පාසල් අධ්‍යාපනයට මම සම්පූර්ණයෙන් එකඟ නෑ

වැඩ බැරිනම් තියන්නෙ සතියයි

වසර පහක් තුළ රැකියා ලක්ෂ දහයක්

රට හරි සිස්ටම් එකට දාන්න අපට පුළුවන්

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ සටන මේ වන විටත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ප්‍රධාන පක්ෂයන්හි බලය අහිමි වීම, ජවිපයේ පිබිදීම සහ මෙරට ප්‍රබල ව්‍යාපාරිකයන් මැතිවරණ සටන සඳහා ඉදිරිපත් වෙන බව සඳහන්වීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් හේතුවෙන් එම උණුසුම තව තවත් වැඩි වෙමින් පවතී. මෙරට අංක එකේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ද මීළඟ ජනාධිපතිවරණ සටන සඳහා එක්වන බවට ආරංචි පැතිර යමින් තිබේ. ඒ බව දැනගැනීම සඳහා පසුගිය දිනක ධම්මික පෙරේරා මහතා මුණගැසුණෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – රටේ තත්ත්වය දවසින් දවස නරක අතට හැරෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා. ජනතාවට ජීවන බර දරාගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙන්නේ. ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයකු ලෙස මෙරට ආර්ථිකයට කුමක් සිදුවී ඇතැයි ඔබ සිතනවා ද ?

පිළිතුර – ඕනම කෙනෙක් දන්නවා රටක ආදායම එන්නෙ රටේ මුළු සමස්ත දළ ජාතික නිෂ්පාදිතයෙන්. ඒක වර්ධනය වෙන්නෙ නැත්නම්, රටේ ආර්ථිකයත් විශාල වෙන්නෙ නැත්නම් ලැබෙන බදු ප්‍රමාණයත් වැඩිවෙන්නෙ නෑ. ඕනම ආයතනයක සෑම වර්ෂයකම පිරිවැය සියයට දහයකින් වැඩිවෙනව. එහෙම පිරිවැය වැඩිවෙලා රටේ ආර්ථිකය එක විදිහටම තියෙද්දි රට බංකොලොත් වෙනවා කියන එක අහන්න දෙයක් නෑ. මෙතන වෙලා තියෙන්නේ එයයි. මෙහි ජාති දෙකක් තියෙනව. එකක් ඩොලර් හදන්න ඕන. අනෙක රටේ ආර්ථිකය ලොකු කරන්න ඕන. රටේ ආර්ථිකය ලොකු කළොත් විතරයි රජයේ ආදායම වඩිවෙන්නෙ.

ප්‍රශ්නය – රටේ ආර්ථිකය ලොකු කරන්නේ නම් කළ යුත්තේ කුමක්ද?

පිළිතුර – ඒක හරිම ලේසියි. රටේ ආර්ථිකය කියන්නෙ මේ ඉන්න තරුණ පිරිසයි, ළමා පරපුරයි. ඔවුන් කොහොම ද අධ්‍යාපනයෙන් ඊළඟ පියවරට ගෙන යන්නෙ කියල අපි හිතන්න ඕන. අපි ඉන්නෙ ගොඩක් පහළ මට්ටමක. විශ්වවිද්‍යාලකින් එළියට එන ළමයෙක් රැකියා විරහිත උපාධිධාරියෙක් කියලා ලේබල් කරල තියෙනවා. එසේ නොවන තත්ත්වයක් ඇති කළ යුතුයි . 2025න් පසු ඉලෝන් මස්ක්ගෙ ස්ටාර්ලින්ක් එකෙන් අන්තර් ජාලය පැමිණීමත් සමඟ අපි ලංකාවේ පුරවැසියො කියල ගණන් ගන්න බෑ. විශ්ව පුරවැසිකම තමයි අපට හම්බවෙන්නෙ. එහෙම හම්බවෙන ලෝකයක් තියෙද්දි, ලෝකයටම හරියන අධ්‍යාපනයක් හදනව මිසක්, රටකට, ජාතියකට කොටුවුණු වර්ක් කෝස් එකක් හැදුවොත් ඉවරටම ඉවරයි.

ප්‍රශ්නය – ඔබ නිතර සඳහන් කරන කාරණයක් තමයි අපි ඉක්මනින් ඩිජිටල්කරණය විය යුතු බව. මේ යන ක්‍රමය ඇතුළේ එවැනි වේගයක් ගමනක් දකින්න පුළුවන් ද?

පිළිතුර – මෙහෙමයි, මම 2012 තමයි මහින්දෝදය ලැබ් එක හදන්නෙ. ඒ ලැබ් එක හැදීමේ මූලික අරමුණ තමයි උදේ වරුවේ ඉස්කෝලේ ළමයින්ට උගන්වා හවස්වරුවේ උසස් පෙළ ළමයින්ට තොරතුරු තාක්ෂණය උගන්වා රස්සාවකට යන්න පුළුවන් විදිහට ඔවුන් හැදීම. 2012 ඉඳල 2022 වෙනකම් අවුරුදු දහයක් තිස්සේ ඒක කළේ නෑ. මම පළමුවැනි එක හැදුව. මහින්ද රාජපක්ෂ මහත්තය ඉතුරු 1000 හැදුවා. එතුමාට 2015දි යන්න වුණා. එතැනින් පස්සේ අද වෙනකම් කවුරුවත් ඒක ගැන අවධානයක් යොමුකරල නෑ. මිනිස් බළකාය දියුණු කරන්න නැතිව මේ රටට ඉදිරියට යන්න බෑ.

ප්‍රශ්නය – ඒ නිසා ද ඔබ DP එඩියුකේෂන් පටන් ගන්නේ?

පිළිතුර – පාසල් අධ්‍යාපනයට මම සම්පූර්ණයෙන්ම එකඟ නෑ. ඒකෙ විෂයන් හතරකට මම එකඟ නෑ. ගණිතය 60%ක් හොඳයි, තව 40%ක් දියුණු කරන්න ඕන. විද්‍යාව වගේ තව 40%ක් විතර දියුණු කරන්න ඕන. තොරතුරු තාක්ෂණ විෂය 100%ක් දියුණු වෙන්න ඕන. සාමාන්‍යයෙන් තොරතුරු තාක්ෂණය වගේ විෂයක විෂය පථය අවුරුදු දෙකෙන් දෙකවත් වෙනස් වෙන්න ඕන. ඉංග්‍රීසි ටික හදන්න ඕන. මේ හතර හැදුවොත් අන්තර් ජාතික මට්ටමට, අපිට අධ්‍යාපනය ගොඩගන්න පුළුවන්. හැබැයි මේ තියෙන අධ්‍යාපනයට උදව්වක් වෙන්න තමයි මම DP එඩියුකේෂන් එක හදල මුළු ඉස්කෝල 10000ටම එක හා සමාන විදිහට ඉගෙනගන්න පුළුවන් විදිහේ මේ ප්ලැට්ෆෝම් එක හැදුවෙ. අද වෙනකොට ඒක ආසියාවේ අංක 1ට ඇවිත් තියෙනවා. ජපානයේ, චීනය, කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව වගේ රටවල් අභිබවා අපි ආසියාවෙන්ම පිළිඅරන් තියෙනවා. ඒ DP එඩියුකේෂන් එක පාසල්වලට තියෙන හොඳම ප්ලැට්ෆෝම් එක කියලා. ඉස්කෝල දහදාහක වහලවල් තියෙනවා. ඒ වහලවල් ටික කුලියට දීල ස්මාර්ට් ක්ලාස් රූම් ටික කාට හරි දාන්න පුළුවන්.

ප්‍රශ්නය – මේ වෙද්දි DP එඩියුකේෂන් එකේ එක් එක් විෂයන් වශයෙන් ගත්තාම කොයි තරම් ග්‍රාහකයින් ප්‍රමාණයක් ඉන්නවා ද?

පිළිතුර – සම්පූර්ණ ළමයින් ලක්ෂ 45ක් ඉන්නවානෙ අධ්‍යාපන ක්‍රමයේ. ඒකෙන් ලක්ෂ 15ක් අපෙන් ඉගෙන ගන්නවා. ඔබට පේනවා ඇති සරසවිවලට හොඳම ළමයි ටික දැන් එන්නෙ කොළඹින් නෙමෙයි. අද කොළඹ හොඳ ඉස්කෝල තියෙන්නෙ 20%යි. කොළඹින් පිට තමයි හුඟක් හොඳ ඉස්කෝල තියෙන්නෙ. එක හා සමාන අධ්‍යාපනයක් දෙන්න නම් ස්මාර්ට් ක්ලාස් රූම් 10000ක් හැදුවොත් පුළුවන්.

ප්‍රශ්නය – එයින් ආර්ථිකයට මොන වගේ දායකත්වයක් ද ලැබෙන්නේ ?

පිළිතුර – ආර්ථිකය කියන්නෙම අධ්‍යාපනයනෙ. අධ්‍යාපනය කොච්චර දුරට වර්ධනය කරන්න පුළුවන් ද? ඒක තමයි අවසානයේ ආර්ථිකය කියන්නෙ. රටේ මිනිසුන්ගෙ දැනුම තමයි ආර්ථිකය කියන්නෙ. අපි එතැනට ගෙනියන්නෙ කොහොමද කියන තමයි සැලසුම් කරන්න ඕන. මම DP එඩියුකේෂන් එක හදල පාසල් ටික සමාන කළා. හැබැයි ඩිජිටල් කරන්න රජයට කිසිම සැලසුමක් නෑ. 2014න් පස්සෙ අවුරුදු නමයක් තිස්සේ කිසිම සැලසුම් ඉදිරිපත් කරලා නැති නිසා තමයි අපි DP එඩියුකේෂන් IT කැම්පස් පටන් අරන් තියෙන්නෙ. අද වෙද්දි කැම්පස් 85ක් පටන් අරන් තියෙනවා. ළමයින් 70000ක් අපි ළඟ ඉන්නවා. ඒක හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අපි විවෘත කරනවා. මම හිතනව මේ කැම්පස් වලින් ලබන අවුරුදු පහේදී මට මිලියනයක රැකියා නිර්මාණය කරන්න පුළුවන් කියලා . මේ වෙද්දි පළමුවැනි රැකියා මධ්‍යස්ථානය ආරම්භ කරල තියෙන්නෙ. ඒකෙ ළමයින් 14ක් වැඩ. අපි හිතනවා තම මාස දෙකක් යද්දි එවැනි මධ්‍යස්ථාන 10ක් විතර ආරම්භ කරන්න පුළුවන් කියලා. අපි IT ජොබ් එක ගමට ගෙනියන්න කටයුතු කරනවා.

ප්‍රශ්නය – ඔබගේ ඉලක්කය අවුරුදු පහක් ඇතුළත රැකියා ලක්ෂ 10ක්. එතකොට අවුරුද්දකට රැකියා ලක්ෂ 2ක්. ඒක විශාල අගයක්. ඔබ හොඳ ගණන්කාරයෙක්නෙ. මේක බලන කෙනෙක්ට මේ ඉලක්කම් අතිශයෝක්තියක් වෙන්න පුළුවන්. කොහොමද ඔබ මෙය යථාර්ථයක් වන බව කියන්නේ?

පිළිතුර – තොරතුරු තාක්ෂණයට අද ලෝකයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. රටේ ගම් 14000ක් තියෙනවා. මේ ගම් 14000ට රැකියා විස්ස ගාණෙ රැකියා දුන්නත් 2,80,000යි රස්සා දෙන්න පුළුවන්. අපි මේ දවස්වල හැමෝම දැනුවත් කරමින් යනවා 20ක කණ්ඩායමක් ඉන්නවා නම් සෙන්ටර් එකක් දාන්න අපේ කැම්පස් එකට එන්න කියල. ඒ වගේ කණ්ඩායම් එමින් තියෙනව. අපි ළඟ පැය 960ක් ඉගෙන ගන්න කෙනෙක් හොයාගන්න පුළුවන්නම් ඕනම තැනක රැකියා 20ක් අපිට දෙන්න පුළුවන්. අපි දාන කැම්පස් තුළින් ලක්ෂ 3කට උගන්වන්න පුළුවන්. එහි උගන්වන සංඛ්‍යාව ලක්ෂ දහයක දක්වා වැඩි කරන්න පුළුවන්. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ ළඟ ඉන්නවා අවුරුදු 11 ළමයි රස්සාවක් කරන්න පුළුවන්. හැබැයි ඒ ළමයට අවුරුදු 16 වෙනකම් වත් ඉන්න වෙනවා රස්සාවක් කරන්න. හැබැයි ඇමරිකාවේ අවුරුදු 14 ඉඳලම වැඩකරන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබ හිතන්නෙ අපෙත් රැකියා කළ හැකි වයස් සීමාව ඒ මට්ටමට ගෙන්න ඕන කියල ද?

රටට ඕන මරණ පරීක්ෂකවරයකු නොව ශල්‍ය වෛද්‍යවරයෙක්

පිළිතුර – රටේ කන්න නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා නම්, ලෝකයේ අනෙක් තැන්වල අවුරුදු 14 ළමයින් වැඩ කරනවා නම්, ඔබ හිතනවද මම කියන්නෙ වැරැද්දක් කියල. හැබැයි මගේ එක දෙයක් තියෙනවා. ඒ තමයි මිනිස්සු ඉල්ලන්නේ නැත්නම් මම කිසි දෙයක් දෙන්නෙ නෑ. ඒ මගේ හැටි. මම හොඳම උදාහරණයක් කියන්නම්. විශ්වවිද්‍යාල ළමයින් සල්ලි නැති හින්දා එළවළු බත් පැකට් එකක් තමයි කන්නෙ. ඒක රුපියල් 100යි. ඒකත් එක බත් පැකට් එක මේසෙ දෙපැත්තෙ ඉඳගෙන කීප දෙනෙක් තමයි කන්නෙ. මේ විදිහට කන මිනිස්සුම කල්පනා කළොත් මට තරු පහේ හෝටලයකින් වගේ කන්න ඕන කියලා, එතකොට මොකක්ද හිතන්න තියෙන්නෙ. හිතන්න තියෙන්නෙ ඒකට යන වියදම. අපි හිතමු විශ්වවිද්‍යාලයටම මිලියන 300ක් යනවා තරු පහේ කෑම වේලක් දෙන්න. ඒකට තව ළමයින් මුදල් අය කර කැම්පස් එක ඇතුළට ගත්තොත් තරු පහේ කෑම නොමිලේ කන්න පුළුවන්. ළමයි හිතන්න ඕන 100 බත් පැකට් එකක් කනවද? තරු පහේ හෝටල් බුෆේ එකක් නොමිලේ කනවද කියල.

ප්‍රශ්නය – ඔබ DP එඩියුකේෂන් එක මගින් රැකියා උත්පාදනය කරමින් ඉන්නවා. ඔබතුමා අමතන්නෙත් නව යෞවනයට. ඔබ මේ දේවල් කරමින් බලාපොරොත්තු වෙන්නෙ ඔබ දේශපාලනයට එන මග හෙළි පෙහෙළි කර ගැනීමක් ද?

පිළිතුර – නැහැ. මම සාමාන්‍යයෙන් ජීවිතයේ කරන්න ඕන දේ කරන කෙනෙක්. කරද්දි මට ආරාධනාවක් හම්බවෙනවා දේශපාලනයට එන්න කියල. ඒ නැතුව මම දේශපාලනය කරන්න මේ දේවල් කළා නොවෙයි. මම DP එඩියුකේෂන් පටන් ගන්නෙ 2019දි, මහින්දෝදය හදන්නෙ 2012. මේ ඔක්කෝම අධ්‍යාපනය හදන්නෙ රට හදන්න ඕන කියන එකට. හැබැයි ඒ යන අතරමගදි ලැබෙන ආරාධනා තමයි පිළිගන්නෙ. ඇමැතිකමක් වුණත් දාල ගෙදර යනවා කියන එක මට මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක මම ක්‍රියාවෙන් ඔප්පු කරලා තිබෙනවා.

ප්‍රශ්නය – ඔබ එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බවට යම් ප්‍රචාරයක් යනවා. ඇත්තටම ඔබ ඒ සඳහා ඉදිරිපත් වෙන්න අපේක්ෂා කරනවද? මොකක්ද පක්ෂය?

පිළිතුර – කැමැත්ත පළ කරලා තියෙනවා. එක දේශපාලන පක්ෂයක් එන්න කිව්වා. හැබැයි මට ඒක තාම කියන්න බෑ. මම කිව්වෙ 51%ක් ලැබුණොත් එනව කියල.

ප්‍රශ්නය – ඔබ කියනවා 51%ක් තියෙනවා නම් ඔබ ජනාධිපතිවරණයට එන බව. සියයට 51% ක් තියෙනවා නම් ඕනම කෙනෙකුට ඡන්දය ඉල්ලන්න පුළුවන්නේ. ඒක අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි ද?

පිළිතුර – අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි. ඒ 51% දෙන්න දේශපාලන පක්ෂ එකඟ වෙන්නෙ ඒගොල්ලන්ටත් ඒ ඡන්දය ගන්න පුළුවන් එක්කෙනෙක් හින්දනෙ. නැතුව ඒගොල්ලන්ගෙ 30%ක් තියෙනවා කියල ඒ අය වැරැදි මිනිහෙක් දැම්මොත්, ඒ ප්‍රමාණය 3%ට බහිනවානේ. එතකොට ඒ අය රට හදන්න පුළුවන් මිනිසෙක්ට තමයි මේ ආරාධනාව කරන්නෙ. අනෙක දැන් මිනිස්සු කරන්නම් කියන එකට රැවටෙන්නෙ නෑ. හැම තිස්සේම අහන්නෙ ඔබතුමා මොනවද කරල තියෙන්නෙ කියන ප්‍රශ්නය. හෝම්වර්ක් බලනවා. හොඳටම හෝම්වර්ක් කරපු එක්කෙනෙක් තමයි මම.

ප්‍රශ්නය – මොකක්ද ඔබ ඔය කියන සියයට 51 ක. ජනාධිපතිවරණයට පෙර කොහොමද එහෙම නිශ්චිත ප්‍රතිශතයක් ලැබෙයි කියල විශ්වාස කරන්නේ ?

පිළිතුර – සාමාන්‍යයෙන් මම සමාගම් ගනිද්දි 51%ක් නැත්නම් ගන්නෙ නෑ. ඒ වගේම තමයි.

ප්‍රශ්නය – ඒක තව පැහැදිලි කරන්න පුළුවන් ද?

පිළිතුර – 51% කියන්නෙ දේශපාලන පක්ෂවලට තිබුණු ප්‍රතිශතයක් තියෙනවනෙ. ඒවා මේ වෙද්ද විනාශ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඒකට හරි මිනිහෙක් දාපු ගමන් ආයෙ මිනිස්සු දෙනවා. ඒ එකතු කරගත්ත වෙලාවට මම කියන්නම් 51%ක් තියෙනවා කියල. එතකොට ඒ දේශපාලන පක්ෂ කියයි මේ අපේ අපේක්ෂකයා කියල. ඒ අය තමයි තීරණය කරන්න ඕන එන්න ඕන වාහනය මොකක්ද කියල. ඒ නිසා මට දැන් කියන්න බෑ මම මෙන්න මේ වාහනයෙන් එනවා කියලා.

නූගත් රටක, ඕන බොරුවකට රජකරන්න පුළුවන්. හැබැයි ඒක උගත් රටක සිදුවෙන්නෙ නෑ. 2005-2014 වෙනකම් අපේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 3000කින් වැඩිකළා. අද වෙද්දි අවුරුදු අටක් පහුවෙලා ගියත් 2014 එකවත් අද නැහැ. ඒ ආර්ථිකයෙ ප්‍රමාණයවත් අද නෑ. අවුරුදු අටක් තිස්සේ කරපු දෙයක් නෑ.

මේ තත්ත්වයන් ජනතාව තේරුම් ගත යුතුයි. වෙනස් විය යුත්තේ කුමක්ද යන්න මිනිස්සු තීරණය කරයි. මිනිස්සුන්ට ප්‍රශ්නත් එක්ක ජීවත්වෙන්න ඕන නම්, විසඳුම් තියෙන මිනිසෙක් ළඟට එන්නෙ නැතිව ප්‍රශ්න තියෙන මිනිහෙක් ළඟටම යන්න ඉඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මිනිස්සුන්ගෙ කැමැත්තනෙ. ප්‍රශ්නත් සමඟ ජීවත් වෙනවා ද එසේ නොමැතිනම් ප්‍රශ්න නොමැතිව ජීවත් වෙනවාද යන්න මිනිසුන් තීරණය කරගත යුතුයි.

ප්‍රශ්නය – ඔබ මීට පෙර අවස්ථා කිහිපයකදී දේශපාලනයට හවුල් වී තිබෙනවා. ආසන්නතම අවස්ථාව ලෙස අරගලයෙන් පසුව රජයේ අමාත්‍ය ධුරය භාරගැනීම. එහිදී ඔබ පැමිණීමේ අරමුණ ඉටු කර ගැනීමට හැකියාවක් නොලැබුණු බව තමයි පෙනෙන්නට තිබුණේ.

පිළිතුර – එහෙම දෙයක් එතන වුණේ නැහැ. මම උත්සාහ කෙරේ ආයෝජන සමග රට ඉදිරියට ගෙන යන්න. එම අවස්ථාවේදී ආණ්ඩුව රට හකුලන බවට තීරණයක් ගත්තා. රට හකුලන අදහසට සම්පූර්ණ විරුද්ධ අදහසක තමයි මම ඉන්නේ. එහෙම තැනක මට ඉන්න බැහැ. එහෙම නැතුව වෙන දෙයක් එතන වුණේ නැහැ.

ප්‍රශ්නය – දේශපාලනයට කැන්දාගෙන එද්දි දෙන පොරොන්දු සහ ඊට පසු තත්ත්වය වෙනස්. ජනතාව හමුවේ අපකීර්තියට පත්ව ඇති දේශපාලන පක්ෂ ඔබ මතින් නැගිට්ටවා ගැනීම නෙවෙයිද මේ කරන්න හදන්නේ ?

පිළිතුර – මට තියෙන්නේ රට හදන්න තියෙන වුවමනාව. ඒකේ ඇතුලේ දී දේශපාලන පක්ෂයක් නැගිට්ටහම මොකද වෙන්නේ ? එහි කිසි ප්‍රශ්නයක් නෑ.

ප්‍රශ්නය – දේශපාලන පක්ෂයක් නැගිටීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ වැටී සිටි අය නැගිට්ට වූ පසු ඊට අත දුන් මිනිසුන්ට වැඩ කරන් යන්න දේවි ද කියන ප්‍රශ්නය යි.

පිළිතුර – මම වැඩ කරන්නේ මගේ ස්ටයිල් එකට. වැඩ කරන්නේ නැත්නම් උපරිම සතියයි කාලය දෙන්නෙ. අපි සිස්ටම් එකක් හදලා. ඒක ඇතුළේ හැමෝටම හරියට වැඩ කරන්න වෙනවා. අයාලේ යන රට හරි සිස්ටම් එකට ගන්න එක ලොකු වැඩක් නෙවෙයි. අද තියෙන තාක්ෂණයත් එක්ක ඒක සුළු දෙයක්.

ප්‍රශ්නය – ඔබ සඳහන් කරන විදිහට රට ගොඩගන්න පුළුවන්. ඒ සඳහා ඔබ සතුව කාලරාමුවක් තිබෙනවාද? මොකද මේ වන විට ආණ්ඩුව කියන්නේ 2048 දි රටට හොඳ වෙන බව.

පිළිතුර – අපිට සෑම දෙයකටම කාල සීමාවක් තිබෙනවා. මට වැඩ ගන්න අවුරුදු පහක් තිබෙනවා. මිනිස්සුන්ට පළමු සුමානෙම දැනෙන්න ඕන රට හැදෙන බව. ඔවුන්ට එම විශ්වාසය දෙන්න ඕනා. අප හමුවේ ඇති ප්‍රධානම අභියෝගය තමයි සල්ලි නොමැතිව රට හදන එක. ණය දෙන ආයතනය දැන් අය දෙන්නෙත් නැහැ. තියෙන ණය ගෙවන එක තමයි මූලික කාරණය. එහෙව් රටක් සාමාන්‍යයෙන් මිනිහෙක්ට හදන්න බැහැ. සල්ලි තියෙන රටක් හදන්න ඕන කෙනෙකුට පුළුවන්. සල්ලි නැති රටක් හදන එක හැමෝටම කරන්න බැහැ. එහෙව් රටක් හදන්න පුළුවන් බංකොලොත් වුණු සමාගම් අරගෙන සල්ලි නොදා ඉහළට ඔසවා තැබූ මිනිසුන්ට පමණයි. ඒ කලාව මම දන්නවා.

ප්‍රශ්නය – රට තුළ විශාල ලෙස බුද්ධි ගලනයක් සිදු වෙමින් තිබෙනවා. දැනුමැති මිනිසුන් අහිමි වෙමින් තිබෙන තැනක ඉදිරි කටයුතු කරගෙන යන්න පසු වේවිද?

පිළිතුර – ඇත්තටම ඔවුන් හිටියනම් හොඳයි. නමුත් ඔවුන්ගේ පවුල් පසුබිම, රැකියා සුරක්ෂිතතාවය ඇතුළු කරුණු කාරණාවන් නිසා ඔවුන් රට හැර යනවා. එම තත්ත්වය ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු මග හැරේවි. අහිමි වූ දේවල් ගැන සිතනවාට වඩා හිමි දේ සමග ඉදිරියට යෑමයි වැදගත්.

ප්‍රශ්නය – අප රට කෘෂිකාර්මික රටක් ලෙසයි හඳුන්වන්නේ. හැබැයි ඔබ රට දියුණු කිරීමේ උපක්‍රමයේදී ඉඳුරාම වෙනස් අදහසක් ඉදිරිපත් කරනවා. කෘෂිකර්මාන්තයට මුල් තැන නොදී ඉදිරියට යන්න පුළුවන්ද ?

පිළිතුර – කෘෂිකාර්මික රටක් ලෙස රට හැඳින්වුවත් එක එක කොටස් වෙනම ගතහොත් වී සහ සහල් සමස්ත ආර්ථිකයෙන් සියයට 1.1 යි. අපි කල්පනා කළ යුත්තේ මෙය ලාභදායී විදිහට දෙන ආකාරයයි. ගොවීන්ට තාක්ෂණය ලබා දීල නිෂ්පාදනය ඉහළ දමා මිල අඩුවෙන් තියා ගන්න ඕන.

ප්‍රශ්නය – එළඹෙන ජනාධිපතිවරණ සටන ඉතාමත් තීරණාත්මකයි. දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම ව්‍යාපාරිකයන් ගණනාවක් ඒ සඳහා ඉදිරිපත් වෙන බව කියවෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනප්‍රියතාව ඉහළ ම තැනක ඇති බවත් කියනවා. එවන් වටපිටාවක් තුළ ඔබගේ ආගමනය කොතරම් තුළට ප්‍රායෝගික වේවිද ?

පිළිතුර – කෙතරම් කට්ටිය හිටියත් විසඳුම් අතේ තියන් ඉන්නේ කවුද කියල කල්පනා කරන්න. ඔවුන් කතා කරන පැයක් ගන්න. ඒ කතාවේදී මේ රට ගොඩගැනීම සඳහා විසඳුම් කීයක් දී තිබෙනවාද.

ඔපරේෂන් එකක් කරන්න දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්න ඕනා. එහෙම නැතුව මරණ පරීක්ෂකවරයෙක් ඉඳලා වැඩක් නැහැ. මරණ පරීක්ෂකවරයෙක් අවශ්‍ය වන්නේ මියගිය බොඩියක් කපා කොටන්න. ශල්‍ය වෛද්‍යවරයෙකු අවශ්‍ය වන්නේ ලෙඩ වූ රෝගියෙකුට ජීවිතය දෙන්න.

ඇත්තටම දැන් රටට අවශ්‍ය වන්නේ ඒ දෙදෙනාගෙන් කවුද ? එය තීරණය කළ යුත්තේ රටේ ජනතාවයි. ආපු ගමන් දඩි බිඩි ගාලා වැඩ කළ හැකි, වැඩ කර ඇති අයෙක් තමයි දැන් රටට ඕන කරන්නේ.

ප්‍රශ්නය – ඔබ නොකියා කියන්නේ ඊළඟ ජනාධිපති ධුරයට ඔබ තමයි නියම සුදුස්සා කියලද ?

පිළිතුර – ජනතාව තමයි හරි තෝරා ගැනීම කළ යුත්තේ.

ප්‍රශ්නය – ඔබ නිරන්තයෙන් තරුණයා ආමන්ත්‍රණය කරන චරිතයක්. රටේ තරුණ ප්‍රජාවට දෙන්න පුළුවන් අවවාදය කුමක්ද ?

පිළිතුර – ඔවුන්ට කියන්න තියෙන්නේ හැම මොහොතකම ඉගෙන ගන්න කියලයි. හැමදේම තීරණය වෙන්නේ අධ්‍යාපනය මත. එම නිසා හැම දවසකම හැම මොහොතකම ඉගෙනගත යුතුයි. රට ගොඩගන්න පුළුවන් රටේ අපරාධ අඩු කරන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපනය තුළින්.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර
ජායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment