පුරාවිද්‍යාව හා සසුන රැකීම

152

ආචාර්ය ජගත් වීරසිංහගේ කුරුන්දි විහාරය සිංහල බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හැඳින්වීමට දක්වන විරෝධය රුවන්වැලිසෑය ඇතුළු ඕනෑම සිද්ධස්ථානයකට විරුද්ධව දක්වන්න පුළුවන්. ඈත අතීතයේ සිංහල නමින් ජනවර්ගයක් ජාතියක් නොතිබීම එයට හේතුව බව ඔහුගේ මතයයි. එහෙත් මා පෙන්වා දුන්නේ ලෝකයේ අනෙක් අය ඈත අතීතයේ සිටම මේ දේශය සිංහල දේශය ලෙස හඳුන්වා ඇති බවත් මෙරට රජවරු සිංහල රජවරුන් ලෙස මිස ඊනියා වංශික රජවරුන් ලෙස සෙසු ලෝකයා හඳුනා නොගත් බවත් මෙරට ජාතියක් තිබුණු බවත්.

අශෝක රජුවත් වෙනත් රජකුවත් දඹදිව හරි භාරතයේ හරි රජු ලෙස හඳුන්වා දී නැහැ. ඔවුන් වාංශික රජවරුන් වූවා පමණයි. භාරතයේ භාරත් රජකු ගැන කියැවෙන්නේ මා දන්නා පරිදි නම් මහාභාරතයේ පමණයි. එහෙත් හිමාලයේ සිට දකුණේ මහා සාගරය දක්වා පාලනය කළ රජකු ගැන සාක්ෂි නැහැ.

එසේ වුවත් අටවැනි සියවසේ පමණ සිට හින්දු සංස්කෘතික සිද්ධස්ථාන වත්මන් ඉන්දියාව යැයි කියන ප්‍රදේශයේ තිබී ඇති බව පැහැදිලියි. ඒ සිද්ධස්ථාන හින්දු නොවේ යැයි කිසිවකු කියන්නේ නැහැ. එහෙත් ලංකාවේ පෑරණි සිද්ධස්ථාන බෞද්ධ යැයි කී විගස ඇතැමුන් කුපිත වෙනවා. මා කියන්නේ ජගත් වීරසිංහ එසේ කුපිත වී ලියන බව නොවෙයි. එහෙත් ඔහුටත් වත්මන් සමාජයේ පඬි මත බලපානවා.

අද මෙරට සමාජය මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධී. සාමාන්‍ය ජනයා සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන කියන නමුත් (ඔවුන් වචන ඒ අයුරින් යොදා ගන්න බවක් මා කියන්නේ නැහැ) පඬි නැට්ටන් ඉන්නේ චැනල් හතරේ මතයේ. සිංහල බෞද්ධයන්ට මෙරට හිමි විශේෂත්වය නැති කිරීමයි ඔවුන්ගේ අවශ්‍යතාව. ඒ සඳහා දෙමළ වෙල්ලාල ජාතිවාදීන් ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන් ඉන්දියානුවන් ආදී පිරිස් ක්‍රියා කරනවා. බටහිර දැනුම් ආධිපත්‍යය මෙහි දී ක්‍රියාත්මක වෙනවා. ජගත් වීරසිංහටත් ඒ ආධිපත්‍යය බලපානවා. මෙරට අතීතයේ සිට ඇත්තේ සිංහල බෞද්ධ සිද්ධස්ථාන. සිංහල නමින් ජාතියක් නොතිබූ බව කියන්නේ බටහිර ජාතීන් ඇති වූයේ මෑතක බැවින් ඊට කලින් තිබූ සිංහල ජාතියක් ගැන බටහිර දැනුම් ආධිපත්‍යයෙන් නොකියැවෙන බැවින්.

කුරුන්දිය කාලයක් තිස්සේ සිංහල බෞද්ධයන්ගේ අවධානයට ලක් නොවූ බව පැහැදිලියි. එහෙත් රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථානත් එලෙස ම අවධානයට ලක් වුණේ නැහැ. අවධානයට ලක් වීමෙන් පසු ඒ නැවත සිංහල බෞද්ධ සිද්ධස්ථාන වශයෙන් හඳුනා ගැනෙනවා. කුරුන්දියත් එසේමයි. අප දැනගත යුතු කරුණක් නම් වත්මන් නැගෙනහිර පළාතෙන් සිංහල බෞද්ධයන් ඝාතනය කරමින් පළවා හැරියේ බ්‍රවුන්රිග් නම් මිනීමරු වධකයා බව. ඉන් පසු වත්මන් නැගෙනහිර පළාතේ, එනම් රුහුණු රට සිංහල බෞද්ධ සිද්ධස්ථාන වන දෙවියන්ට භාර වුණා. පසුව එහි සිංහල බෞද්ධ රජවරුන් මුස්ලිම් ජනයා පදිංචි කළා. ඉන්පසු ඉංගිරිසින් දෙමළ ජන කොටසක් පදිංචි කළා.

අප දැන්වත් නැගෙනහිර පළාතේ මෙන්ම උතුරු පළාතේ ද සිංහල බෞද්ධ සිද්ධස්ථාන බටහිරයන්ගේ චැනල් හතරේ හා වෙනත් ආයතනවලත් අනුග්‍රහය ලබන දෙමළ වෙල්ලාලයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙළක් යෙදිය යුතුයි. ඉතා පැහැදිලිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එය කෙරෙන්නේ නැහැ. එයට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. එසේ නම් ඒ කළ හැක්කේ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වැනි සංවිධාන සහභාගිත්වයෙන් දානපතියන්ගේ ආධාරයෙන්. රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එවැනි වැඩපිළිවෙළකට වැට බඳින්න. ඔහු කියන්නේ ප්‍රතිපාදන නැති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පමණක් එය කළ යුතුයි කියා. නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තවත් ටිකකුත් අවශ්‍ය කියන්නේ මෙවැනි වැඩවලට බව රනිල් කියවන පොත්පත්වල තියෙනවා ද කියා මා දන්නේ නැහැ.

ඒ අතර රනිල්ට අවශ්‍යයි මේ වැඩකටයුතු කිරීමේ බලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට (අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට) පමණක් සීමා නොකර ඒ බලය විමධ්‍යගත කිරීමට. එය කෝඳුරු තෙල් හත්පට්ටය හොයා ගත්තත් එය විසිකර දමා වස එකතු කිරීම වගේ වැඩක්. නැගෙනහිර හා උතුරු පළාත්වල ආණ්ඩුකාරයන් මහා ඇමැතිවරුන් යටතේ ක්‍රියාත්මක වන නිලධාරීන්ට ඒ බලතල දුන්නොත් කොහොමට හිටීවි ද? ජගත් වීරසිංහ තම ලිපියෙන් කියන්නේ අදාළ බලතල විමධ්‍යගත කළ යුතු බවයි. එය රනිල්ට ඉණිමං බැඳීමක් වෙනවා.

මෙරට ඇත්තේ අඛණ්ඩ සිංහල බෞද්ධ සංස්කෘතියක්. පුරාවිද්‍යා ආඥාපනත මගින් එය පිළිගැනෙන්නේ නැහැ. ආඥාපනත සංශෝධනය විය යුතුයි. සිංහල බෞද්ධ සිද්ධස්ථාන සියල්ල අද පවත්නා සංදර්භයෙහි ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේගේ අධික්ෂණය යටතේ සිදුවිය යුතුයි. මා නිකාය භේදයක් පවත්වාගෙන යෑමට කැමති නැහැ. එහෙත් කුල වශයෙන් නොව උපසම්පදා ක්‍රමය අනුව ආයතන පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් නො වෙයි.

සිංහල බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීම් ආදිය බටහිර පුරාවිද්‍යා දැනුම අනුව සිදු නොවිය යුතුයි. මෙරට පුරාවිද්‍යාවක් ගැන කතා කිරීමට සිදුවන්නේ අප ආර්ය සංස්කෘතියක් අවශෝෂණය කිරීමටත් බොහෝ කලකට පෙර තිබූ සමාජයක් ගැනයි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ වෙහෙර විහාර දාගැබ් නිතර පිළිසකර කෙරුණා. ඒ ඒ රජවරු සමහර විට යම් යම් අංග එකතු කළා. අපේ සංස්කෘතිය ඇණ හිට නැහැ. එය ගලාගෙන යනවා. සිද්ධස්ධානයක් පිළිසකර කිරීම සහ සංරක්ෂණය කිරීම යනු දෙකක්. අවශ්‍ය නම් සංරක්ෂණය කරමින් පිළිසකර කළ හැකි විය යුතුයි.

අපට අවශ්‍ය අභයගිරිය පිළිසකර කර සංරක්ෂණය කිරීමටයි. එහි පැරණි ස්වරූපය එලෙස ම පවත්වා ගෙන යෑම අවශ්‍ය නැහැ. අභයගිරිය කියන්නේ මිසර පිරමීඩයක් නොවෙයි. එය අප අදත් වැඳුම් පිදුම් කරන සිද්ධස්ථානයක්. බටහිර පුරාවිද්‍යාවෙන් කෙරෙන්නේ අභයගිරිය අපේ ජීවමාන සංස්කෘතියෙන් ඉවත් කර මිසර පිරමීඩයක් බවට පත් කිරීමයි.

කුරුන්දිය බුද්ධ ශාසන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර යම් නිකායක භික්ෂූන් වහන්සේ නමකට පැවරීම කළ යුතු දෙයක්. එහි ඇති වරද කුමක් ද? ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය මෙසේයි. “9. ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.”

මෙහි කියැවෙන්නේ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම බවයි. ශාසනය කියන්නේ බුදුදහම පමණක් නො වෙයි. එයට වැඩි දෙයක්. අප දෙවියන්ට පින් දී ඉල්ලන්නේ ශාසනයත් දහමත් රකින ලෙසයි. අප අද ඒ කියන්නන් වාලේ කිවුවත් එහි වැදගත් කතාවක් කියැවෙනවා. රජයත් ව්‍යවස්ථාවෙන් ම සසුන රැකීමට බැඳී ඉන්නවා. සසුන රැකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් පවරන්න බැහැ. ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ නැතිව කෙරෙන සසුන රැකීම මොකක් ද?

1994 දී පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කර ඇමැතිවරයාට බලතල පවරා ගැනීම සඳහා කෙටුම්පත් පනතක් ගෙනාවා. එයට විරුද්ධව අධිකරණයට ගියා. එහි දී අධිකරණය තීන්දු කළා ඒ කෙටුම්පතේ ඇතැම් වගන්ති බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමට විරුද්ධයි කියා. අගමැති දිනේෂ් ගුණවර්ධන මේ නඩුව ගැන හොඳින් දන්නවා.

කුරුන්දිය අභයගිරිය හා අනෙක් සිද්ධස්ථාන සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමයි. එහි පෝෂණය යනුවෙන් ඇති වචනය බරපතළ ලෙස ගන්න ඕන. පැරණි රජවරුන් කෙළේ සසුන සුරක්ෂිත කොට පෝෂණය කිරීමයි. පුරාවිද්‍යා ආඥා පනත නව වැනි වගන්තියට අනුව වෙනස් විය යුතුයි. ජනාධිපති ගැන මා දන්නේ නැහැ. එහෙත් අගමැතිතුමා නම් ඒ සඳහා හදවතින් බැඳී සිටිනවා. ඒ අනුව ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

ජගත් වීරසිංහ සමග මා කැලණියේ දී වැඩ කර තියෙනවා. ඔහු සමග බොහෝ කරුණුවල දී මා එකඟ වී තියෙනවා. සුරේන් රාඝවන් මගේ හිතවතෙක්. මා හිතන පරිදි මෙරට ඉන්න ආචාර්ය උපාධිධාරීන්ගෙන් දැනුමට මගෙන් යමක් එකතු වී ඇති බව කියන්නේ ඔහු පමණයි. අනෙක් බොහෝ දෙනාට මා මිථ්‍යා මතධාරියෙක් කලහකරූවෙක් වැඩකට නැති පුද්ගලයෙක්. ඒ අය ලියන කියන දේට ප්‍රතිචාරයක් දැක්වීමටවත් අවශ්‍ය නැහැ.

පුරාවිද්‍යාව හා සසුන රැකීම

මහාචාර්ය නලින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment