මත්ද්‍රව්‍ය පාසලට  ඒම වළක්වන්න  සිසුන්ගේ බෑග්  චෙක් කරනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

114

මත්ද්‍රව්‍ය පාසල් තුළට ඒම වැළැක්වීම සඳහා නාගරික සහ ප්‍රධාන පාසල්හි උදේ වරුවේදී සිසු දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා) කියා සිටියේය.

පාසල් සංවර්ධන සමිති, දෙමාපියන්, ආදි ශිෂ්‍යයින්, ශිෂ්‍ය නායකයන් යොදවා මෙම පරීක්ෂා කිරීම සිදු කිරීමටත් ඒ සඳහා ලබන සතියේදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමට චක්‍රලේඛයක් නිකුත් කරන බවද හෙතෙම කීය.

මේ වන විට හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය ටොෆි ලෙස හෝ වෙනත් ආකාරයට පාසල් තුළට පැමිණීමට හැකි අතර ඒ පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ද පවතින බව ඒ මහතා සඳහන් කළේය.

අයිස් වැනි නව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වැරදි සඳහා දඬුවම් ලබා දීම සඳහා මේ වන විටත් ලහි ලහියේ නීති සංශෝධනය වන බවත් හෙරොයින් සම්බන්ධයෙන් පවතින නීති අයිස් සම්බන්ධයෙන් මේ වන විට අදාළ කර ගෙන ඇතැයිද ඇමැතිවරයා කීය.

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර ගැනීමට සාම්ප්‍රදායික ක්‍රමවලට එහා යමින් සාධනීය පියවරයන් ගැනීමට බලාපොරොත්තු වන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් විසි හත දෙක යටතේ විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ බව පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment