පාස්කු නඩුවලින් හේමසිරි හා පූජිත් නිදහස් කිරීමට එරෙහි නීතිපතිගේ පෙත්සම් විභාගයට

70

මුස්ලිම් අන්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් 2019 අප්‍රේල් 21 වැනිදා එල්ලවූ එම ප්‍රහාර වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩු කටයුතුවලින් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මඬුලු දෙකක් විසින් නිකුත්කළ නියෝග අභියෝගයට ලක්කරමින් නීතිතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13 දා) තීරණය කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල විනිසුරු මණ්ඩලය හමුවේ එම පෙත්සම් කැඳවිණි. එම පෙත්සම් සම්බන්ධයෙන් විභාගය ලබන ජූලි 04 වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන මහත්වරුන් සමඟ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුලු දෙකක් හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා 864 බැගින් ගොනුකර 2021 වසරේදී නඩු පවරා තිබිණි.

පැමිණිල්ලේ සාක්‍ෂි කිහිපයක් කැඳවීමෙන් අනතුරුව විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට 2022 පෙබරවාරි 18 වැනිදා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුලු දෙක කර තිබූ එම නියෝග අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා එම අභියාචනා පෙත්සම් ගොනුකර තිබුණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment