දිවි නසා ගන්න හැදූ සිරිපුර පුද්ගලයා රුවන් ප්‍රසන්නගේ දේශන 20කට ගිහින්

522

බුද්ධාගම ද පටලවා ගෙන ව්‍යාජ මතවාද සමාජය පුරා බෙදාහැර පසුගියදා වස පානය කර දිවිනසා ගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශන 20 කට සහභාගි වූ තවත් අනුගාමිකයකු වස පානය කර දිවිනසා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරගෙන යන බව සිරිපුර පොලිසිය පවසයි.

දිවිනසා ගැනීමට තැත් කළ සිරිපුර පදිංචි 27 පුද්ගලයා මේ වනවිට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව සිරිපුර පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (05 වැනිදා) පැවසීය.

රෝහල්ගතව සිටින අදාළ පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද ඔහු කීය.

තමන් 2017 වර්ෂයේ සිට වසර 3 ක කාලයක් රුවන් ප්‍රසන්න ගුණරත්න දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවැත්වූ දේශන 20 කට පමණ සහභාගි වූ බව රෝහල්ගතව සිටින පුද්ගලයා පැවසී යැයි ද හෙතෙම කීය.

එම කාලයේදී රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති දේශකයා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ තාවකාලිකව නැවතී හිඳිමින් එම ප්‍රදේශය අවට ජනතාව එක්රැස් කරගෙන දේශන පවත්වා ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසයි.

තම ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෙලෙස වස පානය කළ බවත්, අදාළ දේශකයාගේ දේශනවලට සවන් දී මෙලෙස වස පානය නොකළ බවත් රෝහල්ගතව සිටින පුද්ගලයා පැවසී යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙලෙස රෝහල්ගත වී සිටින පුද්ගලයා ද මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති දේශකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළ අවස්ථාවට සහභාගි වී ඇතැයි හෙළි වූ බව ද හෙතෙම කීය.

රුවන් ප්‍රසන්න නමැති දේශකයා හෝමාගම, මාකුඹුරේදී වස පානය කර දිවිනසා ගැනීමෙන් පසු ඔහුගේ බිරිඳ හා දරුවන් තිදෙනා ද, යක්කල 21 හැවිරිදි තරුණියක ද, අම්බලන්ගොඩ 34 හැවිරිදි තරුණයකු ද ඇතුළු 7 දෙනකු සයනයිඩ්වලට සමාන වස වර්ගයක් පානය කර සියදිවි නසා ගෙන තිබිණි.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සහ විවිධ ස්ථානවල ආගමික දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති මෙම පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් රහස් පොලිසිය මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ද අරඹා තිබේ.

තමන් සෝවාන් වී ඇති බව පවසමින් දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයා සිය දේශනවලින් වැඩි අවධානයක් මරණය සම්බන්ධයෙන් යොමු කර ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

මොහු විවිධ දේශන පවත්වමින් මරණය සඳහා දිවයින පුරා සිටින ඔහුගේ අනුගාමිකයින් යොමු කරවීමේ ප්‍රයත්නයක නිරත වී ඇතැයි බුද්ධි අංශ වෙත මේ වනවිට තොරතුරු ලැබී තිබේ.

එම දේශනවලට සහභාගි වූ තවත් පිරිස් සොයා පොලිසිය මේ වනවිට රටපුරා පුළුල් මෙහෙයුමක් අරඹා තිබේ.

සිරිපුර සිද්ධිය සම්බන්ධයෙන් සිරිපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. නෙත්තසූරිය මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් හා රහස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment