පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැතැයි යන්න පොහොට්ටුවේත් මතයයි

71

නීතිඥ සාගර කාරියවසම්

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැති බව තම පක්ෂයද ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා කියයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේද කීය.

මේ රටේ රටට ආදරය නැති තමන්ගේ බලයට පමණක් කෑදර පිරිස් අපිව දෙවනි පන්තියට දමලා ඒ සම්බන්ධයෙන් කරුණු කාරණ ඉදිරිපත් කළා බටහිර රටවල්වලට. එහෙම කරපු එක කාණ්ඩයක් තමයි ඒ කාලයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදි සංවිධානය. ඔවුන් ලංකාව ගැන ඉතාම වැරදි ප්‍රචාරණ ජාත්‍යන්තරව සිදුකළා. ඒ මත ලංකාවට ලොකු ජාත්‍යන්තර අපකීර්තියක් ගේන්න ඔවුන් කටයුතු කළා. ඒ වගේම තමයි පසු කාලයක උතුරේ සමහර දේශපාලන පක්ෂ මේ විදිහටම ඉතාම නරක ආකාරයෙන් ලංකාවට විරුද්ධව බොරු ප්‍රචාර කරලා ශ්‍රී ලංකාව දෙවනි පන්තියේ රටක් බවට මතයක් ඇති කරන්න කටයුතු කළා. ඒ වගේම අනික් කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ. මේ වගේ කාරණා නිසා තමයි මේ රට දෙවැනි පන්තියේ රටක් බවට සමහර විදේශිකයින් සිතන්නේ. අපි ආඩම්බර වෙනවා තමන්ට බලය අතට ලැබිලා මේ රට පාලනය කරන්න පටන්ගත්තට පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් ඒ බව අවබෝධ කරගෙන තිබෙනවා මේකේ තිබෙන වැරැද්ද.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ලෝකයේ ජාත්‍යන්තරව පිළිගත්ත විවිධ සංවිධාන මගින් පරීක්ෂණ කරලා තිබෙනවා කියලා ජනාධිපතිතුමා කියනවා. ඒ පදනම මත තමයි එතුමා කියන්නේ මෙහි තවදුරටත් පරීක්ෂණයක් අවශ්‍ය නැහැ කියලා. අපි පක්ෂයක් විදිහට අපි හිතනවා ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැහැ කියන එක. නමුත් මේ කාරණය සම්බන්ධයෙන් කාටහරි හිතෙනවානම් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධත්වයක් දක්වන්නේ නැහැ. අපි එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ නැහැ. අපේ පරීක්ෂණ, විමර්ශන කණ්ඩායම්, බුද්ධි අංශ සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසයක් තිබෙනවා. නමුත් කිසියම් කෙනෙක් හිතනවා නම් එය මදි කියලා රජය විසින් එහෙම ලබාදෙන්න යනවා නම් එයට අපි විරුද්ධ වෙන්නේ නැහැ කියලා අපි පක්ෂයක් විදිහට කියන්නේ. මානව හිමිකම් කොමිසමේ වාර්තා බොරු වාර්තා දෙන්නේ. මහින්ද ජනාධිපතිතුමා යුද්ධය ජයග්‍රහණය කරපු දවසේ ඉඳන් මානව හිමිකම් කොමිසමේ වාර්තා දුන්නේ වැරදි වාර්තා. එය අපි දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් ඒ අවස්ථාවේ විපක්ෂයේ හිටපු නායකයන් ඒක පිළිගත්තේ නැහැ. නමුත් මේ වන කොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ මතයට පැමිණීම සම්බන්ධයෙන් ඇත්තටම ආඩම්බර වෙනවා.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා මෙසේ කීය.

ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් මහතා පැහැදිලිව කියා තිබෙනවා ලංකාවේ ආර්ථිකය යම්කිසි ඉහළ මට්ටමකට ඇවිල්ලා තිබෙනවා කියලා. උද්ධමනය තනි ඉලක්කමකට වැටිලා කියලා එතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම පොලි අනුපාතය අඩුයි කියලා තිබෙනවා. විදේශ සංචිතය ඉහළට ගිහින් තිබෙන අතර විදේශ විනිමය ගලා එනවා.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment