පොහොර ඉල්ලා අනුරාධපුරේ ජනතාව පාරට බසිති

279

මිහින්තලේ – රංග චතූ

වගාවට අවශ්‍ය පොහොර ටික ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගොවීහු පිරිසක් ඊයේ (5දා) අනුරාධපුර නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

පොහොර නොමැතිවීම හේතුවෙන් මේ වන විට තම වගාවන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවත්, ඇතැම් වගාවන්වල අස්වැන්න නොමැති වී ඇති බවත් උද්ඝෝෂකයෝ මෙහිදී පැවැසූහ.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සහ කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා.

පොහොර ඉල්ලා අනුරාධපුරේ ජනතාව පාරට බසිති



‘‘අද මේ ගොවි ජනතාව පාරට බැහැලා තියෙන්නේ වගාවට අවශ්‍ය පොහොර ඉල්ලලා. ඒ ඇරෙන්න වෙන කෙන්ගෙඩියක් ඉල්ලලා නෙවෙයි. මේ ගොවි ජනතාව කරගෙන ගිය වගාව දැන් එක තැනම නැවතිලා තියෙන්නෙ. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනලා වගේ දෙයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගෝඨාභය මහත්තයා මේ ගොවි ජනතාවට ඇනලා තියෙන්නේ. දැන් මේ ජනතාව හාන්සි කරලා තියෙන්නෙ. මේ යල කන්නයේ වී අස්වැන්න අඩු වේගෙන යනවා. අද එළවළු කිලෝ එක රුපියල් තුන්සීයයි. මිරිස් ටිකට ගොයම් ගස් ටිකට එළවළු ටිකට සුදුසු පොහොර නැතුව මිනිස්සු ලත වෙනවා. ඒ අතරෙ ගෝඨාභය මහත්තයා කියනවා මම තමයිලූ හොඳටම කරේ. ඔව් හොඳට කරලා තියන හරිය පේනවා. පොහොර ටික කපලා, තෙල් මිල වැඩි කරල, ගෑස් මිල වැඩි කරලා ප‍්‍රමාණය අඩු කරලා, හාල් වලට ගැසට් පහක් ගහලා, ඒත් හාල් මිල පාලනය කර ගන්න බැහැ. ලැජ්ජ නැතුව කියනවා මම තමයිලූ හොඳටම කරේ කියලා.

පොහොර ඉල්ලා අනුරාධපුරේ ජනතාව පාරට බසිති

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා –

‘‘ආණ්ඩුව දැන් නිවේදන නිකුත් කරනවා” මමයි අපේ සමන්ත විද්‍යාරත්න සහෝදරයායි අත්අඩංගුවට ගන්නවා කියලා. ආණ්ඩුව හිතන්න ඇති එහෙම නිවේදන නිකුත් කළාම ඊට පස්සේ අපි හැංගෙයි කියලා. අපි මීට පස්සේ පාරට බහින්නෙ නැති වෙයි කියලා. අපි පසු බසී කියලා. නෑ, මෙන්න ඉන්නවා පොලිසියේ මහත්තුරුත් මෙතන ඉන්නවා, ගනිල්ලා ඇවිල්ලා, ගනිල්ලා අපි උඹලට කියනවා අපි ඕන දේකට සූදානම්, මේ වගේ සෙල්ලම් විජ්ජාවල් දාලා අපි අත්අඩංගුවට ගන්න බැහැ. අපේ ගමන අඩපණ කරන්න බෑ. අපේ පිටිපස්සේ මේ ගොවි ජනතාව ඉන්නවා ඒ නිසා මේ ගොවියන්ගෙ සටන මොට්ට කරන්න උඹලට බැහැ.

අපි ආණ්ඩුවට නැවත නැවතත් අනතුරු අඟවනවා මේ උද්ඝෝෂණයේ ජේ. වී. පී. කාරයෝ, යූ.එන්.පී. කාරයෝ, ශ‍්‍රී ලංකා කාරයෝ, පොහොට්ටු කාරයෝ ඉන්නවා. මෙතන වැඩිපුරම ඉන්නේ පොහොට්ටු කාරයෝ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එක එක පාට ලේබල් අලවලා මේ අසරණ ගොවි ජනතාවගේ සටන කඩාකප්පල් කරන්න හදන්න එපා. දැන් මේ වෙන කොට රට හැම තැනම තියෙන කුණු කන්දල් ඉඩම් සුද්ද කරලා නොමිලේ පස් ටික අරං ගිහිල්ලා ඒකට කුකුල් පොහොර, දහයියා කවලම් කරලා, සහල් අඩ කරල කාබනික පොහොර කියලා, උරවල දාල මේ ගොවි ජනතාවට ලබා දෙන කූට ව්‍යාපාරයක් රට පුරා ක‍්‍රියාත්මක වෙනව දැන්.

කාබනික වගාවට අපි කොතැනකවත් විරුද්ධ නැහැ. අපි වසර ගාණක් තිස්සේ ඒ වෙනුවෙන් පෙනී සිටිය ව්‍යාපාරයක්. ඒත් මේ කාබනික පොහොරවලට එක එක ලෙඩ එනවා, කෘමි ලෙඩ එනවා. වෙනත් ලෙඩ රෝග එනවා. මොනවද ඒ සම්බන්ධයෙන් හදලා තියෙන වැඩපිළිවෙළ. අද රටේ ජනතාව ගොවිතැනෙන් ඈත් වී ගෙන යනවා. බීජ අලවිය අඩුවෙලා තිබෙනවා. මේ කරලා තියන හානියට ආණ්ඩුව වන්දි ගෙවන්න පොරොන්දු වුණා. අපි කියනවා කරුණාකරලා මේ වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න කියලා.

අද රට හැම තැනම ගොවිජනතාව උද්ඝෝෂණය කරන කොට පාරට බහිනකොට පෙළපාලි යන කොට මේ පිටිපස්සේ ඉන්නේ අපි කියලා කියනවා. පිටි පස්සේ ඉන්නේ අපි නෙමෙයි ඔන්න අපි ඉස්සරහින්ම ඉන්නවා. දැන් ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කියනවා කපුටෙක් මරලා තට්ටක් එල්ලූවාම අනිත් කපුටො බය වෙනවලූ, ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායකවරයාට අපි කියනවා කපුටා බය වුණාට අපි කපුටො නෙවෙයි හො`දද. කපුටු තට්ටට කපුටො බය වුණාට ඔය වගේ සිල්ලර දේවල් වලට උඹලගේ සෙප්පඩ විජ්ජාවලට බය තියෙන මිනිස්සු නෙවෙයි මේ අද පාරට බැහැලා ඉන්නේ.

දූෂණ විරෝධී හ`ඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා

අද මේ ගොවි ජනතාව අනුරාධපුර නගරයට රැුස් වෙලා ඉන්නේ මේ ගොවියෝ හඬගාලා කියන්නේ උඹලගෙ ක‍්‍රමය අසාර්ථක වෙලා තියෙන්නෙ කියලා. අද ගොවි බිම්වල වගාවේ පැල ටික එකතැන නැවතිලා තියෙන්නේ. උඹලගෙ බත් පත අඩු වෙන කොට, බඩගිනි වෙන කොට උඹලට රටින් ගෙනල්ලා කන්න පුළුවන් වුණාට ගොවියට එහෙම රටින් ගෙනත් කන්න බැහැ. ගොවියා මහ පොළොව අස්වද්දලා තමයි කන්න ඕනේ. ඒ නිසා උඹලා දෙන පොහොර ටික ගොවි ජනතාවට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප‍්‍රමාණයට දීපල්ලා කියලා අපි කියනවා. දැන් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ කට්ටියක් අත්අඩංගුවට ගන්න යනවා. අපි ආණ්ඩුවෙන් අහනව ගොවි බිමේ හිටපු ගොවියෝ ඇයි උඹලා පාරට ඇදලා දැම්මේ කියලා. ගොවියට අවශ්‍ය පොහොර ටික දුන්න නම් අද ගොවියෝ මේ පාරේ නැහැ. ගොවියන්ට දැන් කරන්න තියෙන්නේ කාරණා දෙකයි. එක්කෝ සටන් කරලා පොහොර ටික ගන්න ඕනේ. නැත්තම් ගොවි බිමේ මියැදෙන්න ඕනේ.

දහසකට ආසන්න ගොවීහු පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටි අතර ඔවුන් ඊයේ (5දා) අනුරාධපුර නව නගරයේ උද්ඝෝෂණයේ නිරතවීමෙන් අනතුරුව නව නගරයේ සිට මෛත‍්‍රීපාල සේනානායක මාවත ඔස්සේ සටන් පාඨ කියමින් පෙළපාලියේ පැමිණ පොලිස් වටරවුම අසලින් මාර්ග මාර්ගය හරස් කර උද්ඝෝෂණයේ නිරත වූහ.

මේ හේතුවෙන් අනුරාධපුර නගරයේ දැඩි රථවාහන තදබදයක් හටගත් අතර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන නිලධාරීන් පැමිණ එම රථවාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරවීමට කටයුතු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment