බංග්ලාදේශයට අපි ගරු කරන්නේ ඇයි? විනිසුරුවරුන්ටත් මීට වඩා දෙයක් කරන්න තිබුණා – ෂකීබ්ගේ දවා ගැනීම ගැන මැතිව්ස් කියයි

4593

බංග්ලාදේශය සමග පෙරේදා පැවැති තරගයේදී ෂකීබ් අල් හසන් තමාව දවා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේදී විනිසුරුවරුන් ද මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබුණු බව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ “ටයිම්ඩ් අවුට් දවාගැනීම”ට හසු වූ පළමු ක්‍රීඩකයා වූ ඇන්ජලෝ මැතිව්ස් එම තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

ෂකීබ් ඉල්ලීම සිදු කළ වහාම දැවී යෑම තීන්දු නොකර විනිසුරුවරුන් තාක්ෂණයේ සහාය පැතීම සිදු කළ යුතුව තිබුණු බවද ඔවුන් එය අඩුම තරමේ තෙවැනි විනිසුරුවරුන් ලවා හෝ පරීක්ෂා කළ යුතුව තිබූ බවද මැතිව්ස් පැවසීය.

මැතිව්ස්ගේ හිස්වැසුම් පටිය කැඩී ඇති බව මැතිව්ස් විනිසුරුවරුන්ට සහ ෂකීබ්ට පැහැදිලි කිරීමෙන් පසු ඔහු දැවී යෑම සම්බන්ධව කළ ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීම සඳහා විනිසුරුවරු ෂකීබ්ට අවස්ථාව ලබා දුන් නමුත් ෂකීබ් එය කළේ නැත.

විනිසුරුවරුන් මැතිව්ස්ගේ පැත්ත වෙනුවෙන් සිදු කළේ එපමණකි.

මරායස් එරස්මස් සහ රිචඩ් ඉලිංගර්වත් පිටිය මැද විනිසුරුවරුන් ලෙස කටයුතු කළ අතර තෙවන විනිසුරු ලෙස නිටින් මෙනන් කටයුතු කළේය.

අඩ්‍රියන් හොල්ඩ්ස්ටොක් හතරවෙනි විනිසුරු ලෙස කටයුතු කළේය.

“හතර වැනි විනිසුරුත් මෙතන වැරදියි. වීඩියෝ සාක්ෂි පෙන්නුම් කරන්නේ හෙල්මට් එක දුන්නට පස්සෙත් මට තව තත්පර 5ක් තිබුණා කියලයි! කරුණාකර 4 වැනි විනිසුරුට මෙය නිවැරදි කළ හැකිද? මම කිව්වේ ආරක්ෂාව ප්‍රධානයි මොකද මට හෙල්මට් නැතුව පන්දු යවන්නාට මුහුණ දෙන්න බැහැ. මම කිසි දෙයක් වැරදියට කළේ නෑ. මට මිනිත්තු දෙකක් තිබුණා ක්‍රීස් එකට යන්න. මම ඒක කළා. ඒ අතර තමයි උපකරණවල දෝෂයක් පැමිණියේ.” ඔහු පෙන්වා දුන්නේය.

“මේ හැසිරීම පැහැදිලිවම ෂකීබ් සහ බංග්ලාදේශ කණ්ඩායම නින්දාසහගත තත්ත්වයට පත් කළා. ඔවුන්ට මේ ආකාරයෙන් කඩුලු දවා ගැනීමට අවශ්‍ය නම් එතන විශාලා වැරැද්දක් සිද්ධවෙලා තියනවා. බංග්ලාදේශය ක්‍රීඩා කරපු විදිහ හරිම බලාපොරොත්තු සුන්කරනසුලුයි… සිතා මතා කාලය නාස්ති කරමින් පිටිය තුළ බාධා ඇති කළා නම් ප්‍රශ්නයක් නැහැ. මෙය තේරුම් ගත යුතුයි. විනාඩි දෙකක් ඇතුළත මම ක්‍රීස් එකේ හිටියා, මම ක්‍රීස් එකේ ඉද්දි තමයි මගේ හෙල්මට් එක කැඩිලා ගියේ. විනිසුරුවරු මේක දැක්කා. මට තව තත්පර පහක් ඉතුරු වෙලා තිබුණා.

“මම හෙල්මට් එක පෙන්නුව විනිසුරුවන්ට. ඔවුන් කිව්වා බංගලාදේශ කණඩායම දැවී යෑම සම්බන්ධව ඉල්ලීමක් කළ බව. ඉතින් මම ඇහුවා මගේ විනාඩි දෙක ගියේත් නෑ. සාමාන්‍ය දැනීමවත් නැත්තේ ඇයි කියලා.” මැතිව්ස් කීවේ ඒ අවස්ථාව ඔහුට පැහැදිලි කිරීමට වචන නැති බවය.

“මට ඒක පැහැදිලි කරන්න වචන නැහැ. මගේ අවුරුදු 15ක ක්‍රීඩා කාලය තුළ මම කවදාවත් කණ්ඩායමක් හෝ ක්‍රීඩකයෙක් මෙතරම් පහත් තත්ත්වයකට වැටෙනු දැකලා නැහැ.”

“අවාසනාවකට හිස් ආවරණයේ පටිය කැඩුණේ බංගලාදේශයට එරෙහි තරගයේ දි. මම හිතන්නේ නැහැ ලෝකයේ වෙනත් කණ්ඩායමක් මේ වගේ අවස්ථාවක මේ විදිහට හැසිරෙයි කියලා, මොකද ඒක ඉතා නිශ්චිතව පෙනෙන ආකාරයට උපකරණ දෝෂයක්. එය ක්‍රීඩකයෙක් ලෙස මගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මම දන්නවා මට හෙල්මට් එකක් නැතුව පන්දු යවන්නන්ට මුහුණ දෙන්න බැහැ.”

මතභේදාත්මක තත්ත්වය හමුවේ ෂකීබ් පිළිබඳ ඔහුගේ අදහස වෙනස් වූ බවත් මැතිව්ස් පැවසීය.

“අද වනතුරුම මම ඔහුට සහ බංග්ලාදේශ කණ්ඩායමට උපරිම ගෞරවයෙන් සැලකුවා. ඒත් අද සිට එය වෙනස්. ඔයාලා හැමෝම ක්‍රීඩා කරන්නේ දිනන්න. ඒක නීතිරීති ඇතුලේ නම් පැහැදිලිවම හොඳයි. නමුත් අද මගේ සිද්ධියේදී විනාඩි දෙකක් ඇතුළත මම පැහැදිලිවම ඒ නීති රාමුව ඇතුළෙ හිටියා. අපි ළඟ වීඩියෝ සාක්ෂි තියෙනවා, මා මෙතෙන්ට ඇවිත් එක එක දේවල් කියවනවා නොවේ. මම සාක්ෂිත් එක්කයි කතා කරන්නේ. මුළු සිද්ධිය ඇතුළෙම මට තප්පර පහක් ඉතිරි වෙලා තියෙනවා.”

“ඔව්, ෂකීබ්ට තමන් කළ ඉල්ලීම ඉල්ලා අස් කරගැනීමේ විකල්පය තිබුණා. මෙය කාලය නාස්ති කිරීමක් නොවන බව ඔහු දැන සිටියා. මගේ කාලය තුළ මා සිටියා. මම කාලය නාස්ති කිරීමට හෝ ඉන් වාසියක් ලබා ගැනීමට උත්සාහ කළේ නෑ…”

ශ්‍රී ලංකා කණ්ඩායම ද තරගයෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායමට අතට දෙන්නට ක්‍රීඩාගාරයේ ප්‍රවේශය වෙත පැමණියේ නැත.

මැතිව්ස් සිය කණ්ඩායමේ මෙම ප්‍රතික්ෂේප කිරීම පැහැදිලි කළේය.

“අපිට ගරු කරන මිනිස්සුන්ටයි අප ගරු කරන්න ඕනේ, ඔවුන් ක්‍රීඩාවට ගරු කළ යුතුයි.”

“විනිසුරුවරු ඇතුළුව අපි හැමෝම මේ ලස්සන ක්‍රීඩාවේ නියෝජිතයෝ, . ඔබ අනෙකාට ගරු නොකරන්නේ නම් සහ ඔබේ සාමාන්‍ය බුද්ධිය භාවිතා නොකරන්නේ නම්, ඔබට තවත් කුමක් ඉල්ලා සිටිය හැකිද?”

කුෂාන් සුබසිංහ දිල්ලි සිට

advertistmentadvertistment
advertistmentadvertistment