මව්පියන්ට රැකබලා ගැනීමට නොහැකි දරුවන් රැකබලා ගැනීමට පියවර ගන්නවා – රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ

114

ළමා කටයුතු කියන්නේ විශාල වපසරියක්. වයස අවුරුදු 18 දක්වා පාසල් යන, නොයන සෑම දරුවෙකුම මේ සඳහා අයිති වෙනවා. දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ අපි වගකීමෙන් කටයුතු කරනවා. ළමයින් හා කාන්තාවන් ගැන අද අසන්න ලැබෙන්නේ සිත් කම්පා කරවන සිද්ධින්. මේ සිද්ධින් එකින් එකට කීමට අවශ්‍ය නැහැ. අම්මාට, තාත්තාට දරුවෙකු රැකබලා ගැනීමට නොහැකි තත්වයක සිටී නම් අපි ඉදිරියේදී එම දරුවා බලා ගන්න ක්‍රම වේදයක් සකසනවා යැයි කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ පැවසුවා ය.

රාජ්‍ය අමාත්‍යවරිය එම අදහස් පළ කළේ, ළමුන් සඳහා සුභදායි අනාගතයක් ඇති කිරීම සඳහා “සුරක්ෂිත දරු පරපුරක් බිහි කිරීම සඳහා ළමා හිංසනය පිටු දකිමු” මැයෙන් ජනතාව දැනුවත් කිරීමේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය,

ඔබගේ අසල්වැසියෙකුගේ, ඥාතියෙකුගේ නිවසේ දිර්ඝ කාලයක් තිස්සේ සිදුවන ළමා හිංසන පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ පවත්වාගෙන යන 1929 අංකයට ඕනෑම දුරකථනයකින් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත වෙලා සිටිනවා. සෑම පොලිස් ස්ථානයකම කාන්තා පොලිස් නිලධාරින් සිටිනවා. රාගම ප්‍රදේශයේ කුඩම්මා විසින් ගැහැණු දරුවෙකුට පහර දෙන දර්ශන සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ පුවත දැක වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂක නිලධාරිනි ටීනා වත්තේගෙදර මහත්මිය විසින් එම දරුවා රැගෙන පොලිසියට භාර දුන්නත් පොලිසිය නිසි පියවර අරන් නැහැ. ඒක කණගාටුවට කාරණාවක්. තනි මවකට පුළුවන් විය යුතුයි දරුවෙකු ප්‍රසුත කිරීමට සහ සමාජයේ තනිව ජීවත් වීමට. ලෝකයේ අනෙකුත් දියුණු රටවල මවක් ගැබ් ගත් විට ඇය තනි වෙන්නේ නැහැ. ඇය දරුවා ප්‍රසුත කර කිරි දී හදා වඩා, ඉන් පසු දිවා සුරැකුම් මධ්‍යස්ථානවල හැදි වැඩුණු දරුවන් ඕනෑ තරම් සිටිනවා. ලංකාවේ මිනිසුන් එය අපහාසයට යොදා ගත්තද එය කිසිසේත්ම අපහාසයට කාරණයක් නොවේ. සෑම විටම මිනිසුන්ගේ හොඳ ආකල්ප ඇති විය යුතුයි. ගැහැණියකට තමන්ගේ දරුවාව හදා වඩා ගැනීමට, තමන්ට තනිවම පුළුවන් වෙන්න ඕනෑ. තමන් ප්‍රසුත කළ දරුවාව හදා වඩා ගැනීමට විකල්පයක් නැතිනම්, ඇයගේ අසරණභාවය පවසා තම දරුවාව වෙනත් පාර්ශවයකට හදා වඩා ගැනීම සඳහා ලබා දීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු වෙනවා. දරුවන් පිළිසිඳගත් පසු ගබ්සා කිරීම මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. තති මව (Single Mother) නැමති ආකල්පය ධාරණය කර ගනිමින් තමාගේ දරුවාට ආරක්ෂාව ලබා දීමට කටයුතු කල යුතු වෙනවා.

රාජ්‍ය නොවන සංවිධාන රැසක් අපට උදව් කිරීමට ඉදිරිපත් වෙලා තියනවා. ළමුන් සඳහා සුරැකුම් මධ්‍යස්ථාන 350 කට අධික ප්‍රමාණයක් තියනවා. කාන්තාවන් සඳහා එවැනි සුරැකුම් මධ්‍යස්ථායක්වත් නැහැ. එම නිසා අපි ඉක්මනින් එවැනි මධ්‍යස්ථාන හදන්න අවශ්‍ය පියවර ගන්නවා. මේ සඳහා රාජ්‍ය නොවන සංවිධාන වලින් උදව් ගන්න බලාපොරොත්තු වෙනවා. IMF ණය නොලැබෙන තත්වයට කටයුතු කරන්න සමහරුන් කටයුතු කරනවා. දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් අපි ගොඩක් දේ කිරීමට බලාපොරොත්තුවෙන් රටේ ආර්ථික ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරමින් යනවා. දරුවන්ට හා කාන්තාවන්ට මෙපමණ ප්‍රශ්න තිබියදී සමහරුන් දඟලන්නේ ආණ්ඩුව පෙරලීමටයි. ණය වාරික ලැබීමට ආසන්නව තිබියදී සමහරුන් රටපුරා වැඩවර්ජන රැල්ලක් ඇති කරමින් යනවා යැයි පැවසුවා ය.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා ද සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment