බැරි නම් යුනිෆෝම් ගලවලා ගෙදර යන්න – ඇමැති ටිරාන් අලස් කුරුවිට කමිටු රුස්වීමකදී කියයි

155

හරියට වැඩකරන පොලිස් නිලධාරීන් රැකගන්න මමයි පොලිස්පතියි ඉන්නවා

කාගෙවත් බලපෑම්වලට යටත්නොවී පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තමන්ගේ වගකීම ඉටුකරන්න. ඒ වගකීම ඉටු කරන්න බැරිනම් ඔබලා ඔය යුනිෆෝම් එක ගලවලා ගෙදර යන්න. සියලු පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ව ආරක්ෂා කරන්න මමත්, දේශබන්දු තෙන්නකෝන් මහතාත් බැඳී ඉන්නවා….” යැයි මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය.

රත්නපුර කුරුවිට ප්‍රදේශයේ කමිටු නිලධාරීන් හා සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී පෙරේදා (23 දා) ඔහු එසේ කීය.

අමාත්‍යවරයා මෙසේ ද කීය.

“අපි මේ කරන මෙහෙයුම්වලට කොයි තරම් බාධා ඇති කරනවද? ෆේස්බුක් හරහා පොලිස්පතිතුමාට බනිනවා. එක්කො මට බනිනවා. පොලිස්පතිතුමාව අයින් කරන්න ඕනෙ කියලා කියනවා. මේ ඔක්කොම කරන්නේ කුඩු සල්ලි හින්දා. කුඩු විකුණන සමහර මිනිස්සු දේශපාලනඥයන් අල්ලනවා. නීතිඥවරුන් අල්ලනවා. ඒ අය හරහා මේක නවත්වන්න උත්සාහ කරනවා.

“ජාත්‍යන්තරයෙන් අපට බලපෑම් එනවා. රතු නිවේදන නිකුත්කරනවා. මට ලියුම් එනවා. ඔය කව්රු බලපෑම් කළත් නිවේදන නිකුත්කළත් මෙහෙයුම් නවත්වන්නේ නැහැ. දේශපාලනඥයෝ කෝල්කරලා මේදේ කරන්න කිව්වොත් ඒව කරන්න එපා.

පොලිස්පතිතුමාත්, මමත් නිරන්තරයෙන්ම එස්.ටී.එෆ්. එක වෙනුවෙන් පෙනී සිටිනවා. එස්.ටී.එෆ්. එකේ ඉන්න ඔබලාව අප අනිවාර්යයෙන්ම ආරක්‍ෂා කරනවා. ඒ නිසා තමන්ගේ වගකීම යුතුකම රට වෙනුවෙන් ඉටු කරන්න.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා “ලෝකයම කළඹවපු සිද්ධියක් අපිට ආරංචි වුණා. රුසියාවේ මොස්කව් නුවර විශාල ප්‍රසංගයක් පැවැත්වෙන අතරතුර අන්තවාදීන් 4 දෙනෙක් ගිහිල්ලා තුවක්කු අරගෙන හිස ඇරිච්ච අතේ වෙඩි තිබ්බා. ඒ මිනිස්සු කිසිදු වරදක් කරලා නැහැ.

නිකන් මේ සංගීතය බලන්න ආපු මිනිස්සුන්ටයි මේ වෙඩි තියන්නේ. ඒ මිනිස්සු කිසිදු වරදක් කරලා නැහැ.

“ලංකාවෙත් පාස්කු ප්‍රහාරයක් වුණා. ආගම අදහන්න පල්ලි ගිය මිනිස්සු තාත්තලා අම්මලා දරුවො එක්ක ඉද්දි බෝම්බ පුපුරන්න පටන් ගත්තා. ඒක තමයි කියන්නේ අන්තවාදී හා ත්‍රස්තවාදී ප්‍රහාරවල ස්වභාවය. රුසියාවේ ඉන්න ඇමෙරිකානු ජාතික බුද්ධි අංශ විසින් මෙය අනාවරණය කරගෙන තියෙනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment