බොරැල්ලේ ‘බිම්සර’ට වෙඩි තැබීම වනාතේ ‘චතූ’ගේ වැඩක්

976

● ඇප පිට ආවේ සති කීපයකට පෙර

● දුරකථන ඇමතුමකින් 5 මහලේ සිට පහළට ගෙන්වාගෙන

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ මහල් නිවාසයකට පෙරේදා (19 වැනිදා) රාත්‍රියේ කඩාවැදී ‘බිම්සර’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට වෙඩි තබා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය වනාතමුල්ලේ චතූ නමැති පාතාල නායකයාගේ කල්ලිය විසින් සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ‘බිම්සර’ නමැත්තා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ බවයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බිම්සර නමැත්තා කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරීමෙන් පසු නිවසට පැමිණ ඇත්තේ මීට සති කීපයකට පෙරය.

පසුව ඔහු ග්‍රෑන්පාස් හි සිය පදිංචිය වෙනස් කර බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි මහල් නිවාසයක 05 වැනි මහලේ නිවසක කුලී පදනම මත පදිංචියට පැමිණ ඇත්තේ ඉකුත් 05 වැනිදාය.

පෙරේදා රාත්‍රි 11.00ට පමණ බිම්සර සිය බිරිඳ සහ දරුවන් සමග මහල් නිවාසයේ සිටියදී ඔහුගේ ජංගම දුරකථනය වෙත ඇමතුමක් ලැබී ඇත. එම ඇමතුමින් පසු ඔහු මහල් නිවාසයේ පස්වැනි මහලේ සිට පහළ ම මහල වෙත පැමිණ ඇත්තේ කිසියම් පුද්ගලයකු හමුවීම සඳහාය.

එහෙත් පහළ මහලේ දී එහි පැමිණ සිටි පාතාල සාමාජිකයකු බිම්සරට පන්න පන්නා වෙඩි තබා ඇත. වෙඩි ප්‍රහාරයට ලක්වූ බිම්සර 05 වැනි මහල තෙක් දිවගොස් දිවි ගලවාගෙන තිබේ.

පසුව පවුලේ සාමාජිකයන් විසින් බිම්සර කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

බිම්සරගේ පපුව සහ දෙපා ප්‍රදේශවලට වෙඩි ප්‍රහාර කීපයක්ම එල්ලවී තිබිණි.

බොරැල්ලේ චන්දු සහ චුට්ටන් විසින් නායකත්වය දෙන පාතාල කල්ලිය සමග බිම්සරගේ ආරවුලක් පැවති අතර මීට වසරකට පමණ පෙර බේස්ලයින් පාරේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් එම ආරවුල ඇති වී තිබූ බවද පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයට අදාළ සීසීටීවී දර්ශන පොලිසිය වෙත ලැබී ඇති අතර ඒ ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment