මීගමුවේ විතරක් රැකියා 1500ක් නැති වෙලා – මගේ හැම දෙයක්ම එක රැයින්ම ගිනි තබා විනාශ කලා

209

 “මේ වෛරය මෙතැනින් අවසන් කරන්න,ප්‍රචණ්ඩත්වයට තිත තබා රට නංවන්න එක්වෙන්නැයි මම තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා”
 නිමල් ලාන්සා ගිනි තැබූ තම නිවස අබියසදී කියයි

 ප්‍රචණ්ඩත්වයෙන් හා වෛරයෙන් මිදී වැටී ඇති රට ගොඩගැනීමට මිලියන 22 ක ජනතාව එකා මෙන් එකතු විය යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ගිනි තබා විනාශ කර දමා තිබූ මීගමුව පිහිටි සිය නිවසට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

 “යම්කිසි පිරිසක් සංවිධානාත්මකව තරුණ මනස ප්‍රචණ්ඩත්වයට යොමු කරලා සිද්ධ වුණු දෙයක්. මෙවැනි විනාශයක් වෙන්න නම් පෙට්‍රල් බෝම්බ ගහන්න ඕනේ. පෙට්‍රල් බෝම්බ ගහන්න බැහැ සාමාන්‍ය අයට. එවැනි දෙයක් කරන්න කලින් සැලසුම් කරලා තියෙන්න ඕනේ.

 නිවසක් ගිනි තියනවා කියන්නේ බිත්ති හතරකට ගිනි තියනවා විතරක් නෙමේ. පැල්පතක් වේවා, ඕනෑම නිවසක් පවුලේ අය එකතුවෙලා ඉතාමත් ආදරයෙන් හදන කැදැල්ලක්. ඒ නිවස තුළ ආදරය, බැඳීම, සිහිවටන, ජීවිත කාලයම උපයපු දේවල් මේ හැම දෙයක්ම එක රැයින් විනාශ කරලා තියෙන්නේ.

 කාට හරි වෛරයක් තිබුණා නම් අපේ දේවල් විනාශ කරන්න මේ සිද්ධියෙන් පසු ඒ වෛරය අවසන් කර ගත්තොත් හොඳයි. මොකද මේ වෛරය තවත් කෙනෙක්ගේ ජීවිත හානි කරන්න, දේපළ විනාශ කරන්න, මංකොල්ලකන්න මේක යොදාගන්න එපා. මේ වෛරය මෙතනින් අවසන් කරන්න. වෛරයෙන් සිදුවන්නේ රටක් විනාශ වෙන එක. ජනතාවගේ ජීවිත දේපළ විනාශ වෙන එක.අපි සියලු දෙනා එකතුවෙලා මේ රට ගොඩනඟන්න ඕනේ. රටේ ආර්ථිකය වැටිලා තියෙන්නේ. ආර්ථිකය ගොඩගන්න නම් සියලු දෙනා එකතු වෙන්න ඕනේ. අපේ රටේ ආර්ථිකය වැටිලා කියලා ලෝකය පිළිඅරන් තියෙනවා. ඒ නිසා ලෝකයේ රටවල්, විවිධ සංවිධාන අපට උදව් කරනවා. හැබැයි ලංකාවේ සමහර අය මේක තේරුම් අරන් නැහැ. ඉන්දියාවේ ජනතාව ඒ අයගේ ආධාර අපේ රටට එවනවා. ඒ රටවල මිනිස්සු ඒක තෙරුම් අරන් තියෙනවා. හැබැයි අපේ රටේ මිනිස්සු ඒක තේරුම් අරන් නැති නිසා තමා අරගල කරන්නේ. උද්ඝෝෂණ කරන්නේ. පාරවල් වහලා ජනතාවට ප්‍රශ්න ඇති වන විදිහට කටයුතු කරන්නේ.

 මේ සිද්ධියේදී දැකපු බරපතළම සිදුවීම තමයි පෙට්‍රල් බෝම්බ ගහලා තියෙනවා. මේක සැලසුම් සහගතව එක රැයින් සිදුකරලා තියෙන්නේ. ලෝකයේ ඕනෑම තැනක මංකොල්ලකෑම් සිදුවන්නේ කෙටි කාලයක් තුළ. හැබැයි පැය 24 පුරා සියලුම ඇණ මුරුච්චි පවා ගලවාගෙන ගිහින් තියෙනවා. සියලු දෑ අරගෙන ගිහින් තියෙනවා. මේක මංකොල්ලයක්. ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වන ආකාරයට ක්‍රියාත්මක වූ යම් පිරිසක් තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඒක අපට පේනවා. දැකපු අය මේක අපට කිව්වා. සීසීටීවී කැමරාවල පටිගත නොවන විදියට, විදුලි සැපයුම විසන්ධි කරලා වටිනා දේවල් මංකොල්ල කාලා තියෙනවා. ඒවා සැලසුම් සහගතව සිද්ධ වෙච්ච දේවල්.අවුරුදු 18 – 23 තරුණ ළමයි ලංකාව පුරා මේ දේවල්වලට පෙළඹිලා තියෙන්නේ. මේ අයගේ මනස විකෘති කරලා තියෙනවා යම්කිසි සංවිධානයක්. යම් කණ්ඩායමක්. ජනාධිපති, අග්‍රාමාත්‍යතුමාගෙන් ආගමික නායකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ තරුණ මනස ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්න දෙන්න එපා. තරුණ අයට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා තරුණ ප්‍රජාව ගලවා ගැනීම සඳහා යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න වෙයි. තරුණ සිත් කවුරු හරි නොමඟ යවලා තියෙනවා. තරුණ සිත්වලට වෛරය වපුරල තියෙනවා. තරුණ සිත්වලට ඊර්ෂ්‍යාව වපුරලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ තරුණයන් එයින් මුදා ගන්න. ඒ සඳහා අපි සියලු දෙනාට ලොකු වගකීමක් තියෙනවා.

 පාර්ලිමේන්තුවේ හිටපු අහිංසකම මන්ත්‍රීවරයා අමකීර්ති අතුකෝරාළ මහතා එතුමාව ඝාතනය කරලා ඇදගෙන යන ඡායාරූප, වීඩියෝ දැක්කාම රටේ මිනිස්සුද මේක කරන්නේ කියලා හිතුනා. ඒවා නොවෙන්න ජනතාවගේ මනස හදන්න ඕනෑ. අපේ රට සාමකාමී රටක්. අපි සියලු දෙනා එකතුවෙලා රට ගොඩගන්න කටයුතු කරන්න ඕනෑ.මේ විනාශයන්ට, මේ මංකොල්ලකෑමට සාධාරණ පරීක්‍ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. කමිටුවක් දාන්න කියලා සාධාරණ පරීක්‍ෂණයක් කරන්න කියලා හැර වෙනත් කිසිම දෙයක් අපි ඉල්ලලා නැහැ.පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්න වෙන්නේ ව්‍යවස්ථානුකූලව. පාරේ කරන අරගලය පාර්ලිමේන්තුව තුළ කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ වැඩ කරන ක්‍රමවේදයක් තියෙනවා.

 ඔය විනාශය කරපු අයගෙන් මම ඉල්ලා සිටිනවා නැවත සිතා බලන්න. ඔබලාගේ ගේ විනාශ කළොත්, කොල්ලකෑවොත් එයාලට දැනෙන හැඟීම මොකක්ද? ඒ නිසා මේ ප්‍රශ්න ව්‍යවස්ථානුකූලව විසඳන්න ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනේ. පාර වහලා, දුම්රිය මාර්ග වහලා මේක විසඳන්න බැහැ. එහෙම ගියොත් රට තවත් අන්ත අසරණ වෙනවා. මේ රට ගොඩගන්න සාමකාමී වෙන්න ඕනෑ. 225 ට බැනලා වැඩක් නැහැ. සියලු දෙනා එකතුවෙන්න ඕනෑ. වැටිලා තියෙන රට ගොඩගන්න අපි උත්සහ කරමු.අරගලය වුණත් ව්‍යවස්ථානුකූලව, ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ව්‍යාපාරික ස්ථාන ගිනි තිබ්බම, මංකොල්ල කෑමෙන් මොකද වුණේ. ඒ අයගේ රැකියා නැතිවෙලා. මීගමුවේ විතරක් රැකියා 1500 ක් විතර නැතිවෙලා. ඒ අයට ඒ අයගෙන් යැපෙන අයට කන්න දෙන්නේ කවුද?ඒ නිසා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයට යන්න එපා රට ගොඩනඟන්න එකතු වෙන්න.

 මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment