පොලු අරක්කු

890

ගල් අරක්කු, පොල් අරක්කු, වයිට් අරක්කු, කසිප්පු යනාදී වශයෙන් අරක්කු ප්‍රභේද කිහිපයක් අවුරුදු 150 ක පටන් ශ්‍රී ලංකාවේ ජන සමාජයට සූර්එක සපයන බවත් අපි දනිමු. අරක්කු යනු මෙයට අවුරුදු දහසකට පමණ පෙර අරාබි ජාතිකයන් විසින් සොයා ගන්නා ලද මද්‍යසාරයකි. මෙය ඉන්දියන් සාගරය සහ අරාබි මුහුදේ වෙළෙඳාමට පැමිණි අරාබි වෙළෙඳුන් විසින් තම තමන් වෙළෙඳාම පිණිස ගොඩබට රටවල්වලට පුරුදු කරන ලදි. මෙහිදී අරක්කු සහ විස්කි වර්ගවල වෙනස අප හඳුනාගත යුතුය. අරක්කු යනු තනිකරම පලතුරු වර්ග පදනම් කරගෙන නිපදවන ගෝඩා හැළියකින් ආසවනය කරගන්නා ස්ප්‍රීතු ය. ඒ අර්ථයෙන් ගන්නා කල රම් සහ ටිකිලා යන මද්‍යසාර වර්ග දෙක ද අරක්කු කැටගරියටම වත්කළ හැකිය. විස්කි පෙරනු ලබන්නේ ධාන්‍යවලිනි. මේවාට පලතුරු එකතු කරනු නොලැබේ. මේ කියන ධාන්‍ය ගෝඩා හැළිය ආසවනය කර එම ස්ප්‍රීතුවලට වතුර දමා විස්කි සාදනු ලැබේ. බ්‍රැන්ඩි පෙරන්නේ මිදි වලිනි. එහෙත් අරක්කු පෙරීමේ ලාභ තාක්‍ෂණයට වඩා දියුණු තාක්‍ෂණයන් ඒ සඳහා භාවිත කරන බැවින් අරක්කු කැටගරියට බ්‍රැන්ඩි වත්කිරීමට නොහැක. අප විසින් ඉහතින් සඳහන් කරන ලද්දේ මීට අවුරුදු දහස් ගණනකට පෙර ‘සුරා’ යන නමින් හැඳින්වෙන වනචාරියකු විසින් ඉන්දියාවේදී හෝ ලංකාවේදී සොයාගත්තේ යැයි කියන මද්‍යසාර පිළිබඳ මූලික කතාව පමණි. මත්පැන් යනු ඉතා සංකීර්ණ කර්මාන්තයකි. ඒ ගැන හදාරන අය පවා වෙරි වෙයි. අපේ අරක්කු පාඩම අදට මෙතැනින් නිම කරන අතර අපි සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන මුඛ්‍ය විෂය වන්නේ වෙනකකි. මේ රටේ මත්පැන් නිපදවන සමාගම් බදු වශයෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 623 ක මුදලක් නොගෙවා මඟහරින බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසා තිබේ. මෙයට අවුරුදු 45 කට පෙර ගල්ඔය සීනි සමාගම විසින් මොලෑෂස් නිපදවන ලදි. මොලෑෂස් යනු උක් පැණිවලින් සාදන මද්‍යසාර බේස් එකකි. උක්පැණි සහ පලතුරු යුෂ අතර වැඩි වෙනසක් නැත. මේ කියන ගල්ඔය අරක්කු බෝතලය මුල්වරට විකුණන ලද්දේ රුපියල් 11.75 කට ය. පසු කාලයේදී ගල් අරක්කු ලෙස ජන වහරට එක්වන ගල්ඔය අරක්කු බෝතලයක අද මිල රුපියල් 3000 ඉක්මවා ඇත. අරක්කු යනු පටස් ගා විකිණෙන භාණ්ඩයකි. බඩට කන්න නැතත් හවසට අරක්කු බෝතලයක් හෝ කසිප්පු බෝතලයක් ගෙදර අරගෙන යන පුරවැසියෝ සිටිති. අප දන්නා පරිදි ආණ්ඩුව අරක්කු සමාගම්වලින් ඉල්ලා ඇත්තේ එම සමාගම් විසින් විකුණන ලද අරක්කුවලට අයවිය යුතු බදු මුදල ය. එබැවින් ගල් අරක්කු පොලු අරක්කු බවට පත් වී තිබේ. ලංකාව වැනි කුඩා ආර්ථිකයක් ඇති රටකට රුපියල් බිලියන 6.23 ක් වැනි පොල්ලක් දරා ගැනීමට නොහැක. දැනට රටේ ආර්ථිකය පත් වී තිබෙන තැනේ හැටියට රුපියල් කෝටි 623 ක් නොව රුපියල් 623 ක පාඩුවක්වත් දරා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පැති දෙකක් ඇත. ඉන් පළමුවැනි පැත්ත වනුයේ පිටරටවලින් මුදල් ණයට ගෙන ගෙවා ගැනීමට නොහැකි වීමය. දෙවැනි පැත්ත වන්නේ රටට ලැබෙන්නට තිබෙන සල්ලි නොපැමිණීමය. මෙයට කලකට පෙර එක්ස්ප්‍රස් පර්ල් නමැති බඩු නැව ලංකා මුහුදු සීමාවේදී ගිලුණේය. කොළඹ වරාය ආසන්නයේදී ගිනිගත් මේ නැවෙන් නයිටි්‍රක් ඇසිඩ් ටොන් 25 ක් ද, ප්ලාස්ටික් කැබලි බිලියන 50 ක් ද පරිසරයට එකතු විය. මේ ප්ලාස්ටික් කැබලි තවමත් 100% ක් ඉවත් කර නැත. එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් පරිසරයට සිදු වූ හානිය ඩොලර් බිලියන 7 කි. එහෙත් ඒ නැවේ අයිතිකාරයන් ඩොලර් මිලියන 3.7 ක් පමණක් ලංකාවට ගෙවා මාරු විය. මේ හෙණගහන අපරාධය පිටුපස දේශපාලනඥයන් සහ වෙනත් බ්‍රෝකර්ලා විශාල පිරිසක් සිටියහ. ඇතැම් බ්‍රෝකරයෙක් ඩොලර් මිලියන 250 ක් පගාව වශයෙන් ගෙන වැඩේ යටගැසූ බව දැන ගන්නට තිබේ. එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය වන ඩොලර් බිලියන 7 ක මුදල මේ මොහොතේදී ලංකාවට ලැබුණේ නම් එමගින් විශාල සහනයක් ලබා ගැනීමට අපට හැකි වේ. ඩොලර් බිලියන 7 ක් නොව ඩොලර් බිලියන 1 ක් වුව ණයට ලබා ගැනීම සඳහා ලෝකය වටේ යමින් හිඟා කෑ යුතුය. යම් යම් මූල්‍ය වෙළෙඳපළවල අප රෙජිස්ට්‍රර් වී ඇති නිසා කිසිම කෙනෙක් අපට මුදල් ණයට දෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වෙනත් රටවලදී විකුණන විට මේ ප්‍රශ්නය පැන නැගී. කිසියම් රටක් භාණ්ඩාගාර බිල්පත් ඇමරිකන් ඩොලර් ගෙවා මිලට ගන්නේ එම භාණ්ඩාගාර බිල්පත කල් පිරුණු පසු රෙද්දක් බැනියමක් මිලට ගැනීමටත් ඉතිරි සල්ලි ඊළඟ රෙද්දක් බැනියමක් මිලදී ගැනීම සඳහා ආයෝජනය කිරීමටත් ය. එහෙත් එම මුදල නිසි කලට ඒ රටට නොලැබුණු විට ඒ සඳහා මුදල් ආයෝජනය කළ මිනිසාට සිදුවන්නේ රෙදි බැනියම් ලබා ගැනීමට නොහැකිව හෙළුවෙන් සිටගැනීමට ය. ශ්‍රී ලංකාව යනු දුන් ණය ලබා ගැනීමට නොහැකි රටක් ලෙස රෙජිස්ට්‍රර් වන්නේ මේ අනුවය. එවිට දැඩි ලෙස කෝපයට පත්වන එම නිරුවත් මිනිසා හෙවත් රට හෝ මූල්‍ය ආයතනය හෝ අප පොලු කාරයන් බව ප්‍රසිද්ධ කරයි. පසුගිය ආණ්ඩුව යටතේ ගෙවීමට තිබූ විදේශ ණය වාරික නිසි ලෙස ගෙවා ගැනීමට නොහැකි වීම නිසා අපේ ඇතැම් ණයකාරයන් අපට එරෙහිව පිටරට උසාවිවල නඩු පවා පවරා ඇත.

රටට අයවීමට ඇති බදු සල්ලි හෝ වෙනත් සල්ලි අයකර ගැනීමට ආණ්ඩුව කුමක් හෝ දැඩි පියවරක් අනුගමනය කළ යුතුය. සාමාන්‍යයෙන් නිවාස ණයක් ගෙන බොහෝ අමාරුවෙන් ගෙයක් හදන ආණ්ඩුවේ ක්ලාක් මහත්තයාට එම ණය නිසි ලෙස ගෙවීමට බැරි වූ විට බැංකුව කරන්නේ ගෙහිමියා කනෙන් ඇද පාරෙහි තබා ඔහුගේ ගෘහ භාණ්ඩ ඔහු වටේ තබා එම ගෙය වෙන්දේසි කිරීමය. එහෙත් අරක්කුකාරයන් අල්ලා ඔවුන්ගේ දේපළ පවරාගෙන ඒවා විකුණා බදු අයකර ගැනීමට ආණ්ඩුවට හැකි බවක් නොපෙනේ. එක්ස්ප්‍රස් පර්ල් නැවේ මව් සමාගමට ගොස් එහි සිටින සේවකයන් සහ එහි තිබෙන ගෘහ භාණ්ඩ එළියට දමා බිල්ඩින් වෙන්දේසි කිරීමට ලංකාවට බලය නැත. ඒ නිසා කුමක් හෝ විකල්ප වැඩපිළිවෙළකට ගොස් ලංකාවට අයවීමට තිබෙන මුදල් ලබා ගැනීමෙන් කිසියම් සහනයක් රටට ලබා ගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment