පුටුවලින් ගහද්දීත් ජොන්ස්ටන්ට මෛතී‍්‍ර කළා: මා කථානායක කාලයේ කිසිම මන්තී‍්‍රවරයකු අයුතු ලෙස අත්අඩංගුවට ගන්න ඉඩ දුන්නේ නෑ… කරුගෙන් මහින්ද යාපාට ලියුමක්

577

තමා කථානායක ධුරයේ සිටි කාලයේ දී කිසිදු මන්ත‍්‍රීවරයකු අයුතු ලෙස අත්අඩංගුවට ගැනීමට ඉඩ දුන්නේ නැතැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.

 කරු ජයසූරිය මහතා එම ලිපිය යවා ඇත්තේ නව පාර්ලිමේන්තුව ආරම්භ කළ දා සිටම, ‘හිටපු කථානායක වශයෙන් තමාගේ කාලය තුළ මන්ත‍්‍රීන් අත්අඩංගුවට ගැනීම රජයට ඕනෑ ආකාරයකට සිදු වූ බවට’ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් නගන චෝදනා සම්බන්ධව කරුණු පැහැදිලි කරමිනි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

 මට පිළිතුරු ලබාදීමට අවස්ථාවක් නොමැති නිසාත් මෙම චෝදනා සම්පූර්ණයෙන් අසාධාරණ හා ගෙතූ කරුණු නිසාත්, රාජකාරිය හෘද සාක්ෂියට එකඟව ඉටුකළ බවට මා විශ්වාස කරන නිසාත් සත්‍යය තත්ත්වය ඔබතුමාගේ කාරුණික දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කළෙමි. 2015 වසරේ දී කථානායක පුටුවේ වාඩි වූ දින සිට නව කථානායකවරයකු පත් වනතුරු කිසිම අවස්ථාවක කිසිම මන්ත‍්‍රීවරයකු අයුතු ලෙස අත්අඩංගුවට ගැනීමට මා විසින් ඉඩ දුන්නේ නැත. එක් අවස්ථාවකදී චම්පික රණවක ඇමැතිතුමාගේ නිවසට එවැනි දැන්වීමකින් තොරව ඇතුළු වී එතුමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී නීත්‍යානුකූල ක‍්‍රමවේදය නිම කරන තුරු අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වූයෙමි.

 ශ‍්‍රී ලංකා රජයේ වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමා මට පුටුවලින් පහර දෙද්දී එම සිද්ධීන් මෛත‍්‍රියෙන් අමතක කළෙමි. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිතුමා රිමාන්ඞ් භාරයේ සිටියදී එතුමාට මුහුණ දීමට සිදු වූ ගැටලූ මා විසින් පෞද්ගලිකවම විසඳා දුන්නෙමි. මා මෙම කරුණු ඔබතුමාගේ කාරුණික අවධානයට යොමු කරන්නේ දේශපාලනයේදී චරිත ඝාතනය ඉතා පහත් නින්දිත ක‍්‍රියාවක් බව පෙන්වා දීමටයි.

advertistmentadvertistment
advertistmentadvertistment