පිළිකා රෝගීන්ට ඖෂධ නෑ

192

සැත්කමකට පසු දෙන වේදනා නාශක නෑ දැඩි ඖෂධ හිඟයෙන් රෝගී ජීවිත අනතුරේ!

බෝනොවන රෝග ඇතුළු තවත් රෝගාබාධ රැසකටම ලබාදෙන ඖෂධ රැසක දරුණු හිඟයක් පවතින බවත්, මෙම තත්ත්වය තුළ රටේ රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරේ බවත් සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ‘දිවයින’ ට ඊයේ (28 දා) පැවැසීය.

පෞද්ගලික ඔසුසල් හිමියන්ට හා ඖෂධ බෙදාහරින රථවලට පෙට්‍රල් හා ඩීසල් අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා වහා ලබාදිය යුතු බවද හෙතෙම කියා සිටියේය.

චන්දික ගන්කන්ද මහතා වැඩිදුරටත් මෙසේද කීය.

පෞද්ගලික ඔසුසල් වලත් දැඩි ඖෂධ හිඟයක් තිබෙනවා. ඖෂධ ගැන අහලා දවසකට දුරකථන ඇමතුම් 300 ක් 350 ක් විතර එනවා. බොහෝදෙනා රෝහල්වල ඖෂධ නැති නිසා ඔසුසල් වලට එනවා. අපි ඒ ඖෂධ හොයාදෙන්න උපරිම උත්සාහ ගන්නවා. හැබැයි ඒ ඖෂධ හොයාදෙනකොට අධික මිලක් දරන්න වෙනවා.

“පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ නැහැ. හතිය ඇති දරුවන්ට ලබාදෙන ඖෂධ නැහැ. රෝගියකුට සැත්කමක් කළ පසු ලබාදෙන වේදනා නාශක ඖෂධ නැහැ. වකුගඩු බද්ධ කළ පසු ලබාදෙන ඖෂධ නැහැ. අපස්මාරය සඳහා ලබාදෙන ඖෂධ නැහෑ. මුත්‍රා අමාරු ඇති රෝගීන් සඳහා ලබාදෙන්න ඖෂධ නැහැ. පෙනහලු ආශ්‍රිත රෝග වලට, ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් උණ රෝග සඳහා ලබාදෙන ඖෂධ නැහැ. නාසය සිරවුණාම ලබාදෙන ඖෂධ (ඩ්‍රොප්) නැහැ. තයිරොක්සින් වැඩිවුණාම එය අඩුකරන්න ලබාදෙන ඖෂධ නැහැ. ඒ වගේම කුඩා දරුවකුට උණ වැඩි වුණාම ලබාදෙන එන්නත් නැහැ. පැරසිටමෝල් එන්නත් නැහැ. රෝගියකුගේ නාසය හරහා දියරමය ආහාර යැවීමට අවශ්‍ය බට නැහැ. මුත්‍රා පිටකිරීමට රෝගියකුට සවිකරන බට (කැතීටර්) නැහැ. ස්නායු රෝග සඳහා ලබාදෙන ඖෂධ නැහැ. ඒ වගේම තවත් ඖෂධ රැසක් හිඟයි. මේ ගැන රජයේ සෞඛ්‍ය බලධාරීන් වහා අවධානය යොමුකළ යුතුයි.

පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහ ඖෂධ බෙදාහරින රථවලට අවශ්‍ය ඩීසල් හා පෙට්‍රල් ලබාදෙන්න කියලා සෞඛ්‍ය ඇමැතිවරයා දැනුවත් කර තිබෙනවා. ඉන්ධන ටික පෞද්ගලික ඔසුසල් වලට සහ ඒවා බෙදාහරින රථවලට ලබානොදුන්නොත් රෝගීන්ගේ ජීවිත තවත් අනතුරේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment