පීක්ම කාලේ ලංකාව දාලා ගියා – කලකට පසු ලංකාවට ආ අනූෂා

196

ඒඩ්ස් ගැන දැනගන්න ස්වර බලන්න

ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා නිළියක් සහ නිෂ්පාදිකාවක් වන නීටා ප්‍රනාන්දු ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු ලබන “ස්වර” සිනමා නිර්මාණය ලෝක ඒඩ්ස් දිනයට සමාගමීව පසුගියදා සිට ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවා. සංජය නිර්මාල් අධ්‍යක්‍ෂණය කර ඇති මෙහි තවත් එක් ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරනු ලබන්නේ කාලයක් අපේ රටේ නිරූපණයෙන් වගේම රංගනයෙන් දැඩි ලෙස කථාබහට ලක්වූ අනූෂා රාජපක්‍ෂය. “ස්වර” තිරගත වෙන්න ඔන්න මෙන්න තියා අනුෂත් ලංකාවට ඇවිත්.

පීක්ම කාලේ ලංකාව දාලා ගියා - කලකට පසු ලංකාවට ආ අනූෂා

● අනූෂා රාජපක්‍ෂ කාලෙකින් රංගනයට දායක වුණු “ස්වර” චිත්‍රපටය තිරගත වෙනවා නේද?

ඔව්. පසුගිය දවසක මාධ්‍ය දර්ශනය පවත්වපු වෙලාවේ හොඳ ප්‍රතිචාර ලැබුණා. මම ප්‍රධාන චරිතයක් කරපු පළමුවැනි චිත්‍රපටය. ඇත්තටම මම හිතුවේ නැහැ ඒ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා.

● අනූෂා ලංකාවට ආවේ කොච්චර කාලෙකට පස්සේද?

මම දැන් ඔස්ටේ්‍රලියාවට ගිහිල්ලා අවුරුදු දහයක් වෙනවා. හැබැයි නිවාඩුවට හැම අවුරුද්දෙම ලංකාවට ආවා. මේ පාර නම් ටික කාලයක් ඉන්න බලාගෙන තමයි ලංකාවට ආවේ.

● ලංකාව දාලා ගියේ ඇයි?

මම විවාහ වුණේ ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය හිමි තරුණයෙක් සමඟ. මගේ මහත්තයා ඔස්ටේ්‍රලියාවේ පදිංචි වෙලා අවුරුදු 25 ක්. අනික කසාද බැන්දට පස්සේ එයාට ලංකාවේ ඉන්න ලොකු වුවමනාවක් තිබ්බෙත් නැහැ. ඒක හින්ද මට යන්න වුණා.

පීක්ම කාලේ ලංකාව දාලා ගියා - කලකට පසු ලංකාවට ආ අනූෂා

● අනූෂා ජනප්‍රියම කාලේ තමයි ලංකාව දාලා යන්නේ?

ඔව්. ඒක ඇත්ත. ඒ කාලේ තමයි මගේ පීක්ම කාලය. “ස්වර” චිත්‍රපටය රූගත කරලා ඉවර වුණ ගමන් තමයි ලංකාවෙන් ගියේ.

● ලංකාව දාලා ගිය එක අපරාධයක් නේද?

අපිට ජීවිත කාලයම රඟපාන්න මොඩ්ලින් කරන්න බැහැනේ. අපේ ලයිෆ් එක අපි සෙට්ල් කරගන්න ඕනෑ. කසාද බඳින්න ඕනෑ. දරුවෝ හදන්න ඕනෑ. හොඳ සැමියෙක් ඕනෑ. ඇත්තටම මාව තේරුම්ගත්ත හොඳ සැමියෙක් මට ලැබුණා. ඉතිං මම පවුල වෙනුවෙන් කැපවුණා.

පීක්ම කාලේ ලංකාව දාලා ගියා - කලකට පසු ලංකාවට ආ අනූෂා

● කාටවත් නොකියම ගියේ ඇයි?

ඔව්. අපි එහෙම ලොකුවට වෙඩින් ගත්තේ නැහැ. පවුල් දෙකේ අය එකතුවෙලා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වලා ෆොටෝ ෂූට් එකක් කරලා යන්න ගියා. අඬබෙර ගහලා ගියේ නැහැ.

● “ස්වර” චිත්‍රපටය තිරගත වීම ගැන මොකද හිතන්නේ?

ලංකාවේ ඉන්න වෙලාවේ මේ චිත්‍රපටය තිරගතවීම ගැන ඇත්තටම සතුටුයි.

● චිත්‍රපටය තිරගත කරනවා කියලා දැනගෙනමද ලංකාවට ආවේ?

නීටා අක්කා මුලින් කියලා තිබුණා. “ස්වර” රිලීස් වෙනවා. පුළුවන්නම් එන්න කියලා. ඉතිං ඒ සියල්ල එක්ක තමයි ලංකාවේ මාස හයක් ඉන්න සැලසුම් කළේ.

● මෙහි ඔබේ රංගනය ගැන ගොඩක් දෙනෙක් කතාබහ වෙනවා?

මාව මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට තෝරාගත්තේ හරිම අහඹු විදිහට. මේ චිත්‍රපටයේ වැඩ කරපු මංජුල අයගම හරහා තමයි මට මේ ආරාධනාව ලැබෙන්නේ. ඊට පසුවයි නීටා අක්කයි සංජය අයියයි මාත් එක්ක කතා කළේ.

● ඒඩ්ස් රෝගය බෝ කරන තරුණියකගේ චරිතයක් රඟපාන්න තියෙනවා කිව්වහම බය හිතුණද?

ඒ කාලේ මගේ ටෙලි නාට්‍ය එහෙම විකාශනය වෙන කාලේ. මගේ පීක්ම කාලයනේ. මට ඇත්තටම බය හිතුණා. ඒත් එක්කම මට හරි ආසාවක් ආවා. “ස්වර” චිත්‍රපටයේ රඟපාන්න.

● ඇයි ඒ?

මොකද නීටා අක්කා, දමිතා අක්කා වගේ ප්‍රවීණයන් යටතේ වැඩ කරන්න ලැබීම ගැන. විශේෂයෙන් මුළු චිත්‍රපටය පුරාවටම මට නීටා අක්කත් එක්ක තමයි වැඩ කරන්න ලැබුණේ. චිත්‍රපටය පුරාවට මේ චරිත සියල්ල එක හා සමානයි. මට ලොකු අභියෝගයක් වුණා මේ චරිතය. මිනිස්සු මට මොනවා කිව්වත් කමක් නැහැ මම මේ චරිතය භාරගන්නවා කියලා හිතුවා. මොකද මේ චිත්‍රපටයෙන් සමාජයට පණිවුඩයක්නේ දෙන්නේ.

● පිටපත අතට හම්බවුණහම ඔබේ චරිතයට කැළලක් වෙයි කියලා හිතුවද?

නැහැ. ඒක පොඩ්ඩක්වත් මගේ ඔළුවට ආවේ නැහැ. නීටා අක්කා වැනි ප්‍රවීණ රංගන ශිල්පිණියක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටු වුණා. මට කිසිම බයක් හිතුණේ නැහැ. ඒ වගේ මගේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියලත් හිතුවේ නැහැ. මට හිතුණේ මේක මට ලැබුණ චැලේන්ජ් එකක් විතරයි කියලා. ඒක මම කොහොම හරි කරනවා කියලයි හිතුවේ.

● රූගත කිරීමේදී මුහුණ දුන් අභියෝග තිබෙනවා ද?

රූගත කිරීමේදී මට අභියෝග වුණ තැන් නැතිවාම නෙමෙයි. මොකද මේ චරිතය ඇතුළේ අපි සැබෑ ජීවිතයේදී අත්නොවිඳපු දේවල් රඟපාන්න තිබුණා. ප්‍රේක්‍ෂකයන්ට “ස්වර” චිත්‍රපටය නරඹන කොට ඒක තේරෙයි. විශේෂයෙන් ඩ්‍රග්ස් වර්ග ශරීරයට ඇතුළු කරගන්න දර්ශන එහෙම තිබුණා. ඒවා මට අධ්‍යක්‍ෂ සංජය අයියා රූපරාමුවලින් පෙන්වලා තමයි රූගත කළේ. ඒත් එක්කම මට කතාවට අනුව ඒඩ්ස් හැදුනාට පස්සේ මගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් වෙනවානේ. ඒකට වේෂ නිරූපණයෙන් මාව ගොඩක් වෙනස් කළා.

● සමාජයට මේ වෙලාවේ දෙන්න පුළුවන් පණිවුඩය මොකක්ද?

අපි හැමෝම මැරෙන මිනිස්සුනේ. අපි අතින් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි වුණා කියලා බයවෙන්න එපා.

හැංගිලා ඉන්න එපා. පසුතැවෙන්න එපා. අපි සමාජයට මුහුණ දෙන්න ඕනෑ. ඒඩ්ස් හැදුනා කියලා මනුස්සයෙක් මැරෙන්නේ නැහැ. මේකට ප්‍රතිකාර කරන්න පුළුවන්. ලෙඩේ හංගාගෙන මානසිකව වැටිලා ඉන්න වුවමනා නැහැ. කොන්වෙලා ඉන්න වුවමනා නැහැ. මොකක් හරි ප්‍රශ්නයකුත් තියෙනවා නම් විසඳුමකුත් තියෙනවානේ. ඒක තමයි “ස්වර” චිත්‍රපටයෙනුත් කියැවෙන්නේ.

● ආපහු රඟපාන්න අදහසක් නැතිද?

බබාට දැන් අවුරුදු තුනයි. ඉස්සර වගේ ෂූටින්වලට වැය කරන්න කාලය දැන් නැහැ. ඒ වැඩකටයුතුත් එක්ක රඟපෑම් වැඩකටයුතු කරන්න අමාරුයි.

● “ස්වර” චිත්‍රපටයේ රඟපාලා කොච්චර කාලයක් වෙනවාද?

ඇත්තටම දුකයි. මම දැන් ලංකාවෙන් ගිහිල්ලත් අවුරුදු දහයක් වෙනවානේ. මේකේ රඟපාපු ගමන් වගේ ලංකාවෙන් ගියේ. ඒ කාලෙම මේක රිලීස් වුණානම් තමයි ප්‍රේක්‍ෂකයන්ට වටින්නේ. HIV ආපු කාලෙම වගේ තමයි මේ චිත්‍රපටය නිර්මාණය වුණේ. මෙච්චර කාලයක් මේක තියාගත්තු එකත් අපරාධයක්.


● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment