අයිඑම්එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඡන්ද විමසීමක් සිදු කරනවා

58

විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා ආචාර්යවරුන් දැනුවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ 02දා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද කියා ඡන්දයක් විමසීමට බලාපොරොත්තු වෙනවා. සෑම කෙනෙක්ම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී කිසියම් හෝ ස්ථාවරයක් ගත යුතුයි. ඒ නිසා මේ වැඩසටහනට සහය ලබා දෙන ලෙස අප යෝජනාවක් ඉදිරිපත් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවේ තිබෙන ප්‍රධාන කරුණු නීතියක් හැටියට ගෙන එන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහි යම් වෙනසක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට යන්න ඕන. එහි මූලික අංශ මැයි මාසයේ ඉදිරිපත් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධව සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්දෙන් පසුව ග්‍රාමීය අංශ දැනුම්වත් කරනවා. දෙවනුව හරිත ආර්ථිකය ඇතුළු අපේ වැඩසටහන් මොනවාද යන්න දැනුම් දෙනවා. මුලින්ම අපි අපේ මේ වැඩසටහන්වල ප්‍රතිචාරය අර ගනිමු.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ඉදිරියේදී ගෙන ඒමට තිබෙනවා. මේ පනත් තුනම එකට ගේන්න එපා කියලයි අධිකරණ ඇමැතිවරයා සහ අගවිනිසුරුවරයා ඉල්ලා සිටින්නේ.ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවාට අවධානය යොමු කිරීමට අපහසු නිසා සහ තවත් හේතු කිහිපයක් නිසයි. ඒ නිසා අප්‍රේල් මාසයේ අවසානය වන විට එක කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව මම විශ්වාස කරනවා. ඉන් අනතුරුව අනිත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. කෙසේ හෝ ජූනි මාසය වන විට කෙටුම්පත් තුනම ගෙන ඒමට කටයුතු කරනවා.

විශේෂයෙන්ම නවීකරණ වැඩසටහන යටතේ අපේ අරමුණ වෙන්නේ තරගකාරීත්වය සමඟ නිෂ්පාදනය වැඩි කිරීමයි. තරගකාරීත්වය සහ නිෂ්පාදනය කියන අංශ දෙකම ඉදිරියට ගත යුතුයි. ඒ සඳහා අපට එක්ව වැඩකටයුතු කරන්න පුළුවන්. අප බැලු‍වේ ආණ්ඩුවේ තිබෙන පර්යේෂණ ආයතනත්, අනිකුත් ආයතනත් එකතු කර වෙනමම කෘෂි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඇති කරන්න. අවශ්‍ය නම් පශ්චාත් උපාධි පාඨමාලාද ඇති කළ හැකියි. අප මෙමගින් බලාපොරාත්තු වන්නේ පර්යේෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි. තාක්ෂණය යොදා ගත හැකි ආකාරය සම්බන්ධවත් එයින් බැලීමට හැකියාව තිබෙනවා. එසේ නම් සියලු‍ අංශ එකට එකතු කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම සෑම කෙනෙක්ම කියවා තිබෙනවා. ඒ ගැන මෙතැන ඉන්න අයට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අපට දෙන්න පුළුවන් ඕනෑම විසඳුමක් ලබා දිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි රාමුව තුළ පමණයි. එයින් පිට යන්න බැහැ. අපට මාස හයක රාමුවක් ලබා දී තිබෙනවා. අප වැඩ කටයුතු කළ යුත්තේ ඒ රාමුව තුළ පමණයි. ‍

ගොවි ජනතාව, සංචාරක ව්‍යාපාරිකයන් පවා කියන්නේ මෙය අවශ්‍ය බවයි. බහුතරයේ මතයද එයයි. වෘත්තීය සමිති කියනවා පෞද්ගලිකරණය කරන්න එපා කියා. ඉතිං මොකක්ද කරන්න කියන්නෙ. ඒවාට වියදම් කරන මුදල්වලින් තුනෙන් එකක් විශ්වවිද්‍යාලවලට සහ පාසල්වලට දුන්නා නම් මීට වඩා දියුණුවක් තියෙනවා. ඒ සමඟ වැටුප් ප්‍රශ්නත් විස‍ඳෙනවා. වෘත්තීය සමිතිවලට ඕන විදිහට වැඩ කරන්න බැහැ. යළිත් ඇෆ්ගනිස්තානයෙන් පිටුපස්සට ශ්‍රී ලංකාව වැටෙන්න දෙන්න බැහැ. ප්‍රතිසංස්කරණ කරන්න ඕන. රටේ ප්‍රතිසංස්කරණයක් විය යුතුයි කියා විපක්ෂයත් දැන් පිළිගෙන තිබෙනවා. කර්මාන්ත ඇති කරන්න අපි පනතක් ගෙනවිත් තිබෙනවා වගේම, කොමිසමක් ද පත් කර තිබෙනවා. ඒත් අපි කර්මාන්තකරණය ඉදිරියට ගෙන ගියේ නෑ. අපට වුවමනා වුණේ යුද්ධයෙන් සාමය ලබාගන්න.

1983-1987 සඳහා යෙදවුවට වඩා විශාල මුදලක් සිවිල් යුද්ධය සදහා යොදවා තිබෙනවා. යුද්ධය අවසන් වූ පසුවත් අප නැවත කර්මාන්තකරණයට ගියේ නැහැ. ඒ වෙනුවට අප ගිහින් තියෙන්නෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩසටහන් සඳහායි. 2009දී අප කාර්මිකකරණයට ගියා නම් ඕන තරම් ආයෝජන පැමිණෙන්න තිබුණා. නමුත් අප කොන්දේසි දැම්මොත් ඒ ආයෝජන එන්නේ නැහැ. තත්ත්වය හොඳයි නම් පළමුව එන්නේ විදෙස් ආයෝජකයන් නෙමෙයි, විදේශ බැංකු ගිණුම්වල සල්ලි තියාගත්තඅපේ ආයෝජකයන් තමයි පළමුවෙන් පැමිණෙන්නේ. ඊට පස්සේ තමයි විදේශ ආයෝජකයන් එන්නෙ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත 16 වතාවක් ගිහිල්ලත් සාර්ථක වීමට නොහැකි වුණේ යම් කොන්දේසි නිසියාකාරව ක්‍රියාත්මක නොකළ නිසයි. සාකච්ඡා මාර්ගයකින් තමයි බදු වැඩි කිරීම සිදු වුනේ. දැන් ඒ ඇති කර ගත් එකඟතා ඉවත් කිරීම රටක් විදිහට ප්‍රායෝගික නැහැ. බදු පැකේජය ඉවත් කරන්න පුළුවන් ක්‍රම දෙකයි තිබෙන්නේ. එකක් තමයි මීට වඩා අය බදු ගෙවීමට එකතු කර ගැනීම. දෙවැනි ක්‍රමය තමයි රජයේ ආදායම් වැඩි කරගෙන යම් කිසි ආකාරයක වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම. මේ දෙකම කෙටි කාලයකින් කරන්න බැහැ. පෞද්ගලික අංශය යම් යම් වෙනස්කම් කරලා තිබෙනවා. මේක සාර්ථකව ක්‍රියාත්මක කළොත් ඊළඟ අවස්ථාවේ ජනතාවට සහනයක් ලබා දෙන්න පුළුවන්. ඉහළ ආදායම් ලබන පිරිස් තමයි මේ තත්ත්වය මාස 06ක කාලය දරා ගත නොහැකි බව කියමින් විවේචනය කරන්නේ.

දළ දේශීය නිෂ්පාදනයෙන් ආදායම වැඩි වෙන්නේ භාණ්ඩ හා සේවා නිපදවීම තුළිනුයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදී අගය එකතු කිරීමක් සිදු වුණොත් මේ සභාවේ මතු වූ ආකාරයට විශාල ආදායම් ලබාගන්න හැකියාව තිබෙනවා. නමුත් තරුණ පරම්පරාව කෘෂිකර්මයට යොමුවීමට නම් එය මීට වඩා තවත් කාර්යක්ෂම විය යුතුයි. නමුත් දැන් පිටරට යන තරුණ තරුණියන් වැඩ කරන්නේ කෘෂිකර්මාන්තයේ නොවෙයි. ඔවුන් වැඩ කරන්නේ සේවා අංශයේයි .

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment