පාස්කු සිද්ධිය ඊබ්‍රාහිම්ලාට ඇප විදේශ ගතවීම තහනම්

83

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් සහ ෂැංග්‍රිලා හෝටල් වලදී බෝම්බ පුපුරුවාගත් ස්වයං ඝාතකයන් දෙදෙනකුගේ පියා සහ සහෝදරයකු දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (25දා) නියෝග කළේය.

ඇප ලබාගැනීමෙන් පසුව සෑම මසකම පළමු හා අවසන් ඉරිදා දිනවල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කොට රුපියල් ලක්‍ෂ දෙක බැගින්වූ මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප තුන බැගින් නියම කොට මොහොමඩ් යුෂුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම්, මොහොමඩ් ඉජාස් අහමඩ් යන විත්තිකරුවන් එලෙස ඇප මත මුදාහැරීමට නියම කෙරිණි.

විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයේ තැන්පත් කරනා ලෙසට එහිදී කොන්දේසියක් පැනවූ මහාධිකරණ විනිසුරුවරයා විදේශ ගතවීම වළක්වමින් නියෝගයක්ද කළේය.

එම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම්කොට තිබූ මොහොමඩ් ඉස්මයිල් ඊබ්‍රාහිම් නමැත්තා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්‍ෂේප කළේය. එකී විත්තිකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා වසර තුනකට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටීම යන කරුණු සුවිශේෂී කරුණු ලෙස තම අධිකරණය පිළිගන්නා බව පෙන්වා දෙමින් විනිසුරුවරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් එම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment