පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ආවේ නැත්නම් අපේ ජීවිත ඉවරයි – බේරුණු අය කියයි

97

පානදුර මුහුදට බිලිවෙන්න ගිය ජීවිත 4ක් බේරාගනී

කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව්දෙනෙකු පානදුර මුහුදු වෙරළේ දිය නෑමට ගොස් රළ පහරට හසුව ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් පෙරේදා (25දා) පස්වරුවේ සමත්ව ඇතැයි පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

එගොඩ ගමගේ රවීන්ද්‍ර (35) සහ නාහගල ගමගේ ජෙනටි්‍ර දිනූෂිකා උදයංගනී (29) නමැති අඹුසැමි යුවළක් සහ දිනූෂිකා උදයංගනී නමැත්තියගේ බාල සොහොයුරා සහ සොහොයුරිය වන නාහගල ගමගේ රොමේෂ් සඳරුවන් (26) සහ නාහගල ගමගේ මයුමි දිම්සරා (13) යන අයවලු‍න්ගේ දිවි මෙසේ බේරාගෙන ඇතැයි සඳහන් වේ. එදින පස්වරු 4.15 ට පමණ වෙරළට ආසන්න මුහුදේ දියනාමින් සිටියදී ක්ෂණික රළ පහරකට හසුව ගසාගෙන යාමේදී පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් වන 69951 පුෂ්පකුමාර, 33628 ලක්මාල් සහ 101557 ධනුක යන නිලධාරීන් ජීවිත ආරක්ෂක උපකරණ උපයෝගී දැඩි පරිශ්‍රමයක් දරා අඹුසැමි යුවළ ගොඩගෙන, ගොඩබිමට පැමිණීමට අපහසුවෙන් සිටි අයිය නගෝ යුවළද වෙරළට රැගෙනවිත් ඇත. සිව්දෙනා මුලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් එක් කාන්තාවකට වතුර වැඩි වශයෙන් පෙවී තිබූ බවත් පොලිසිය පවසයි. මේ පිළිබඳ අදහස් දැක්වූ ඒ.ජී. රවීන්ද්‍ර මහතා. රළ පහරට හසුවෙලා මමයි බිරිඳයි මුහුදට ටිකෙන් ටික ගහගෙන ගියා. අපි ගොඩ එන්න ගොඩක් උත්සාහ කළා. බිරිඳට වතුර පෙවුනා. මම එයාව ගොඩගන්න උත්සාහ කළා. වෙලාවට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ආවේ. ඒ අය නැත්නම් අපේ ජීවිතය ඉවරයි යනුවෙන් පැවසීය.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම සහ පානදුර දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment