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුයි. ඕන වෙලාවක ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්නත් පුළුවන්.

මැතිවරණ ක්‍රමය මාසයෙන් හදන්න තාක්ෂණය අද තියෙනවා. උපරිමය මාස 3යි. පනත ගේනවාට කිසිම ආකාරයකින් ජනමත විචාරණයකට කතා කළේ නෑ.

නව ක්‍රමය ඇති කළ පසු සුදුස්සන් ජනතාව පත්කර ගනීවි. කාන්තා නියෝජනය කරන නියෝජනය අවශ්‍යයි. එහි ප්‍රතිශත කතා කරලා තීරණය කරමු. සියල්ල විවෘතයි. මේක ජාතික ප්‍රශ්නයක්. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. මේ වගකීම තියෙන්නේ ජනාධිපතිට නොවෙයි අපිටයි. අපි අවශ්‍ය බලය, නීතිය පැනවිය යුතුයි.

(නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

මේ දේශපාලන සංස්කෘතිය සුද්ද කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් විය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි විධායකයට වගකීමක් තියෙනවා, ව්‍යවස්ථාදායකයට වගකීමක් තියෙනවා, අධිකරණයටත් වගකීමක් තියෙනවා මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. අධිකරණය ඒකට ඉදිරිපත් වෙන්නේ නැත්තන් මිනිස්සු මොනවද කියන්නේ ? ජනතාව බලාගෙන ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙලා යම්කිසි විනයක් මේ පාර්ලිමේන්තුව තුළ ඇති කරයි කියලා. අපි අධිකරණයට කියනවා මැදිහත් වෙන්න, මේ දූෂිත දේශපාලන ක්‍රමය හරි මගට ගන්න මැදිහත් වෙන්න කියලා අපි කියනවා. ඒ වගේම ඒ විනිශ්චකාරවරුන්ට මගේ ප්‍රණාමය පුද කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට මම කියනවා මේ අලුත් දේශපාලන සංස්කෘතිය ආරක්ෂා කරන්න. මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේ නැත්තන් 225ට බනිනවා වගේම අධිකරණයටත් ඇඟිල්ල දිගු වේවි.

පළාත් පාලන මැතිවරණය දැන් කල් දාලා. අපි ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අධිකරණය කිව්වා ඡන්දය තියන්න කියලා. නමුත් ආණ්ඩුව සල්ලි දුන්නේ නෑ. ඒ තීන්දුව දුන්න විනිශ්චයකාරවරු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට

ගෙනාවා. ඒක හරිද ? ඒක වැරදියි. විනිශ්චයකාරවරු බය කරන්නයි මෙහෙම කරේ. දැන් ඒක ඉවර කරන්නෙත් නෑ. බය කිරීම ඉවත් කරලත් නෑ. අපි අධිකරණයට කියනවා රටේ ජනතාව මැතිවරණයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. 4 වෙනිදා නඩුව තියෙනවා. ආණ්ඩුව කිව්වොත් සල්ලි දෙනවා කියලා ඡන්දය දෙනවා.

පාර්ලිමේන්තුව නැවත අද (19දා) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment