පුතා මරන්න දෙන්න එපා!

326

හරක් කටාගේ (නඳුන් චින්තක) පියා උසාවියෙන් ඉල්ලයි

අධිකරණ විසින් නිකුත් කර තිබූ රතු වරෙන්තු නියෝග අනුව මැඩගස්කරය ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ සිය පුත්‍රයාගේ ජීවිතය ආරක්ෂා කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගේ පියා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.

සිය පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අධිකරණ වෙත ඔහු ඉදිරිපත් කිරීමට ගරු මහෙස්ත්‍රාත්වරුන්ගේ නිරීක්‍ෂණය සඳහා ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සම මගින් පෙත්සම්කාර නෙල්සන් මර්වින් වික්‍රමරත්න නමැත්තා අධිකරණයෙන් ඉල්ලා තිබිණි. තමන් ඇතුළු පවුලේ ඥාතීන්ට මෙන්ම සිය නීතිඥවරුන්ට ද ඔහු බැලීම සඳහා ඉඩකඩ සලසා දෙන ලෙසට නියෝගයක් කරන ලෙසත් එමගින් ඉල්ලා තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, පොලිස්පති චන්දන වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කවින්ද ජයසේකර සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස, තනුක මාධව නන්දසිරි, ඉරේෂ් සෙනවිරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටීමට නියමිත අතර හදිසි කටයුත්තක් සේ සලකා සිය පෙත්සම කඩිනමින් කැඳවන ලෙසට පෙත්සම්කරුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment