බංකොලොත් රටේ වේදිකාවත් බංකොලොත්… – රවීන්ද්‍ර ආරියරත්න  

204

පවතින දේශපාලන ආර්ථික අර්බුදකාරී බව අනෙකුත් ක්‍ෂේත්‍රවලට මෙන්ම කලාවටත් තදින්ම බලපාල. ඒ අතරින් වේදිකාව පමණක් වෘත්තීය කරගත් කලාකරුවෝ වගේම තිරය පිටුපස ශිල්පීන් පත්වෙලා ඉන්නෙ අවාසනාවන්ත තත්ත්වයකට. වගකිව යුතු අයත් නිහඬවෙලා ඉන්න මොහොතක අපි ඔවුන්ගේ හඬ අසන්න වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂ රවීන්ද්‍ර ආරියරත්නට කතා කළා.


 මොකද වෙන්නෙ මේ දවස්වල?

 පසුගිය වසරවල මේ කාලයත් එක්ක බලද්දී බින්දුවට ම වැටිලා තියෙන්නෙ. ගිය මාස දෙක තුනේ දර්ශන වාර දෙක තුනක් හරි තිබුණා. මේ මාසයට දැනට එකක් විතරයි තියෙන්නෙ. ඒකත් පැවැත්වෙයිද නැද්ද කියලා කියන්න බැහැ. සංවිධායකවරුන්ටත් දැන් මේක කරන්න පුළුවන්කමක් නැහැ. තනි පුද්ගලයකුට කොහෙත්ම කරන්න බැහැ. නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණ හරහා මේ සිදුවෙන දේ ගැන කිව්වා. නමුත් බහුතර ජනතාව ඒවා තේරුම්

 නොගන්න එකත් අද මේ තත්ත්වයට හේතුවෙලා තියෙනවා. බංකොලොත් රටක අනෙකුත් ක්‍ෂේත්‍ර වගේම කලාවත් ඊට අදාළ වේදිකාවත් බංකොලොත් වෙනවා. එහෙම රටක මිනිස්සුන්ට කලාව” සංකෘතිය රසවින්දනය ගැන හිතන්න පුළුවන්කමක් නැහැ. තමන් ප්‍රශ්න ගොඩක ඉන්න අතර රසවින්දනය ගැන හිතන එක විහිළුවක්. අද වේදිකාව ගොඩ ගන්න එක ගැන හිතනවාට වඩා ආර්ථික දේශපාලන අර්බුදයෙන් මේ රට ගොඩගන්න කලාකරුවන් වශයෙන් අපි දායක වෙන්නෙ කොහොමද කියන දේ ගැන අපිට හිතන්න සිදු වෙලා. මේ නිසා අද බොහෝ ශිල්පීන්ගේ වේදිකාව අරගල භූමිය බවට පත්වෙලා.

බංකොලොත් රටේ වේදිකාවත් බංකොලොත්... - රවීන්ද්‍ර  ආරියරත්න  

රටේ තත්ත්වය රූපවාහිනී ශිල්පීන්ට වඩා වේදිකාවේ ශිල්පීන්ට ලොකු අර්බුදයක්?

 වේදිකාවත් එක්ක ප්‍රේක්‍ෂකයා දකින්නෙ ශිල්පීන් විතරයි. නමුත් තිරය පිටුපස ඉන්න පිරිස ඊට වඩා විශාලයි. පෝස්ටර් ගහන අය” රංග වස්ත්‍ර නිර්මාණය” ආලෝක කරණය” පසුතල නිර්මාණය” වගේ බොහෝ පිරිසක් ඊට ඇතුළත් වෙනවා. මේ අය වේදිකාවෙන් තමයි තමන්ගේ පවුල් නඩත්තු කළේ. ඒ අයට තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය අහිමි වීම ඛේදවාචකයක්. අපි හිතන්නේ නැහැ මේ කිසිම දෙයක් රජයේ වගකිව යුත්තන්ට දැනෙනවා කියලා.

 බොහෝ දෙනෙක් ණය බරින් පීඩා විඳිනවා?

 මම හිතන විදිහට ණයක් වෙලා නැති කෙනෙක් මේ රටේ නැහැ. ඕනෑම කෙනෙක් ලෝන් එකක් හෝ දෙකක් අරගෙන ඇති. මේ ආසාවට නෙමෙයි තමන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන්. ඒ ණය ගන්නෙ තමන්ගේ ආදායම් මාර්ගයෙන් ගෙවන්න හිතාගෙන. ඒ ආදායම අහිමි වුණ තැනදී ඔවුන් පත්වෙන්නේ මොනවගේ පීඩාවකට ද කියලා හිතාගන්න අපහසු නැහැ. අද ඔවුන් අන්ත අසරණ වෙලා. මේ පීඩනය දරාගන්න බැරිතැන” ඇතැම් ශිල්පීන් තමන්ට කොහෙත්ම නොගැළපෙන සුදුසු නොවන වෙනත් විකල්ප වෘත්තීන්වලට යොමු වෙලා.

 ඇතැම් පසුතල නිර්මාණ විනාශ වෙමින් යනවා?

 දැන් බොහෝ නිර්මාණවලට දර්ශනවාරයක් ලැබෙන්නේ මාසෙකට වතාවත්. සමහර නිර්මාණවලට ඊටත් වඩා වැඩි කාලයකින් තමයි ආරාධනයක් ලැබෙන්නේ. ඒ අවස්ථාවලදී මේ පසුතල නිර්මාණ පිරිසිදු කරල ගන්න පැය ගණනාවක් මහන්සි වෙන්න සිදු වෙනවා. ඒ අතර සමහර ඒවා මීයන් කාලා. සමහර ඒවා වැස්සට තෙමිලා දිරාපත්වෙලා. මේ හැම දේකින්ම සිදු වෙන්නෙ නාට්‍යකරුවා තව තවත් අසරණ වෙන එකමයි.

 අවසර ලැබී තිබුණත් නාට්‍ය පැවැත්වෙන්නේ නැහැ?

 අපිට නාට්‍යයක් වේදිකා ගතකරන්න නම් කොළඹ හෝ ඉන් පිට නාට්‍යයක් සංවිධානය වෙන්න ඕන. ඒ වගේම ඒ නාට්‍ය රස විඳින්න ප්‍රේක්‍ෂකයන් අතේ මුදල් තියෙන්නත් ඕන. ඉස්සර අපිට නාට්‍ය ගැන අහල දවසට දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් එනවා. ඒ වගේ පනහක් ආවොත් විසි පහක්වත් සංවිධානය වෙනවා. නමුත් අද ඉඳහිටවත් නාට්‍ය ගැන අහල දුරකථන ඇමතුමක් එන්නෙ නැහැ.

 ඔබ ඇතුළු ශිල්පීන් කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ?

 පෞද්ගලිකව මම සහ මගේ බිරිඳ රැකියාවක නිරත වෙනවා. ඒ නිසා අපිට ලොකු බලපෑමක් නැති වුණත් වේදිකාවම වෘත්තීය කරගන්න ශිල්පීන් මේ තත්ත්වයට මුහුණ දෙන්නෙ ඉතාමත් අසීරුවෙන්.

 රටක් කඩා වැටෙද්දී හැම ක්‍ෂේත්‍රයක්ම වගේ ජනතාවගේ ජීවිතය කඩා වැටෙනවා. කලාකරුවෝ වුණත් මේ අවස්ථාවේ මොනයම් හෝ වෘත්තීයක නිරත වෙලා තමන්ගේ ජීවිකාව වෙනුවෙන් සටනක් කරන්න සිදුවෙලා.

 මේ තත්ත්වයෙන් ගොඩ එන්න ශිල්පින්ගේ යෝජනා මොනවද?

 මූලිකවම මෙතෙක් පවත්වාගෙන ආපු ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන. ගාමිණී හත්තොටුවගම ශිල්පියා වීදි නාට්‍ය කළා වගේ වෙනස්ම ක්‍රමවේදයක් සකසා ගන්න ඕන. එකිනෙකා තනි ගමනක යද්දී සාකච්ඡාවක් සිදු වෙන්නෙ නැහැ. මූලිකවම ශිල්පීන් එකට එකතු විය යුතුයි.

 ප්‍රේක්‍ෂකයාගේ රසවින්දනයේ මට්ටමත් මේ තත්ත්වයට බලපෑවද?

 ප්‍රේක්‍ෂකයාගේ රස වින්දනය සියයට සියයක්ම මෙතැනදී බලපෑවා කියලා කියන්න බැහැ. නමුත් යම් ප්‍රමාණයකට බලනොපෑවා කියලා කියන්නත් බැහැ. ඒක වෙනම ම මාතෘකාවක්. ඒක දැනගෙන තමයි අපි නිර්මාණකරණයේ යෙදුණෙ. නමුත් නාට්‍යකරුවාගේ

 කැපවීම නිසාම මෙතෙක් දුර ඇඳගෙන ආවා. රස වින්දනය පැත්තෙන් ගත්තාම ඒක අපේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලුවක් නිසා ඇති වුණ දෙයක්. දරුවෙක් කුඩා කාලයේදීමයි රස වින්දනයට හුරු කරන්න ඕන. වැඩුණු මිනිසකුට රස වින්දනය හුරු කිරීම අපහසු දෙයක් නෙමෙයි.


 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment