මුලතිව් කුරුන්දි පුදබිමට මම ගියේ 1964 අවුරුද්දෙ…පුරාවිද්‍යා චක්‍රර්වතී එල්ලාවල මෙධානන්ද හිමිගේ පුරාවිද්‍යා ගවේශණ මකත සටහන්…

529

ඉතිහාසයේ උරැමය රැකි යතිවර ගවේෂණය -2

ලංකාව තුළ දෙමළ නිජබිමක් නෑ…ඔප්පු කරන්න ජගතෙක් ඉන්නව නම් උත්තර දෙන්න මම සූදානම්

පුරාවිද්‍යා චක්‍රර්වතී එල්ලාවල මෙධානන්ද හාමුදුරුවො සොයාගෙන ඇති සෙල්ලිපි සංඛ්‍යාව පන්සියයකට වැඩිය. ඒ අතර සුවිශේෂී සෙල් ලිපි රාශියකි. දුටුගැමුණු රජුගේ බිසව රාජිතා බව සොයාගැනීම, විහාරමහාදේවිය පැවිදි වී සිටි බව සොයාගැනීම, මහානාග යුව රජු රෝහණයේ පිහිට වූ මාගම රාජධානියේ රාජ පරම්පරාව නිවැරැදිව හඳුනාගැනීම, වලගම්බා රජ පරම්පරාව නිවැරැදිව හඳුනාගැනීම එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ සුවිශේෂී සෙල්ලිපි කියැවීම් බව සැබෑය. අති විශිෂ්ට පුරාවිද්‍යා ගවේෂණය ඇගයීමට ලක් කරමින් එවකට ආණ්ඩුව විසින් පාසල් ගුරු සේවයේ නියැලි සිටි උන්වහන්සේට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් පිරිනමා තිබිණි.

“ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගුරුවරු, ළමයි අතර මට හොඳ පිළිගැනීමක් තිබුණා. මගේ රාජකාරිය නිවැරැදිව කරගෙන යනකොට දේශපාලන ඉල්ලීමක් මත ඇහැලියගොඩ, උඩුවක සිද්ධාර්ථ පාසලේ විදුහල්පති ලෙස වැඩ භාරගැනීමට සිද්ධ වුණා. ඒ වෙනකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවා කාලය වසර තුනකට වැඩියි. වැඩි වැටුපක්, ගෞරවයක් ලැබිලා තියෙන කථිකාචාර්ය පදවිය අතහැර තුට්ටු දෙකේ වැටුපකට විදුහල්පතිකම භාරගත්තෙ ගමේ පාසල දියුණු කරන්න හිතාගෙන. භාරගත්ත වගකීම හරියටම කළා. මගේ කාලෙ උඩුවක සිද්ධාර්ථ පාසලේ ඉගෙනගත්ත ළමයෙක් දැන් මහාචාර්යවරයෙක් වෙලා ඉන්නවා. උඩුවක සිද්ධාර්ථය සියලු අංශයන්වලින් සංවර්ධනය කරගෙන යනකොට 1970 ගණන්වල දේශපාලන පළගැනීමක් විදිහට මහඔය, ඇකිරියන්කුඹුර විද්‍යාලයට මාරුවීමක් ලබා දුන්නා. මම ගියේ නෑ. අධ්‍යාපන ඇමැතිවරයාට කතා කරලා මාරුවීම වෙනස් කරගෙන නැවත රත්නපුර ඇල්ලෙපොළ මහා විද්‍යාලයේ විදුහල්පති විදිහට වැඩ භාර ගත්තා…” මෙධානන්ද හාමුදුරුවෝ දිගු සුසුමක් පිට කළහ.

රත්නපුර ඇල්ලෙපොළ මහා විද්‍යාලයේ විදුහල්පති ධුරයේ සිටි වසර පහක කාලය තුළ එම පාසල සංවර්ධනය කිරීමට මෙන්ම ළමයින්ගේ අධ්‍යාපන තත්ත්වය සංවර්ධනය කිරීමට උන්වහන්සේ කර ඇති කැප කිරීම් අපරිමිතය. එමෙන්ම එම වසර පහ තුළ රට පුරා පුරාවිද්‍යා ගවේෂණ රාශියක් සිදු කර බව ද උන්වහන්සේ අප සමඟ පැවසූහ. එම කාලය තුළ අම්පාර දිස්ත්‍රික්කයේ ද පුරාවිද්‍යා ගවේෂණ රාශියක්ම සිදු කර ඇති උන්වහන්සේ, ජීවිතයේ භයානකම අද්දැකීමට මුහුණදී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ හිඟුරාන මලයඩි කන්ද හෙවත් ඉලුප්පිටිය කන්ද විහාරයට ආසන්න ස්ථානයකදීය. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත එම ස්ථානයේ ගල්ලෙන් රැසක සෙල්ලිපි රාශියක් තිබෙන බව දන්වා ඇත්තේ උහන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ කේ.

සාමේල් ය. ඒ බව දැනුම් දුන් මොහොතේ සිට නොඉවසිලිමත් වූ එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ අම්පාර බුද්ධංගල ආරණ්‍යය සේනාසනයට වැඩම කොට, ආරණ්‍යයේ වාහනයකින් හිඟුරාන ඉලුක්පිටිය කන්ද රජමහා විහාරයට වැඩම කොට එහි විහාරාධිපති හිමියන්ගේ අවසරය ඇතිව ගල්ලෙන් පරීක්‍ෂාව ආරම්භ කළහ. හිමිදිරි පාන්දර සිට ගවේෂණ කටයුතු කරගෙන ගිය මෙධානන්ද හාමුදුරුවෝ දවල් දානයට නතර කර මහන්සියට ලෙනක් ආසන්නයේ මහා ගසකට පිට දී ඇත. ගතේ තෙහෙට්ටුවට උන්වහන්සේගේ දෑස් පිය වී ඇත.

“සෙසු පිරිස ආහාර ගත්තෙ ගල්ලෙන ඇතුළේ. මම දානය ලබාගත්තෙ මහ ගහට පිටදීගෙන. මහන්සියට හිඳගෙනම නින්ද ගියා. මද වෙලාවක් යනකොට හිස මුදුනෙ සිනිදු යමක් ඇතිල්ලෙනු මට දැනුණා. මුලදි ගණන් නොගත්තට දිගටම ඇතිල්ලෙනකොට පණ ඇති සතෙකුගේ ගැටීමක් බව මට තේරුණා. හෙමිහිට සිටි තැනින් පහළට රූටා ගහ අසලින් ඉවත් වෙලා හිටි තැන බැලුවා. මහ ගහ දිගට විශාල නාගයෙක්. මගේ මුළු ගතම සලිත වුණා. හිටි තැනම හිඳගෙන ඌ දිහා බලාගෙන හිටියා. මා දෙසවත් නොබලා ඒ සතා ගහෙන් බැහැලා කැලයට ඇදිලා ගියා. ඒ සතාගේ පුරුදු ගමන් මාර්ගය. එදා මම ආවරණය කරගෙන හිටියා. සතාට ගහෙන් බහින්න බැරි නිසා තමයි පෙනය පුප්පලා මගේ හිසෙ ඇතිල්ලුවේ. එදා අපි ගවේෂණය කර පිටපත් කරමින් හිටියේ මහානාග යුව රජුගේ සිට රජ පරම්පරාවම කියැවෙන සෙල්ලිපියක්. මගේ හිසට පෙණය තිබ්බේ මහානාග ද දන්නෙ නෑ…” උන්වහන්සේගේ සිනා මුව පළල් වී කතාව නතර වූහ.

අතීතයේ මෙරට ජනාවාස බහුලව ව්‍යාප්තව පැවතියේ උතුරු, නැගෙනහිර වියළි කලාපයේය. ගොවිතැන ප්‍රධාන කොටගෙන ගොඩනැඟුණු රාජධානිවල පාලකයන් ගංගා, ඇළ දොළ හරස් කොට වැව්, අමුණු බැඳ ගොවිතැන දියුණු කිරීමට අවශ්‍ය අඩිතාලම සකස් කර දුන් පසු අපේ මුතුන් මිත්තන් ගොඩ, මඩ සාර සොබාවට අස්වැද්දූ බව බොහෝමයක් සෙල්ලිපිවල සඳහන් වී තිබුණු බව එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ අප සමඟ පැවසූහ. එමෙන්ම ගොවිතැන් කරගෙන එකමුතුවෙන් ජීවත් වූ මුතුන් මිත්තෝ ඔවුන්ගේ ආගමික වතාවත් සිද්ධ කරගැනීමට ගමේ පන්සලක් ගොඩනඟාගෙන තිබෙන බව ද සැබෑය. ජනතාවගේ ආගමික වත්පිළිවෙත් උදෙසා රජවරු, ඇමැතිවරු මහා විහාර ගොඩනඟා සම්බුද්ධ ශාසනයට පූජාකොට තිබෙන බව ද සැබෑය. එම විහාරස්ථාන බොහෝමයක් නිර්මාණය කර ඇත්තේ ගල්ලෙන් පාදක කරගෙන බව එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ අපට පැහැදිලි කළහ. පසුකාලීනව පැමිණි බටහිර ආක්‍රමණ හමුවේ සිංහල ජනාවාස විනාශ කොට ආක්‍රමණිකයන් කඳවුරු බැඳගත්හ. කාලිංග මාඝ ආක්‍රමණය තුළ කේරළ යෝධයන් විශාල වශයෙන් පැමිණ පොලොන්නරු රාජධානිය පුරා කඳවුරු බැඳගෙන ජීවත් වූහ. දඹදෙණි යුගයේ දෙවැනි පරාක්‍රමබාහු සටන් කරමින් කාලිංග මාඝ පලවාහැරිය ද පැමිණ සිටි බොහෝ කේරළ මිනිස්සු මෙරටින් නොගියහ. ඒ අයුරින් විවිධ ආක්‍රමණවලින් මෙරට ට පැමිණ බින්න බැස්ස දෙමළ, හෝ වෙනත් ජන කොට්ඨාසයන් හැර පරම්පරාවෙන් ජන්ම ලාභය ලැබූ සිංහල ජනතාව හැර වෙනත් ජාතීන් උතුරු, නැගෙනහිර පොළොවේ නැති බව එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ විශ්වාසයෙන් පැවසූහ. එහෙයින් මෙරට පළාත් අතරින් පුරාවිද්‍යා ස්ථාන බහුලව සැඟ වී ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත තුළ වීම පුදුම විය යුතු කරුණක් නොවේ. එමෙන්ම උතුරු, නැගෙනහිර පළාත්වලින් සොයාගත් බොහෝ සෙල්ලිපිවල සඳහන් වී ඇත්තේ සිහළ උරුමය ගැනය.

යාපනයේ කදුරුගොඩ විහාරයේ පමණක් ස්ථූප පනස් ගාණක් සොයාගෙන සංරක්‍ෂණය කොට ඇත. එමෙන්ම එම විහාර භූමියෙන් සොයාගත් සෙල්ලිපි අතර එකල සිංහල ජනාවාස පැවැති බවට පැහැදිලිව සඳහන් වන බව එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ ද පැවසූහ. උන්වහන්සේ සොයාගත් අට වැනි, නව වැනි සියවස්වල සෙල්ලිපියක සඳහන් වී ඇත්තේ එකල එම ස්ථානය නාග විහාරය ලෙස හැඳින්වූ බවය. එමෙන්ම පොලොන්නරු රජධානිය පාලනය කළ පළවෙනි මහා පරාක්‍රමබාහු රජ සමයේ මෙරට සහ දකුණු ඉන්දියාව අතර භාණ්ඩ ප්‍රවාහනය සිදු කර ඇත්තේ කයිට්ස් වරායෙන් බව ද සෙල්ලිපිවලින් සොයාගෙන ඇත. දකුණු ඉන්දියාව සමඟ ගනුදෙනු කරන හෙයින් වරායේ නීති රීති සඳහන් කොට දෙමළ භාෂාවෙන් සෙල්ලිපියක් කොටා ඇති බවත් එම සෙල්ලිපිය මේ වෙනකොට ඇත්තේ නාගපූසානි අම්මාන් කෝවිලේ බව ද එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ පැවසූහ. අවස්ථා කිහිපයකදී ඒ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්න ද ඵලක් නොවූ බව ද උන්වහන්සේ කනගාටුවෙන් පැවසූහ. එම සෙල්ලිපියේ අවසානයේ සංස්කෘත භාෂාවෙන් ‘මහා පරාක්‍රමබාහු සකල සිංහල චක්‍රවර්ති’ යනුවෙන් ද කොටා තිබූ බව උන්වහන්සේ පැවසූහ. ඒ වචන කන වැකෙන විට අපි විශ්මයට පත් වීමු.

“පුදුම වෙන්න දෙයක් නෑ… පුරාවිද්‍යා සාධක මත ලංකාව තුළ දෙමළ නිජබිමක් නෑ. එහෙම දෙයක් ඔප්පු කරන්න යම් ජගතෙක් ඉන්නවා නම් මම උත්තර දෙන්න සූදානම්. ඒ වගේම ඉන්දියාවේ සිට ජය සිරිමා බෝධීන් වහන්සේ ප්‍රථම වරට වැඩම්මුවේ දඹකොළ පටුනට. පසුකාලීනව එම ස්ථානයේ තිස්ස විහාරය නමින් විහාරයක් ඉදි කරලා තිබුණා. පහුගිය කාලේ එම විහාරයේ සංරක්‍ෂණ කටයුතු කරලා චෛත්‍යයක් හැදුවා. මමත් උපකාර කළා. ඒ වගේම උතුරු, නැගෙනහිර පළාත්වල බොහෝමයක් කෝවිල් ඉදිකරලා තියෙන්නෙ ඉපැරැණි බෞද්ධ පුදබිම්වල. වව්නියාව, මඩකලපුව, මුලතිව්, ත්‍රිකුණාමලය, අම්පාර ඇතුළු එකී නොකී ප්‍රදේශවල කෝවිලක් හදලා තියෙනවා නම් ඒ ඉපැරැණි බෞද්ධ පුදබිමක. ඒක මම ඇහෙන් දැකලා ප්‍රත්‍යක්‍ෂ කරගත්ත දෙයක්. සමහර ඉපැරැණි බෞද්ධ පුදබිම්වල පුරාවස්තු වෙනත් ස්ථානවලට ගෙනිහින් කෝවිල් හදලා තියෙනවා. අම්පාර මාර්ගයේ මඩකලපුවට ආසන්නයේ ඉපැරැණි ‘ශාන්තමලේ’ බෞද්ධ පුදබිමේ කෝවිලක් හදලා තියෙනවා. එම කෝවිලට පුළුපුනාව බෞද්ධ විහාරයේ ගල් ආසනයකුත් රැගෙනැවිත් තිබුණා. ඒ වගේම මෑතක කතාබහට ලක් වෙන මුලතිව් කුරුන්දාශෝක බෞද්ධ පුදබිමට හය සැරයක් මම ගිහින් තියෙනවා. ප්‍රථම වරට එම ස්ථානයට ගියේ 1964 වර්ෂයේදී. ඒ ප්‍රදේශයේ එකම දෙමළ මනුස්සයයි ජීවත් වුණේ. පුංචි පැලක ජීවත් වෙච්ච ඒ මනුස්සය තමයි කුරුන්දම්මලේ නටබුන් තලාව අපිට පෙන්නුවේ. ඒ දෙමළ මනුස්සයට චුට්ටක් සිංහල කතා කරන්න පුළුවන්. කුරුන්දම්මලේ වල් වැදී තිබුණු නටබුන් චෛත්‍යය ආසන්නයට යනකොට ඒ මනුස්සයා මගෙන් අහනවා ‘සාමි කර තියාගෙන යන්නද…’ කියල. ඒ මනුස්සයා පුදුමාකාර විදිහට අපිට සුහද වුණා. පැය ගාණක් අපිත් එක්ක එම ස්ථානයේ හිටියා…”

“කුරුන්දම්මලේ පුරාවිද්‍යා ස්ථානයට ගිය ප්‍රථම අවස්ථාවේදීම චෛත්‍යය ආසන්නයෙන් සෙල්ලිපියක් සොයාගත්තා. පසුකාලීනව එම සෙල්ලිපිය විනාශ කරලා තිබුණා. ඒ සෙල් ලිපියේ සඳහන් කරල තිබුණේ තුන්වෙනි මිහිඳු රජු ජල ගැටලුවක් විසඳීමට කුරුන්දම්මලේට පැමිණි බවයි. ඒ වගේම සෙල්ලිපියේ එම ප්‍රදේශය හඳුන්වා තිබුණේ කුරුන්ගම යනුවෙනි. ඒ ගමේ පොඩි වැවක් කරලා තිබුණා. සෙල්ලිපියේ සඳහන් ආකාරයට එම වැවේ නම කුරුන්ද වාපි. දැන් තන්නිමුරුප්පු වැව යනුවෙන් හඳුන්වන්නෙ ඒ වැව තමයි. නයාරු ඔය හරස් කරලා තමයි තන්නිමුරුප්පු වැව හදලා තියෙන්නෙ. පසුකාලීනව දෙමළ ගම්මාන බිහිවීමත් සමඟ තන්නිමුරුප්පු වැවෙන් වතුර අරගෙන මිනිස්සු වගා කරල තියෙනවා. ඒත් කුරුන්දම්මලේ බෞද්ධ පුදබිමට අයිතිවාසිකම් කියන්න ආවේ නෑ. නටබුන්වලට හානි කළේ නෑ. මෑතක තමයි අයිතිවාසිකම් කියන්න පටන් ගත්තෙ. ඒ අයිතිවාසිකම් කියන්නෙත් සාමාන්‍ය දෙමළ මිනිස්සු නෙමෙයි, දෙමළ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හෙන්චයියන්. ඒවා ඡන්ද ලබාගැනීමේ අරමුණින් කරන දේශපාලන රඟපෑම්…” එල්ලාවල හාමුදුරුවෝ කෙටි විරාමයකට කතාව නතර කළහ.

උතුරු, නැගෙනහිර දෙපළාත හැරුණුකොට තෙවැනියට බෞද්ධ උරුමය සැඟ වී ඇත්තේ උතුරුමැද පළාතේ ය. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද සැලකියුතු යුතු පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාවක් පිහිටා තිබේ. එම පුරාවිද්‍යා ස්ථානවලින් එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට මඟහැරුණු බෞද්ධ පුදබිම් ඇත්තේ අල්ප මත්‍රයක් පමණි. එම පුරාවිද්‍යා ස්ථානවලින් වැඩිම වාර

ගණනක් වැඩම කර ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථානවලට බව උන්වහන්සේ අප සමඟ පැවසූහ. එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවලට උදව් උපකාර කර පුද්ගලයන් අතර උහන සාමෙල් මහතාගේ නම අමතක කළ නොහැකි බව ද එල්ලාවල මෙධානන්ද හිමියෝ සිහිපත් කළහ.

අම්පාර දිස්ත්‍රික්කය ඓතිහාසික ප්‍රදේශයකි. බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන රාශියක් මහා කැලෑවෙන් යට කරගෙන තිබෙන ප්‍රදේශයකි. එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ අම්පාර දිස්ත්‍රික්කය පුරා සිදු කර ඇති පුරාවිද්‍යා ගවේෂණ විශාල සංඛ්‍යාවකි. එහෙත් උන්වහන්සේගේ අසනීප තත්ත්වය නිසා ගවේෂණය කළ පුරාවිද්‍යා ස්ථාන බොහෝමයක් මතකයට නොනැගෙන තරම්ය.

නැගෙනහිර කුඹුක්කන්ඔයේ මෝදර සිට උතුරු පළාතේ දූපත් දක්වා ගවේෂණයන් සිදු කර සියලුම පුරාවිද්‍යා ස්ථාන ගැන කට පාඩමින් පැවසූ උන්වහන්සේගේ මතකය මද පමණින් අඩු වී ඇති බව අපට ද දැණිනි. එහෙත් අම්පාර දිස්ත්‍රික්කයේ සෙල්ලිපි සොයාගත් සියලුම පුරාවිද්‍යා ස්ථාන උන්වහන්සේගේ මතකයේ අදට ද රැඳුණහ. දීඝවාපිය, බුද්ධංගල, පියංගල, සෙම්බිමලේ, කුඩුම්බිමලේ, පුළුපුනාව, මාදනාකන්ද, සමන්ගල, ඉලුක්පිටිය, මලයඩි කන්ද, නිව්ගුණ කන්ද, රූපස්කුලම් වැනි පුරාවිද්‍යා ස්ථානවලින් කිසිවකුගේ ඇස නොගැටුණු සෙල්ලිපි විශාල සංඛ්‍යාවක් සොයාගැනීමට උන්වහන්සේ සමත් වී සිටීම සම්බුද්ධ ශාසනයට ද අභිමානයකි. එමෙන්ම කිරිමකුළුගොල්ල, කල්තොට, මොහොරේ පිහිටි විශාල ගල්ලෙන් පෙළක සෙල්ලිපි පිටපත් කිරීමට හයවෙනි වතාවට ද එම ප්‍රදේශයට වැඩම කළ එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට අකරතැබ්බයකට මුහුණදීමට සිදුව තිබුණහ.

එම සංචාරයට සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් සහ ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතා ද එක් වී සිටීයහ. ශීඝ්‍ර බෑවුමක් සහිත මොහොරේ කන්ද නැඟීමට අතිශය අසීරුය. පාරක්, තොටක් නැති මහ කැලෑව මැදින් ගස් ගල්වලට බර දෙමින් ඉතා අසීරුවෙන් බොහෝ දුරක් ඉහළට වැඩම කළ එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට හුස්ම ගැනීමට අසීරු වී ඇත. ටික වෙලාවක් ගත වන විට උන්වහන්සේගේ ශරීරය පණ නැති වී ඇත. උන්වහන්සේට මතක පුංචි බිම් තැන්නක හාන්සි වෙනවා පමණි. බොහෝ වෙලාවකට පසු උන්වහන්සේට සිහිකල්පනාව එන විට කුසලධම්ම හිමි සහ ධර්ම ශ්‍රී මහතා දෙපසට වී පවන් සලමින් සිටි බව උන්වහන්සේ සිහිපත් කළහ. එම ගමනට පෙර පස් වරක් එම ස්ථානයට වැඩම කර ඇති උන්වහන්සේට මෙවැනි අකරතැබ්බයකට නම් මුහුණදීමට සිදු වී නොමැත. එහෙත් සිහිකල්පනාව ලැබුණු පසු කඳු බෑවුමේ තවත් ඉහළට නැඟ කල්තොට ගල්ලෙන් පමණක් නොව නයිගල සෙල්ලිපි කීපයක් ද පරීක්‍ෂා කර පිටපත් කරගැනීමට උන්වහන්සේ සමත් වී සිටියහ. එසේ පිටපත් කර ඇති එක සෙල්ලිපියක උපශොණ නම් වැවක අයිතිකරු වූ කීර නම් කුමරයෙක් ගැනත් ඔහුගේ පුත්‍රයකු වූ ශිව නම් කුමාරයෙක් ගැනත් සඳහන් වේ. එමෙන්ම උන්වහන්සේ අලුතින්ම සොයාගත් සෙල් ලිපියක කීර කුමාරයා තිස්ස නම් කුමාරයෙකුගේ පුත්‍රයෙක් බව ද සඳහන් වේ. එල්ලාවල හාමුදුරුවන්ට ඒ ස්ථානය ගැන දැනුම් දී ඇත්තේ දියවින්න දේවගිරි විහාරයේ වැඩ සිටි මැල්සිරිපුර සද්ධානන්ද හාමුදුරුවෝ ය.

“මේ සිද්ධිය නම් කොහෙත්ම අමතක වෙන්නෙ නෑ. මහ රෑ සීතලේ ගැහි, ගැහී මහ පාරෙත් ඉන්න වුණා…” රැළි වැටුණු වියපත් මුව මඬල සිනාවකින් පිරිණි. එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ අසුනෙ හරි බැරි ගැසුණහ.

ඉතිරි කොටස ලබන සතියට…
තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment