මියගිය සොහොයුරා බුලත්සිංහල පොලිසියේදී යළි ඉපදිලා

781

සතියකට පෙර තම සහෝදරයා මිය ගියා යැයි මරණාධාර සමිතියට පවසා රු. 26000 ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බවට බුලත්සිංහල පොලියට ලද පැමිණිල්ලට අනුව පොලිසියේ දී මියගිය පුද්ගලයා යළි ඉපදී ලබාගත් මුදල් ආපසු දුන් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල, මෝල්කාව, බෝගහහේන ප්‍රදේශයේ මරණාධාර සමිතියක සාමාජිකාවකගේ සැමියාගේ සහෝදරයා මිය ගියා යැයි පවසා එම සමිතිය මගින් රුපියල් 26000 ක මුදලක් ලබාදී ඇත.

සෙසු සාමාජිකයින් මළ ගෙදර යාමට සූදානම් වූ අවස්ථාවේ අවමංගල උත්සවය ඇඹිළිපිටිය ප්‍රදේශයේ ඇති බව ප්‍රකාශ කර එය වළක්වා තිබේ.

මේ පිළිබඳව සැක සිතු මරණාධාර සමිතියේ නිලධාරින් විසින් මියගිය පුද්ගලයාගේ මරණ සහතිකය ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටි විට ලබා ගත් මුදලින් අඩක් ගෙවා සමිතියෙන් ඉල්ලා අස්වන බව දන්වා ඇත.

සිය සංගමය නොමග යවා ජීවත්ව සිටින පුද්ගලයෙකු මියගියා යැයි පවසා මුදල් වංචා කළ බව සඳහන් කරමින් සමිතියේ භාණ්ඩාගාරිකවරිය බුලත්සිංහල පොලිසියේ කළ පැමිණිල්ලක් අනුව පසුගිය දා මේ පිළිබද පරික්ෂණ කටයුතු සිදුකෙරිණි.

එහිදී බුලත්සිංහල, මොල්කාව, බෝගහහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ සැමියාගේ කලවාන ප්‍රදේශයේ පදිංචි සහෝදරයා මිය ගියා යැයි පවසා චංචා කර සැමියා හා බිරිඳ එක්ව මෙසේ වංචා සහගතව මුදල් ලබා ගෙන ඇති බවට හෙළි වී ඇත. වරද පිළිගත් සැකකාර යුවළ මරණාධාර සමිතියෙන් ලබා ගත් මුදල පොලිස් නිලධාරින් ඉදිරියේ ගෙවීමට කටයුතු කළ බව පොලිසිය පැවසීය. බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන විදානගමගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රණවක මහතා මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ.

චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment