මළ සිරුරු පමණයි මරපු එකෙක් නැහැ!

791

අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය ගොඩගන්නා ලෙස අධිකරණයෙන් නියෝග කර තිබේ. මෙහිදී නැවත වතාවක් මරණ පරීක්‍ෂණයක් පැවැත්වෙන අතර පෙර කී
අභිරහස් මරණයේ සැඟවුන තැන් සොයා ගැනීමට එමගින් හැකිවනවා ඇත. කිසියම් අපරාධයක් වූ විට අපට හිතාගන්නටත් බැරි ලෙස පැය 24 න්අපරාධකරුවන් අල්ලා ගැනීමට අපේ පොලිසියට හැකියාවක් තිබේ. ඒ හැකියාව කෙරෙහි අප තුළ ඇත්තේ මහත් ගෞරවයකි. මීට අවුරුදු කිහිපයකට පෙර තිබූ පොලිස් දෙපාර්තමේන්තුවේ කුණු වැඩවලින් 75% පමණ දැන් අතුරුදන් ය.

මේ වන විට අපට අවශ්‍යව ඇත්තේ හොඳ පොලිස්පතිවරයකු පමණි. ඉන්න පොලිස්පතිවරයා නරක මිනිහෙකු යැයි මින් නොහැඟේ. එතුමා ඉන්නේ තුන් මාසයක සේවා දිගුවක් මත ය. සමහර විට මේ තුන්මාසය ඉවර වූ විට තවත් තුන් මාසයකින් එම සේවා දිගුව දීර්ඝ කෙරෙනවා ඇත. අප හොඳ පොලිස්පතිවරයකු අවශ්‍ය යැයි කියන්නේ එම පුටුවට ඊළඟට එන මිනිහා ද යහපත් ක්‍රියාශීලී මිනිසකු වීමේ අවශ්‍යතාව මත ය. සාමාන්‍යයෙන් ඕනෑම අපරාධයක් පළමු දින දෙක තුනේදී රැස් විහිදවා යටපත් වී යයි. දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ද අවුරුද්දක කාලයක් කිට්ටු වී තිබේ. එවැනි සිදුවීම් යට යන්නට නොදී යුක්තිය ලැබෙන තුරු හඬනැඟීම මාධ්‍යයේ ප්‍රතිපත්තිය විය යුතුය.

පසුගිය දිනවල ප්‍රමුඛ අපරාධ රැසක් මේ රටේ සිදුවිය. අඟුලානේදී එක මිනිහෙක් තව මිනිහෙකුගේ අත්දෙක කපාගෙන ගියේය. ඊළඟට කළුතර හෝටලයකින් 16 හැවිරිදි යෞවනියක් නිරුවතින් බිමට පැන මිය ගියාය. විශාල ගැටකිඹුලෙකුවන් සැකකරු විවිධ බබා ටෝක් දෙන බව ඔහුගේ කටඋත්තරවලින් පෙනී ගොස් තිබේ. පොලිසිය තැම්බීම සඳහා ඔහුගේ ලුණු ගොරකා මදි බව අපගේ විශ්වාසයයි. හැබැයි තවත් ටික කලකින් මේ අපරාධය පිළිබඳ මතකය යටපත් වූ කල වැඩ නිසි කලට සිදු නොවෙන්නට පුළුවන. පසුගිය දිනෙක බුද්ධ චීවරයට ද අගෞරවයක් වන සිවුරු හොරෙක් 14 හැවිරිදි දැරියක් දූෂණය කළා ය. ඔහු ඇගේ මවගේ ද පෙම්වතා ය. මේකා දැනට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට දිය යුතු දඬුවම ගැන රිමාන්ඩ් හිරගෙදර සිටින අය දනිති. ‘සිරකරුවෝ මනුෂ්‍යයෝ’ ය. එහෙත් සිරකරුවන් ලෙසින් සිරගෙට එන ඇතැම් අය තිරිසන්නු ය. කුඩා දැරියක් දූෂණය කිරීමෙන් මේ සිවුරු හොරා කළ අපරාධයට වන්දිය පොලී සමගම අයකර ගත යුතුව තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු වී දශකයකටත් වඩා ඉක්ම ගොස් තිබුණ ද ඒ මිනීමැරුම සංවිධානය කළ මිනිහා සොයා ගැනීමට එකල තිබූ ආණ්ඩුවට බැරි විය. වසීම් තාජුඩීන් ඝාතනය කර එබඳුම කලක් ඉක්ම ගොස් තිබුණ ද එකල තිබූ ආණ්ඩුවට ඒ ගැන සෙවීමට වුවමනාවක් නොවීය. සුප්‍රකට රගර් ක්‍රීඩකයකු වූ ජොඑල් ප්‍රේරා කොළඹ කැසිනෝවකදී මන්ත්‍රී කෙනෙකු අතින් වෙඩි කෑවේය. ෆීජි දූපතේ උපත ලැබූ මේ ක්‍රීඩකයා අපේ ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු ෆීජි රටේ ජාතික වීරයෙකි. ජොඑල් ප්‍රේරා මැරුවේ එවකට පැවති ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකි. එහෙත් ජොඑල් ප්‍රේරා මිනිය මිස ඔහු මැරූ කෙනෙක් අදටත් සොයා ගැනීමට නොහැක. මේවා සෙවීම මුල සිට පටන් ගත යුතු බව අපි ආණ්ඩුවට තරයේ කියමු. අපරාධකාරයට දඬුවම් කළ යුතුමය. කර්මානුරූපව ඊළඟ ආත්මයේදී අපරාධකරුට දඬුවම් ලැබෙනවා යනුවෙන් තිබෙන කතන්දර ඒ තරම් ෂුවර් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment