බහුතරයක් ඡන්දෙ දුන්නෙ පිච්චුණ ගෙවල් හදා ගන්න සහ වාහන පර්මිට් එකට – මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

126

පාර්ලිමේන්තුවේ ඊයේ පිළිබිඹු වුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ

අරගලයක් කරලා පෙළපාලි ගිහින් කිව්වේ හොරු පන්නන්න කියලා

රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරයක් ඡන්දෙ දුන්නෙ තමන්ගේ පිච්චුණ ගෙවල් හදා ගැනීමට සහ වාහන පර්මිට් එක ලබාගැනීමට මෙන්ම තවදුරටත් බලයේ සිටින්න යැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21 දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ඊයේ දිනයේ අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණා. එතුමාට අපි සුබ පතනවා, රට ගොඩගන්න ශක්තිය ලැබෙන්න කියලා. අපි සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් විපක්ෂය විදියට සහාය දෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේ රටේ මතයද පෙන්නුවේ… නෑ. අද මේ රටේ මතය පාර්ලිමේන්තුවේ පිළිබිඹු වුණේ නැහැ.

ජනතාව එදා හිටපු ජනාධිපතිව පැන්නුවා. ඒ ජනාධිපති පත්කරපු මන්ත්‍රීවරුන් තමයි පාර්ලිමේන්තුවේ වැඩිපුර ඉන්නේ. නමුත් අරගලයක් කරලා පෙළපාලි ගිහින් කිව්වේ හොරු පන්නන්න කියලා. අද එසේ වුණේ නැහැ. හොරු ටික එකතු වෙලා එක් කෙනෙක් පත්කළා. ජනතාව බලාපොරොත්තු වුණේ පිරිසිදු දේශපාලන ගමනක්. ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාත් පිරිසිදු ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාත් ඉදිරිපත් වුණා. අපේ පක්ෂය සත පහක් වියදම් කරේ නැහැ. අපිට ඕන ජනතාවගේ මතය නැවත නැවතත් පාර්ලිමේන්තුවේ තිබෙන වාතාවරණයක්.

ඊයේ ඡන්ද ප්‍රතිඵලය තුළින් පිළිබිඹු වුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද නැහැ. බහුතරයක් ඡන්දෙ දුන්නෙ පිච්චුණ ගෙවල් හදා ගන්න. ඒත් ඒකට අපි විරුද්ධ නෑ, වාහන පර්මිට් එක ලබාගන්නත් සහ තවදුරටත් බලයේ ඉන්නයි. අපි බලනවා කටයුතු කරන ආකාරය. ඊයේ 63ක් ඉඳපු විපක්ෂය 90ක් දක්වා වැඩි වුණා.

මෙහි දී විපක්ෂය විදියට ආණ්ඩුවට කරදර කරන්නේ නෑ. ආණ්ඩුවේ වැඩපිළිවෙළ දිහා අපි බලන් ඉන්නවා පෝලිම්වල මිනිස්සු දුක් විඳින විට කොමිස් ගහනව ද කියලා බලන් ඉන්නවා. අපේ රජයක් ආවා නම් අපි බලාපොරොත්තු වුණේ අමාත්‍ය මණ්ඩලය පහළොවකට සීමා කරන්න. රාජ්‍ය අමාත්‍ය ධුර නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදෙන්නේ නැහැ කියලා අපි එකඟවුණා. පත්වෙන කැබිනට් ඇමතිවරුන්ටත් වාහන පඩි නැතිව වැඩ කරන්න එකඟ වුණා. අපි විපක්ෂයේ කාර්යභාරය රට ගොඩ නඟන්න අවශ්‍ය සහාය දෙනවා.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ආදර්ශමත් තීරණයක්. ඊයේ දිනයේ එය ගත්තේ මහා සංඝරත්නයේ ඉල්ලීම අනුවයි. ඔහු අඩියක් පිටිපස්සට ගත්තා. නිවැරදි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනවා නම් අපි සහාය දෙනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න. අපිට අගමැතිකම භාරගන්න කියලා ආරාධනා කළොත් පක්ෂයේ එකඟතාවයක් අනුව සාකච්ඡා කරලා තීන්දු ගන්නවා. අපි දැක්කා ඊයේ හිටපු අගමැතිවරයා කිව්වා අපි ඩලස්ව දැම්මා. ඔහු පැරදුණා කියලා ඒ ප්‍රකාශය අපි පිළිගන්නේ නැහැ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment