මගේ චරිතය ගොඩනගා ගන්න පල්ලවිගෙන් ලොකු සහයෝගයක් ලැබුණා – හේමාල් රණසිංහ

527

කෞෂල්‍යා වික්‍රමසිංහ සම නිෂ්පාදනයෙන් දායක වුණු සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය හා සිංහල හා දමිළ ගීත එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණා. ඊට අමතරව පළමු වරට මෙම ද්විභාෂා සිනමා නිර්මාණය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වුණා. එළැඹෙන ජූනි 23 වැනිදා ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලාවල ඉන්දියාවට සමගාමීව තිරගතවීමට නියමිත සෙකන්ඩ් ෂෝ සිනමා නිර්මාණයේ අත්දැකීම් ගැන ප්‍රධාන නළු හේමාල් රණසිංහ මාධ්‍යයට මෙලෙස පවසා සිටියා.

 විශේෂයෙන් මම මේ වෙලාවේ සෙකන්ඩ් ෂෝ සිනමා නිර්මාණයේ සම නිෂ්පාදිකා කෞෂල්‍යා වික්‍රමසිංහ මහත්මියට ස්තූතිවන්ත වෙනවා මාව මේ චිත්‍රපටයට තෝරාගැනීම පිළිබඳව. සෙකන්ඩ් ෂෝ සිනමා නිර්මාණය ගැන පළමු සාකච්ඡාව ආරම්භ වන්නේ 2019 වසරේදී. ද්විභාෂා චිත්‍රපට අපි මීට දශක කිහිපයකට පෙර දැකලා තියෙනවා. ඊට පස්සේ අපි දැක්කේ නෑ. ඒ තෝට් එක ආපහු මේ වගේ අවස්ථාවක ආපු එක ගැන මම ඇයට බොහොම ස්තූතිවන්ත වෙනවා.

මගේ චරිතය ගොඩනගා ගන්න පල්ලවිගෙන් ලොකු සහයෝගයක් ලැබුණා  - හේමාල් රණසිංහ

අද අපේ රටේ තිබෙන දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වෙලා තියෙන අවස්ථාවක දී මම හිතන්නේ අපිට කලාවෙන් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කළයුතුම කාලයක් කියලා. ඉතිං මේ වගේ කාලයක චිත්‍රපට නිකුත් කරන්න අපිට හෘදසාක්‍ෂියට එකඟව ලොකු අමාරුවක් තියෙනවා. නමුත් මම හිතනවා ලෝකෙ අර්බුද අපි හැම කාලයකම දැකලා තියෙනවා. මේ අර්බුදවලට මුහුණ දෙන්න ආර්ට් තමයි මිනිස්සු පාවිච්චි කළේ. ඉතිං ඒක නිසා මේකත් ඒ වගේ ජයග්‍රහණය සනිටුහන් කරන්න පුළුවන් සන්ධිස්ථානයක් හැටියට තමයි මම දකින්නේ. ඉතිං මේ මොහොතේ විඩාවට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට පුංචි හරි සැනසීමක් ලබාදෙන්න මේ චිත්‍රපටයට හැකිවෙනවා නම් ඒක තමයි අපේ ජයග්‍රහණය. මම ඇත්තටම මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වයත් එක්ක චිත්‍රපටයක් ගැන කතා කරන මානසිකත්වයක නෙමෙයි ඉන්නේ. මම මුලින් කිව්වා වගේම අපිට මෙතැනින් එහාට මේ ප්‍රශ්නය විසඳගන්න වෙන්නේ කලාවෙන්ම තමයි කියලා මම විශ්වාස කරනවා. ඒකට මේක යම්තාක් විදිහට සහයෝගයක් වේවි.

 චිත්‍රපටය කොහොමද කළේ කියලා අහපු ප්‍රශ්නයට තමයි මම වෙන මොනවාදෝ කතා කළේ යනුවෙන්ද ඔහු සිනහසෙමින් පැවැසීය.

 චිත්‍රපටය සම්බන්ධයෙන් ගත්තහම ඇත්තටම මේක ලෙහෙසි පහසු කටයුත්තයක් නෙමෙයි. භාෂා දෙකකින් චිත්‍රපටයක් කරනකොට භාෂාව හසුරුවන්න ඕනෑ. අපේ මැනලිසම් එකක් තියෙනවා. අපේ බිහේව් එකක් තියෙනවා. දැන් අපේ සංස්කෘතිය ඇතුළේ මිනිස්සු හැසිරෙන විදිහක් තියෙනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට මිනිස්සුන්ගේ සංස්කෘතිය වෙනස් වෙනවා, භාෂාව වෙනස් වෙනවා. එතකොට රටකින් රටකට ඒක තවත් වෙනස් වෙනවා. ඉතිං ඒකත් එක්ක ඉන්දියානු චිත්‍රපටයක් සහ ලාංකීය චිත්‍රපටයක් කරනකොට ඒ ඉන්දියානු චිත්‍රපටය ඇතුළේ භාෂාව හුරුව, ඒ අංගිතයන් මේ සියළු දේවල් ලංකාවේ අපිට බොහොම වෙනස්.

 ඒකෙම අනෙක් පැත්ත ගත්තහම අපේ භාෂාව, අපේ අංගිතයන් අපිට දැනෙන විදිහ අපි ප්‍රකාශ කරන විදිහ මේ සියළු දේවල් වෙනස්. මේ විදිහේ නිෂ්පාදනයක් ඇතුළේ චිත්‍රපට දෙකක් එකම මොහොතක එකම දර්ශන තලයක් ඇතුළේ කරන කොට සංස්කෘති දෙකක් කියන්නේ විශාල අභියෝගයක්. ඒ අභියෝගය ඉතාම කෙටි කාලයක් ඇතුළත අපිට කරන්නත් වුවමනායි. ඒක ජයග්‍රහණයක් කරන්න අපිට හොඳ ටීම්වර්ක් එකක් තිබුණා. ඒක තමයි මේකේ තිබුණ ලස්සනම දේ. අපිට අසල්වැසි රටේ ඉන්න අපේම මිනිස්සු එක්ක වැඩකරනකොට ලැබෙන අලුත් අත්දැකීම් බොහොම ලස්සන අවධියක්. ඉතාම බැරෑරුම් අභියෝගයක්. කොහොම හරි ඒ අභියෝගය ජය අරගෙන චිත්‍රපට දෙකම රූගත කිරීම් සිදුකළා. සතුටක් දැනෙනවා මේ චිත්‍රපට දෙකම තිරගතවීමට නියමිතවීම සම්බන්ධයෙන්. 23 වැනිදාට තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ.

මගේ චරිතය ගොඩනගා ගන්න පල්ලවිගෙන් ලොකු සහයෝගයක් ලැබුණා  - හේමාල් රණසිංහ



 මගේ භාෂාව සිංහල. ඉතිං මගේ හුරුව, මගේ දිව සිංහල. මම දමිළ භාෂාව හසුරුවනකොට ඒක මොනතරම් හොඳට කරලා තියෙනවාද නැද්ද කියන එක ප්‍රෙක්ෂ්කයන්ට භාරයි. ඒ පිළිබඳව මම දැන්ම කතා කරන්න යන්නේ නැහැ. ඒ පිළිබඳව ප්‍රේක්ෂකයන් කතා කරන්න චිත්‍රපටය බැලිය යුතුයි. එතැනදී මම විශේෂ ආරාධනයක් කරනවා ප්‍රේක්ෂකයන්ට මුලින්ම දමිළ චිත්‍රපටය නරඹන්න කියලා. ඒ චිත්‍රපටය ඇතුළේ අපි කරන්න පුළුවන් උපරිම දේ කරන්න උත්සාහ කළා. ඒ භාෂාවට අනුගත වෙන්න මම උත්සාහයක් දැරුවා. ඒක මගේ විතරක් කාර්යයක් නෙමෙයි. ඒක ටීම් වර්ක් එකක්. කණ්ඩායම් හැඟීමෙන් කරපු දෙයක්. ඒක කොච්චර සාර්ථකද කියලා බලන්න ඔබ සිංහල චිත්‍රපටයත් අනිවාර්යයෙන්ම බලන්න. ඒක නිසා මම ආරාධනා කරනවා චිත්‍රපට දෙකම බලන්න කියලා. මේක පර්යේෂණාත්මක වැඩක්. මේක ඉදිරියටත් යා යුතුයි. ඔබගේ ගුණfදාස් අපිත් සමග කතා කරමු. ඊළඟට හොඳ චිත්‍රපටයක් කරනකොට ඔබගේ අදහස් අපිට ඉතාමත් වටිනවා. තවත් පර්යේෂණාත්මක දේවල් කරන්න. මොකද අපේ ජීවිතයම රිස්ක් එකක්. ඒ රික්ස් එකත් එක්කම තමයි අපිට ඉස්සරහට දේවල් කරගෙන යන්න ඕනෑ. අපිට හොඳ දේවල් කරන්න නම් සීමාවන් අබිබවා යන්න ඕනෑ. ඒ සීමාවන් කඩන්න ප්‍රේක්ෂකයන් ගේ සහයෝගය අවශ්‍යයි. මගේ චරිතය ගොඩනගාගන්න පල්ලවිගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.


 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment