මියගිය යුවළකගේ ඉඩමක් ව්‍යාජව පැවරීමට ගිය 09ක් දැලේ

419

නීතිඥවරයෙකු සහ විදුහල්පතිවරයකු ඒ අතර

යාපනයේ මියගිය යුවලකට අයත් විශාල ඉඩමක් ව්‍යාජ අත්සන් යොදා වෙනත් පාර්ශ්වයකට බලපත්‍ර සකස් කොට පැවරීම සම්බන්ධයෙන් නීතිඥවරයකු විදුහල්පතිවරයකු ඇතුළුව පුද්ගලයන් 9 දෙනකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව මේ මස 21 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට යාපනය අතිරේක මහෙස්ත්‍රාත් නාලිනී සුභාෂ්කරන් මහත්මිය 12 දා නියෝග කොට තිබේ.

යාපනය අරියාලේ ප්‍රදේශයේ පිහිටි එම ඉඩම අක්කර 20 කින් යුත් අතර එම ඉඩමේ අයිතිකරු හා ඔහුගේ බිරිඳ මේ වන විට මියගොස් තිබේ.

එම ඉඩම විදුහල්පතිවරයකු මැදිහත් වී වෙනත් පාර්ශ්වයකට පවරා දීමට රුපියල් ලක්ෂ 5 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගෙන ඇති අතර පසුව එම විදුහල්පතිවරයා ඔහුට හිතවත් නීතිඥවරයකු මාර්ගයෙන් හොර ඔප්පු ලියා අදාළ පාර්ශ්වයට එම ඉඩම විකුණා තිබේ.

මේ සම්බන්ධයෙන් ඉඩමේ සැබෑ මුල් අයිතිකරුගේ ඥාතියකු යාපනය පොලිසියට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසුව අදාළ විදුහල්පතිවරයාද නීතිඥවරයාද ඇතුළුව 9 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

මේ පිරිසට ඇප ලබා ගැනීම අදහා නීතිඥවරු 20 දෙනකු පමණ යාපනය අධිකරණයට පැමිණ කරුණු ඉදිරිපත් කරන ලද නමුත් මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment