මටත් ඕනෑ ක්‍රිකට්වලින් යළි රට දිනවන්නයි – ජනපති කියයි

128

අර්ජුන ආවා වගේ දක්‍ෂයන් ඉදිරියට ගැනීමට අයවැයෙන් ක්‍රිකට්වලට මුදල් වෙන් කළා

අයිඑම්එෆ් ගිවිසුමට පටහැනි නොවන ලෙස අයවැය ඉදිරිපත් කළා

මටත් ඕන ක්‍රිකට්වලින් ශ්‍රී ලංකාව දිනවන්නයි. ආර්ථික යුද්ධය ජය ගනිමින් සිටින අපට නැවත ක්‍රිකට්වලින් රට දිනවන්න බැරිකමක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී පැවසීය.

එදා ගාමිණි දිසානායක මහතා විසින් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ලොව ඉදිරියේ නගාසිටුවන්න විශාල මෙහෙවරක් ඉටුකළ බවත් එම කාරණයේදී පාසල් වලින් දක්ෂ ක්‍රීඩකයන් ඉදිරියට ගැනීමේ වගකීමට තමාටත් උරදීමට සිදුවූ බවත් එදා එම ක්‍රියාදාමවල ප්‍රතිඵලයක් ලෙස අර්ජුන රණතුංග ඇතුළු සෙසු ක්‍රීඩකයන් විශාල පිරිසක් ලෝක කුසලානය අපට හිමිකර දීම දක්වා ඉදිරියට ගැනීමට ඉඩ ලැබුණු බවද කීය. රටට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට අලි සබ්රි ඇමැතිවරයා ඇතුළු කමිටුවක් ප්‍රයත්න දරමින් සිටින බවද ඔහු කීය. අදටත් ගම්බද ක්‍රිකට් ක්‍රීඩාවට දක්‍ෂ දරුවන් සිටින නමුත් ඔවුනට අනුග්‍රහය ප්‍රමාණවත් නොවන හෙයින් මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කළ බව කී ජනපතිවරයා දුෂ්කරතා මැද වුවත් මෙවර ඉදිරිපත් කර ඇති අයවැය රටේ ආර්ථිකය අනාගතය තුළ දිනවීමට ඇති එකම විසඳුම බවද සඳහන් කළේය.

මීට වඩා තවත් විසඳුමක් නොමැති බව කී ජනපතිවරයා මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට තවත් පිළිතුරක් ලබා දෙමින් කීවේ අයි. එම්. එෆ්. සමග අප අත්සන් කළ ගිවිසුම අනුව අයවැය ද සැකසූ බවයි.

මේ රටේ විශාලම පෞද්ගලීකරණය ඉදිරියේ සිදුවන බවත් රජය සතු විශාල ඉඩම් ප්‍රමාණයක් ජනතාවට හිමිකර දීම හා නිවාස අයිතිය ලබාදී ම සිදුකරන බවද ජනපතිවරයා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment