මේක තමයි මම දන්න රස්සාව – මට වෙන කිසිම වෘත්තීය පුහුණුවක් නෑ – සම්පත් ජයවීර

9124

අලුත්ම වැඩේ ‘ඒත් මම පණපිටින් සඳමාලි’
බොරු සීන් මා ළඟ නෑ…

රංගන ශිල්පියා යන වචනයේ පරිසමාප්ත අර්ථයට සැබෑ සාධාරණයක් ඉෂ්ට කරන්න නිතර උත්සාහ දරන චරිතයක් තමයි සම්පත් ජයවීර. මේ දිනවල කෝලම්කුට්ටමේ දොලේ මහත්තයා, සර්කස්කාරයෝ විපුලෙ, ඇතුළුවීම තහනම් විශ්ව වගේම පසුගියදා අවසන්වුණු කොඩිගහයට ලෝයර් රොහාන් ලෙසින් ඔහු ඔබ හමුවට එනවා. ඒ විතරක් නෙමෙයි රිදී තිරයේ රහස් කියන කඳු වගේම ‘කතුරු මිතුරු’ සිනමා නිර්මාණවලින්ද දකින්නට ලැබෙනවා. ඉතිං මේ වෙලාවේ සම්පත් එක්ක කතා නොකළොත් ලොකු අඩුවක් කියලා අපට හිතුණා.

● සම්පත් ජයවීර කියන රංගන ශිල්පියාව අපට මේ වෙලාවේ හමුවෙන්නේ අතිශය කාර්යබහුල රංගන ශිල්පියෙක් විදිහට?

ඒක ඉතිං තාවකාලික දෙයක්. එක වෙලාවකට එහෙම වෙනවා. එක වෙලාවකට එහෙම නැතිවෙනවා. මේ වෙලාවේ කාර්යබහුල වෙලා ඉන්න හින්ද වැඩටික කරගෙන යනවා. කාර්ය බහුල නොවන වෙලාවලුත් තියෙනවා.

මේක තමයි මම දන්න රස්සාව - මට වෙන කිසිම වෘත්තීය පුහුණුවක් නෑ - සම්පත් ජයවීර

● මේ වෙලාවේ වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ කාටද?

වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ දොලේ මහත්තයාට.

● මේ චරිත තුන හතර සූක්‍ෂමව එකිනෙකට වෙනස් විදිහකට මෙහෙයවන්නේ කොහොමද?

රංගනය කියන විෂයේ මම අවුරුදු ගණනාවක ඉඳලා නියැලී ඉන්න චරිතයක්. ඒ ගොඩනඟා ගත්තු හැකියාවත් ඊට බලපාන්න ඇති. ඒත් එක්කම සද්ධාමංගලගේ තිර රචනා දෙකත් බලපාන්න ඇති. කොඩිගහයට ටෙලිනාට්‍යයේ නම් මම විතරක් නෙමෙයි ඒ නාට්‍යයේ හිටපු හැම චරිතයක්ම ඉතාම ජනප්‍රිය වුණා. ඒ නාට්‍යය ජනප්‍රිය වුණේ වෙනම විදිහකට.

මේක තමයි මම දන්න රස්සාව - මට වෙන කිසිම වෘත්තීය පුහුණුවක් නෑ - සම්පත් ජයවීර

කොඩිගහයට ලෝයර් මහත්තයාට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?

ඇත්තටම මම බලාපොරොත්තු වුණාට වැඩිය ප්‍රතිචාර ලැබුණා. මට හිතෙන්නේ ඔය ටෙලිනාට්‍යයේ මම ඉන්න දර්ශන විස්සක්වත් තියෙන්න නැතිව ඇති කියලයි. හැබැයි ඒ නාට්‍යයේ පුංචි චරිතයටත් ඉහළ ප්‍රතිචාර ලැබුණා.

● මෑත කාලයේ ජගත් මනුවර්ණගේ කොඩිගහයට ටෙලිනාට්‍ය වැඩිපුර කතාබහට ලක්වුණා?

ජගත් එක්ක මමත් ඔය ටෙලිනාට්‍යයට නිෂ්පාදකවරයෙක් සොයාගන්න එක පැත්තකින් මහන්සි වුණා. ජගත් එක්ක මමත් නිෂ්පාදකවරු හම්බවෙන්න ගියා. පස්සේ ජගත්ට වෙනම නිෂ්පාදකවරයෙක් මුණගැසුණා. ඊට පස්සේ ජගත් මට ලෝයර්ගේ චරිතයට කතාකළා. මම ඒ වෙලාවේ ජගත්ට කිව්වේ මම නැතත් කමක් නෑ වැඩේ කරපන් කියලයි. හැබැයි එහෙම වුණානම් මට සෑහෙන දුකක් ඇති වෙන්න තිබුණ නාට්‍ය ගිය දුරත් එක්ක.

මේක තමයි මම දන්න රස්සාව - මට වෙන කිසිම වෘත්තීය පුහුණුවක් නෑ - සම්පත් ජයවීර

● රහස් කියන කඳු චිත්‍රපටය ගැනත් කථා නොකරම බැහැනේ?

මුලින්ම ජගත්ට චිත්‍රපටය රූගත කරගන්න විතරයි බජට් එකක් තිබ්බේ. ඉතිං ඒ චිත්‍රපටයේ දේවල් එක්ක අවුරුදු හයක් ගතකරන්න සිද්ධ වුණා.

● ඒ කාලේ මේ වගේ වැඩක් කරන්න බයක් හිතුණේ නැතිද?

කිසිම බහක් හිතුණේ නැහැ. මීට කලින් මම ඉගිලෙන මාළුවෝ කියලා චිත්‍රපටයක රඟපාලා සෑහෙන ප්‍රශ්න ටිකක් ඇතිවුණානේ. ඒ කාලෙ වුණත් එහෙම බයක් ඇතිවුණේ නැහැ. අපිට වැඩ කරන්න ආසාව තමයි තිබ්බේ. අපේ පරම්පරාවේ අයට බාධකවලට මුහුණදෙන්න හයිය තිබුණා. ෆ්ලයින් ෆිෂ් රඟපාපු කාලෙත් සෑහෙන වාරණයන්ට මර්දනයන්ට මුහුණ දෙන්න සිද්ධවුණා. නමුත් අපේ වෙනසක් ඇතිවෙලා නැහැ. වැඩකරගෙන ගිහින් තියෙනවා.

● ‘රහස් කියන කඳු’ තිරගත කරන්න අවුරුදු හයක කාලයක් ගතවුණා?

පසු නිෂ්පාදන කටයුතුවලට නැවත නැවත ජගත්ට නිෂ්පාදකවරු හොයාගන්න සිද්ධ වුණා. රූගත කිරීම් වලට විතරක් බජට් එක තිබුණේ. ඒ කාලෙ දෙයියනේ කියලා රටේ ලොකු ආර්ථික අර්බුදයක් හැදිලා තිබුණේ නැති හින්දා අපට ඒක කරගන්න පුළුවන් වුණා. දැන්නම් ඒක හිතන්නවත් බැහැ.

● ඔය අතරේ ඔබ රංගනයෙන් දායකවුණු කතුරු මිතුරු චිත්‍රපටයත් සාර්ථක ලෙස තිරගත වෙනවා?

ඒකෙ නම් මම ඉන්නේ සුළු දර්ශනයකට. හැබැයි ඒක හරි ජනප්‍රිය වෙලා තියෙනවා. මේ දවස්වල සිනමා හල් හවුස් ෆුල් වෙලා තිබෙනවා. ඒක හොඳයි. මොකද ක්‍ෂේත්‍රයට කර්මාන්තයක් විදිහට ඒ වගේ චිත්‍රපට ඕනෑ. මේ වගේ චිත්‍රපට හැදෙනකොට තමයි රහස් කියන කඳු වගේ චිත්‍රපටත් බලන්න මිනිස්සු පෙළඹෙන්නේ.

● රංගන ශිල්පියෙක් විදිහට වර්තමාන සිනමාවේ පිබිදීම දකින්නේ මොන විදිහටද?

හරි සතුටුයි. සිනමාව අතහැරලා වෙන දෙයක් කරන්න හදන මනුස්සයෙකුට ආපහු පුංචි හරි බලාපොරොත්තුවක් ඇතිවෙනවානේ. අපි හැමෝම එකතුවෙලා මේ වගේ හොඳ චිත්‍රපට කරලා පණගහලා ගන්න ඕනෑ.

පසුගිය කාලයේ සිනමාහල් වැසීගෙන ගියා. දැන් ආපහු සිනමාශාලා හැදෙනවා.

● ඔබ එදා ගත්තු උත්සාහය අද වෙනකොට සාර්ථක වෙලා කියලා හිතෙනවාද?

සාර්ථක වෙලා තිබෙනවා යම් ප්‍රමාණයකට. අපි හැමවෙලාවෙම සියයට සියයක් උත්සාහ කරන්න ඕනෑ සියයට හැත්තෑපහක් හෝ සියයට පනහක් හරි හරියන්න. හැම වෙලාවෙම හැම තැනදීම මම මගේ සියයට සියය හරියාකාරව කරලා තියෙනවා.යම් කිසි සාර්ථකත්වයක් තිබෙනවා කියලත් හිතනවා. සිනමාව පැත්තෙන් ගොඩක් වැඩ කරන්න අවකාශ ලැබුණෙත් නැහැ. ඒ ගැන පොඩි කනගාටුවක් තිබෙනවා. තවත් අවස්ථා තිබුණා නම් හොඳයි. කරන්න ආස ගොඩක් දේවල් තිබෙනවා. මාධ්‍ය තුනේම මම ඉන්නවානේ.

● කොහොමද වේදිකාවේ වැඩකටයුතු?

මේ දවස්වල මම රංගනයෙන් දායකවුණු වේදිකා නාට්‍ය තුනක් වේදිකාගත වෙනවා. 2019 ජූලි මාසේ දවසක් කියලා රාජිත දිසානායකගේ වේදිකා නාට්‍යයක් තිබෙනවා. ඒක අපි

පසුගිය දවස්වල රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට රඟදැක්වූවා. ඊට පස්සේ අවුරුදු 10 ක් ළංවෙන්න එනවා. ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යයට. ඒකත් තවම වේදිකාගත වෙනවා. ඒ වගේම ධර්මප්‍රිය ඩයස්ගේ මම නෙමෙයි වෙන කෙනෙක් වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. වේදිකාව අතහැරලා නෑ. වේදිකාවේ හරියට වැඩක් කරන වැඩවලට සම්බන්ධ වෙනවා.

මේ මාධ්‍ය ත්‍රිත්වයෙන් ඔබ වඩාත්ම ප්‍රිය කරන්නේ මොන මාධ්‍යයටද?

මම නම් වඩාත්ම ආස වේදිකාවටයි. සිනමාවටයි. හැබැයි ඉතිං හම්බවෙන කොතැන වුණත් හොඳම වැඩක් කරන්න තමයි උත්සාහ කරන්නේ.

● ඔබ මේ දවස්වල හරි ජනප්‍රිය ටෙලිනාට්‍ය කලාව ඇතුළේ?

ඔව් ඉතිං. මම ඇත්තටම ආසයි මෙගා නාට්‍ය නැතිව කොඩිගහයට වගේ අඩු කොටස් ප්‍රමාණයක් තිබෙන නාට්‍ය නිර්මාණය වෙනවා නම්. එහෙම කියලා අපිට මෙතැන නිකං ඉන්න බැහැ. වෘත්තීය රංගනය විදිහට කරන්න ගත්තහමත් එහෙම තෝර තෝර ඉන්න බැහැනේ. තෝර තෝර ඉඳලා දුක්විඳින්නත් බැහැනේ. මොකද අපේ ජීවිතවලත් අවශ්‍යතාවයන් තිබෙනවානේ.

දැන් තව ටෙලිනාට්‍යයක් විකාශනය වෙන්න සූදානම්. ‘සඳමාලි ඒත් මම පණපිටින්” කියා. අධ්‍යක්‍ෂණය ශ්‍යාම් ප්‍රනාන්දුගේ. මිනිසීරියස් කථා මාලාවේ අළුත්ම වැඩේ තමයි ඒක. මම තිලක්‍ෂිණී රත්නායක, අනුරාධ මල්ලවආරච්චි, නලීන් ලුසේනා ඇතුළු පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා.

● ඔබේ සගයො සියලු දෙනාම අධ්‍යක්‍ෂණ කාර්යයට අතගසලා. ඔබ තවමත් ඒ වැඩේට ප්‍රමාදයි?

එහෙම නැහැ. බලමු ඉතිං අනික ඒවාට ඉඩ හැදෙන්නත් එපායැ. ගොඩක් දේවල් තියෙනවා හරි ගස්සගන්න. ටෙලිනාට්‍යයක් චිත්‍රපටයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා. බලමු ඉතිං ඉඩ අවකාශ වගේම නිෂ්පාදකවරයෙක් ලැබුණොත් ගැටලුවක් නැතිවම මේක කරගෙන යන්න පුළුවන්.

● රංගන ශිල්පියෙක් විදිහට ඔබට ලැබෙන වටිනාකම ගැන තෘප්තිමත්ද?

මෙහෙමයි මේ මොහොතේ මම ලබාගන්නා සහ මට ලැබෙන වටිනාකම ගැන තෘප්තිමත්. ඒක ඉතිං මීට වඩා වැඩිකරගන්න පුළුවන්නම් මම වඩාත් කැමැතියි. නමුත් අපි මේ යන විදිහට අවබෝධ කරගෙන යන්න එපායැ. බොරු ආටෝප නැතිව වැඩකරමින් රැඳිලා ඉන්න එක තමයි ප්‍රධානම දේ… මේ මොහොතේ මට ඉතාම හොඳ වටිනාකමක් ලැබිලා තියෙනවා.

● මිනි සීරියස් ශානරය ගැන මොනවගේ මතයකද ඉන්නේ?

හොඳයි. මිනිස්සු වෙනස් දේවල්වලට සහ අලුත් දේවල්වලට කැමැතියි කියන එකනේ ඒකෙන් අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් මෙගා නාට්‍යයක් වුණත් කාලයක් යනකොට මිනිස්සුන්ට ඇතිවගේ කියලා හිතෙනවානේ. ඇතිවෙලා එපා වෙනකම් නාලිකාවන්වලින් ඒක කරගෙන යනවා. ඊට වඩා හොඳයි නේද? තව තිබ්බා නම් හොඳයි කියන තැනින් ඉවර කරනවා නම් මිනිස්සුන්ට එපාවෙලා. දැන් මේකේ කතාවක් නැහැ කියලා එනකම් නාලිකාවලින් ඒක කරගෙන යනවා. ඕක තමයි වෙලා තියෙන්නේ. මෙගා රැල්ලක්නේ ආවේ. අපි ක්‍ෂේත්‍රයට ආපු කාලෙනේ මේ රැල්ල ආවේ. අදටත් ඒක එහෙමම යනවානේ. ඔය අතරේ අලුත් දේවල් එනවා. අලුත් දේවල් වලට, නැවුම් දේවල්වලට වෙනස් දේවල් වලට මිනිස්සු කැමැතියි. එහෙම නැහැ කියලා එකක් නැහැ. මිනිස්සු ඉල්ලනවා කියලා දෙයක් නැහැ. මිනිස්සු ඉල්ලන්නේ හොඳ දේවල්. මිනිස්සුන්ට නාලිකාවලින් දෙන දේවල් තමයි බලන්න වෙලා තියෙන්නේ. නිර්මාණකරුවොත් ඒවාට බයේ ඉන්නේ නැතිව තමන්ට කරන්න ඕනෑ නිර්මාණය කරගෙන ගියානම් හොඳයි.

● ඔබ අතට පිටපතක් එහෙම ලැබෙනකොට සීමාවන් එහෙම තියෙනවාද?

ඇත්තටම මට එහෙම ස්වයං වාරණ වගේ දේවල් නැහැ. මම රඟපාන්න තමයි කැමැති අරවා කරන්නේ නැහැ. මේවා කරන්නේ නැහැ අර වගේ ඇඳුම් අඳින්නේ නැහැ. මේ වගේ ඇඳුම් අඳින්නේ නැහැ වගේ ඒවා මට නැහැ. මම බලන්නේ සමස්ත වැඩේ දිහා මිසක් මගේ දිහා නෙමෙයි. බොරු සීමාවන් බොරු සීන් මා ළඟ නැහැ.

නළුවෙකුට එහෙම තියෙන්න බැහැ කියලයි මගේ විශ්වාසය.

● සම්පත් ජයවීර මේ දේවල් නොකළා නම් ඇත්තටම මොනවා කරාවිද?

නළුවෙක් නොවුණානම් මොනවා කරාවිද කියලා මටවත් හිතාගන්න බැහැ. මට යමක් අවශ්‍ය වෙන්න තියෙන කාලෙදී මට ඕනෑ වුණේ නළුවෙක් වෙන්න. ඉතිං ඒ කාලෙ ඉඳලා දිගටම උත්සාහ කළේ රඟපාන්න. මම ඉගෙන ගත්තෙත් ඒක. මම වෙන මොකුත් ඉගෙන ගත්තෙත් නෑ. මට වෙන කිසිම වෘත්තීය පුහුණුවක් නෑ ඉතිං වෙන මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ.

● මේක ඔබ දන්න රස්සාව. එහෙමද?

මේක තමයි මම දන්න රස්සාව.

● ක්‍ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

ක්‍ෂේත්‍රයේ නම් අර්බුද ගොඩක් තිබෙනවා. මේවා දැන් කතා කරලා කතා කරලා මිනිස්සුන් දන්නවානේ. මේවා විසඳගන්න මේවාට ශිල්පීන් එකතු වෙන්න ඕනෑ. ශිල්පීන් එකතු වෙන්නේ නැහැ. ඒ ගොල්ලොත් හැම වෙලාවෙම පෞද්ගලික වාසිවලටනේ එකතු වෙන්නේ. දේශපාලකයෝ, පක්‍ෂ වටේ ආණ්ඩු පස්සේ ගිහිල්ලා ඇතිවෙන දෙයක් නැහැ. අපි අපේ ක්ෂේත්‍රය ආරක්‍ෂා කරගත්තා නම් අපි අපේ ක්‍රමවේදයක් හදාගත්තා නම් ඒකෙන් අපිව රැකෙනවා. එහෙම නැතිව කවුරුවත් පස්සේ ගියා කියලා අපිව රැකෙන්නේ නැහැ. ඕක මිනිස්සු අවබෝධ කරගන්නා තාක් මේ ප්‍රශ්න ටික එහෙම්පිටින්ම තියේවි.

● ඔබ නිතරම ස්වාධීනව ඉන්න උත්සාහ දරනවා නේද?

මගේ ප්‍රකාශනය මාධ්‍ය කලාව. දේශපාලනය නෙමෙයි. මම ඒක ඇතුළේ ඉන්නවා. ඒක මට ඇති. දේශපාලනයයි කලාවයි පටලවා ගත්තු අයට වෙච්ච දේවල් පසුගිය කාලය පුරාවටම අපි දැක්කානේ. තිබුණ ගෞරවයත් තමන් ගොඩනඟා ගත්තු නම් සියල්ල විනාශ වෙලා ගියානේ.

● දේශපාලනඥයන් පසුපස ගිහිල්ලා මොකක් හරි තනතුරක් වරප්‍රසාදයක් ගන්න හිතිලම නැතිද?

නැහැ. මට එහෙම හිතිලම නැහැ. මම ඒකට බයයි. කලාවත් එක්ක වැඩකරගෙන ඉන්න එක හොඳයි. දන්න රස්සාව කරගෙන ඉන්න එක ඔක්කොටම වඩා ඇඟට ගුණයි.

දිනේෂ් විතාන
ඡායාරූප – අන්තර්ජාලය ඇසුරිනි.

advertistmentadvertistment
advertistmentadvertistment