මේක රට ගලවා ගැනීමේ මෙහෙයුමක් – සුනිල් හඳුන්නෙත්ති

80

හොරු පැන්නුවහම රට හදන එක මහ දෙයක් නෙවෙයි. විශ්වාස කරන්න අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා

එක දෙයක් කියන්නම්… රාජපක්ෂලා ආවත් පරාදයි… නාවත් පරාදයි

එක සටන් පාඨයයි.. “දැන් ඇති පලයව්”

ජනතාවට නොලැබෙන කිසිදු වරප්‍රසාදයක් දේශපාලකයන්ට ඕනේ නෑ

මිනිස්සු වැට් මිලදී ගන්න අතරේ බඩු පොඩ්ඩකුත් හම්බෙනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ

“වත්මන් ආණ්ඩුව බදු වලටත් බදු ගහලා” යැයි ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතාය. බදු වලටත් බදු ගසන්නේ කෙසේද? රජයේ බදු ප්‍රතිපත්තිය රටේ ජනතාවට කෙසේ බලපායිද? ඇතුළු කරුණු කාරණා ගණනාවක් මූලික කර ගනිමින් සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳ විමසා බැලීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සුනිල් හඳුන්නෙත්ති මහතා මුණගැසුණෙමු.

ප්‍රශ්නය – ආණ්ඩුව විසින් සිදුකළ වැට් බදු ඉහළ නැංවීම හෙට (ජනවාරි 01 වැනිදා) සිට ක්‍රියාත්මකයි. දැවැන්ත ආර්ථික ප්‍රශ්න ගණනාවකට මුහුණ දී ඇති ජනතාවකට එය තවත් මහා බරක්. රුපියල් විසිදහසකට වැඩි අමතර වියදමක් මේ නිසා සිදුවන බවත් සඳහන්. ජනතාව එවන් අසීරු තත්ත්වයකට මුහුණපා සිටියදී ජාතික ජන බලවේගය සද්දයක් නැතුව සිටින බවත් ඇඟට දැනෙන විරෝධයක් නොදක්වන බව ඇතැමුන් චෝදනා කරනවා.

පිළිතුර – අපි සද්ද නැතුව හිටියනම් ජනතාවට වැට් එක සම්බන්ධයෙන් මෙච්චර දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. මොකද වැට් එකේ කතන්දරේ රටට කිව්වේ අපි. වැට් ඇයි වැඩි කරන්නේ, ඒකෙන් ජනතාවට අත්විඳින්න වෙන බලපෑම ගැන අපි දිගින් දිගටම රටට කරුණු කිව්වා. හැබැයි ආණ්ඩුවේ අය ජල බිල වැඩි වෙන්නේ විදුලි බිල වැඩි වෙන්නේ, වැට් වැඩි වෙන්නේ ජාතික ජන බලවේගය නිසා කියලා විකාර කතා කියනවා. ඒගොල්ල වැඩි කරනවා නෙවෙයි, අපි මේවා කියන නිසා වැඩි වෙනවා වගේ අදහසක් තමයි ඔවුන් කියන්නේ. ඒ වගේම වැට් එක සම්මත කරන්න පාර්ලිමේන්තුවේ ඡන්දය දීලා එළියට ඇවිත් කියනවා වැට් එකට විරුද්ධයි කියලා. තවත් සමහරු කියනවා හිතට එකඟව නෙවෙයි ඒ තීරණේ ගත්තෙ කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් වැට් වැඩිවීම නිසා ජනතාව අපහසුතාවට පත් වෙනවා කියලා මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කළේ. හැබැයි ඔහුට මතක නෑ, ඔහු වැට් එක සම්මත කරන්න ඡන්දය දුන්නා කියලා. මේ වගේ වංචා සහගත වැඩ දේශපාලන සාක්ෂරතාව අඩු මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. තමන්ගේ පැත්තෙ අය කියන ඒවා විශ්වාස කරනවා. හැබැයි ඒ සීමිත පිරිසක්.

ප්‍රශ්නය – වෙනදා නම් ඔබ නියෝජනය කරන බලවේගය මේ වගේ ප්‍රශ්නයකදී මහ පාරට බහිනවා. ජනතා විරෝධතා සම්බන්ධයෙන් වැඩි බරක් තියන්නේ නැද්ද?

පිළිතුර – ජනතාවගේ ප්‍රශ්න හමුවේ දක්වන විරෝධතා කිසිලෙසකවත් අපි හකුලා නැහැ. මේ ආණ්ඩුවට විරුද්ධව නුගේගොඩ දෙල්කඳ දැවැන්ත විරෝධයක් අපි දැක්වූවා. හැබැයි එක දෙයක් කියන්න ඕන. මේ ජනවාරි මාසයේ ඉඳලා ජනතාව එක එක සිද්ධියට පාරෙ බැහැලා විරෝධතා දක්වන එක වැඩක් නැහැ. එහෙම වුණොත් පැය විසිහතරෙන්ම විරෝධතා දක්වා දක්වා පාරේ තමයි ඉන්න වෙන්නේ. එක එක සිද්ධි වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා වෙනුවට සේරම දේවල් එකට එකතු කරලා “දැන් ඇති පලයව්” කියලා සේරම එකතුවෙලා උද්ඝෝෂණය කරන්න තියෙන්නේ. ඒකෙ ගොවියාගේ ප්‍රශ්නය, ධීවරයාගේ ප්‍රශ්නය, බඩු මිල පිළිබඳ ප්‍රශ්නය, ඖෂධ සම්බන්ධ වංචා පිළිබඳ ප්‍රශ්නය, වංචා දූෂණ හොරකම්, අපරාධ මංකොල්ලකෑම් පාතාලය ඇතුළු හැම ප්‍රශ්නයක්ම ඇතුළත්. දැන් තියෙන්නේ එක එක ප්‍රශ්න අරගෙන ඒ ගැන කතා කරලා විසඳන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ ආණ්ඩුව එහෙම ආණ්ඩුවක් නෙමෙයි.

ප්‍රශ්නය – දැන් ඇති පලයව් කියන්නේ ආපහු අරගලයක් කළ යුතු බවද? එහෙම නැත්නම් මැතිවරණයකින් පරාජය කළ යුතු බවද ?

පිළිතුර – මොවුන්ව පරාජය කරන්න තියෙන්නේ ඔය දෙකෙන් එකකින්. මැතිවරණය කොහොමත් තියන්න ඕනා. මැතිවරණ නොතියා බලෙන් ඉන්න හැදුවොත් අරගලයකින් පන්නා දමන්න ඕන.

ප්‍රශ්නය – ආපහු අරගලයක් කරන්න ජනතාව ලෑස්ති කියලා හිතන්න පුළුවන් තත්ත්වයක් නැහැ නේද?

පිළිතුර – ඔය දෙකෙන් ඕන එකකට ජනතාව ලෑස්තියි. ජනතාව බලාගෙන ඉන්නේ මැතිවරණයක් තියෙනකම්. එහෙම නොවුණොත් අනිත් දේට වුණත් ඔවුන් සූදානම්.

ප්‍රශ්නය – ජනාධිපතිවරණය නිශ්චිත කාලසීමාව තුළ අනිවාර්යයෙන්ම තියන්න ඕන. ඒක පැහැදිලියි. එනිසා මැතිවරණ කල් දාන්න කියන කතාව වලංගු නැහැ නේද.

පිළිතුර – ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව අනිවාර්යයෙන්ම තියන්න ඕන. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළ පළාත් සභා අහෝසි වන්නේ නැහැ. සිදුවන්නේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය අහිමිවීම පමණයි. නමුත් ඒ වගේ ජනාධිපති ධුරය හිස්කර තියන්න බැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අගෝස්තු මාසේ 17 ට කලින් නාම යෝජනා කැඳවන්න ඕනා. නොවැම්බර් 14 කලින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගත යුතුව තිබෙනවා. ලබන අවුරුද්ද රට අන්ධකාරයට යවනවාද? එසේ නොමැති නම් ආලෝකය තියෙන දෙසට යොමු කරනවාද ? යන්න ජනතාව තීරණය කළ යුතු අවුරුද්දක්.

ප්‍රශ්නය – එහෙම ආලෝකයක් තියෙන්නේ කොහෙද?

පිළිතුර – අලෝකය තියෙන්නේ වංචා දූෂණය නාස්තිය නොමැති තැන. රටේ නිෂ්පාදනයට පණ දෙන තැන. තමන්ට බෙදාගන්නවා වෙනුවට ජනතාවට බෙදා දෙන තැන. සාධාරණ තැන තමයි ආලෝකය කියන්නේ. ඒ තැන තමයි මාලිමාව. ජනතාවට මේ ආලෝකය ගැන කියා දෙන්න අවුරුදු ගාණක් තිස්සේ අපි මහන්සි වුණා. අද ඊයේ නෙවෙයි. රෝහණ විජේවීර සහෝදරයා කිව්වේ ඊයේ ඇහුම්කන් දෙන්නැති කන් අද ඇහුම්කන් දෙනවා. අද ඇහුම්කන් දෙන්නැති අය හෙට ඇහුම්කන් දෙනවා. ඒ හෙට කියන දවස අද ඇවිල්ල තියෙන්නෙ.

ප්‍රශ්නය – මීළඟ මැතිවරණ ජයග්‍රහණයක් පිළිබඳව මාලිමාව ඉන්නේ මොන වගේ තක්සේරුවකද?

පිළිතුර – මීළඟට පැවැත්වෙන කිනම් මැතිවරණයක් පැමිණියත් ජනතාව අපට බලය දෙන්න මග බලාගෙන ඉන්නේ. මෙහි අපේ කිසිම පුද්ගලික ජයග්‍රහණයක් නැහැ. මේක ජනතාවගේ ජයග්‍රහණයක්. රට ගලවා ගැනීමක්.

ප්‍රශ්නය – ජනාධිපතිවරණය…

පිළිතුර – ජනාධිපතිවරණය ගත්තොත් රනිල් වික්‍රමසිංහට තරග කරන්න පක්ෂයක් නැහැ. ඔහුට මහපොළොවක් නැහැ. ඔහු තරග කරනවා නම් අනිත් පක්ෂ එකතු කරගන්න වෙනවා. මේ වෙලාවේ රනිල්ව කරේ තියන් යන්න කවුරුත් නැහැ. පොදුජන පෙරමුණට දුවන්න පුළුවන් පක්ෂ නායකයෙක් නැහැ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්න නිසා ඔවුන්ට යාන්ත්‍රණයක් නැහැ කියන්න බැහැ. සුගතදාස ක්‍රීඩාංගණයට ගේන්න තරම් පිරිසක් ඔවුන්ට ඉන්නවා. හොරකම් කරපු වංචා දූෂණය කරපු පිරිස නෑ කියන්න බෑනේ. එතන තියෙන ප්‍රශ්නය ඒක නෙමෙයි. කවුද ජනාධිපතිවරණයට ඉල්ලන්නේ යන්නයි.

පිළිතුර – පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව ප්‍රකට ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් කතා වෙනවා.

පිළිතුර – අලුත් කෙනෙක් ගෙනවිත් දේශපාලනය අලුත් කරන්න බැහැ කියලා ගෝඨභය රාජපක්ෂ මහතා ඔප්පු කරා. අලුත් චරිතවලට දැන් තැනක් නැහැ. ඒක යල්පැනගිය කතාවක්.

ප්‍රශ්නය – පොදුජන පෙරමුණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ගැන, නාමල් රාජපක්ෂ ගැන සඳහන් කලත් ඇත්තටම ජනාධිපතිවරණයට ගෙනෙන්න උත්සාහ ගන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා යැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ප්‍රශ්නය – එක දෙයක් කියන්නම්. පොහොට්ටුවට ආපහු රාජපක්ෂ නමක් තියෙන කෙනෙක් ගේන්න බැහැ. දැන් රාජපක්ෂ නම වාසගමට තියෙන අයත් පාවිච්චි කරන්නේ නෑ. ඉස්සර වාසගමට රාජපක්ෂ තියෙන මිනිස්සු මමත් රාජපක්ෂ කෙනෙක් කියලා කිව්වට දැන් ඒ නම පාවිච්චි කරන්නේ රාජපක්ෂ කෑල්ල හලලා. මිනිස්සු ඒ නම දැන් වාසගමටවත් පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් ආවත් පරාදයි… නාවත් පරාදයි..

ඊළඟට සමගි ජන බලවේගය. සජිත් ප්‍රේමදාස මහත්තයට බෑ කියලා රටේ ජනතාව දන්නවා. ඒ කතාව එච්චරයි.

ප්‍රශ්නය – නමුත් සමගි ජන බලවේගය ගැන කතා කරද්දි තත්ත්වය ඊට වඩා වෙනස් නේද? ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ද ඡන්ද ප්‍රමාණය සියයට 40.92 ක්. පොදුජන පෙරමුණ දියවෙලා නම් සියයට පනහ ඉක්මවා යන්න වැඩි අවස්ථාව තියෙන්නේ ඔවුන්ට. ඔබ පක්ෂයේ සියයට තුන පනහ ඉක්මවනවාට වඩා සියයට හතළිස් ගණන පනහ ඉක්මවීම වඩා පහසුවක් නෙවෙයි ද ?

පිළිතුර – මෙහෙමයි .. සියයට තුන තවමත් එහෙමම නම්, සියයට හතළිස් ගණන එහෙමම නම් එතන තරගයක් නැහැනේ. තත්ත්වය එහෙමනම් අපිත් පරාදයි. ජනතාවත් පරාදයි. ඔය ලිහලා බලපු මල්ල ඇතුළේ මෙච්චර කාලයක් හිටියේ රාජපක්ෂලා, සජිත්ලා, රනිල්ලා, මෛත්‍රීපාලලා, චන්ද්‍රිකාලා. ඔය මල්ල දැන් ඔබලා බැලුවත් ඉන්නේ ඒගොල්ලම තමයි. මල්ල ලිහලා බැලුවත් එකයි ඔබලා බැලුවත් එකයි. තව තවත් ඕක පරීක්ෂා කරා කියලා ඇති වැඩක් නෑ.

ප්‍රශ්නය – හොඳයි .. හෙට සිට (ජනවාරි 01 වැනිදා) වැට් බදු ඉහළ නැංවෙනවා. මිනිසුන්ට මෙය මහා බරක් බව දැන දැනත් ආණ්ඩුව එය වැඩි කරන්න තැනට පැමිණි ගැටලුව කුමක්දැයි ඔබ හිතන්නේ?

පිළිතුර – මෙහෙමයි .. අයවැය හිඟය පියවන්න ආණ්ඩුවට ක්‍රමයක් නැහැ. සම්මත කරපු මහ බැංකු පනත අනුව සල්ලි අච්චු ගහන්නත් බෑ. ණය ගන්න තැනකුත් නැහැ. ජාතික සම්පත් විකුණනවා කිව්වට ඒවා ගන්න මිනිස්සුත් නෑ. ආයෝජකයොත් නැහැ. බලාපොරොත්තු වෙන ආදායම් ඉලක්ක සම්පූර්ණ කරන්න නම් වැට් එක ගහන්නම වෙනවා.

උදාහරණයක් ගත්තොත් මේ අවුරුද්දේ (2023) වැට් බදු ආදායම ඔවුන් බලාපොරොත්තු වූ ගානට යන්න බැහැ. ඔවුන්ට කිට්ටු කරන්න පුළුවන් වුණේ රුපියල් බිලියන 680ක් විතරයි. ඒ කියන්නේ කෝටි හැටඅටදාහක්. හැබැයි මේ පාර (2024) ඔවුන් කෝටි එක් ලක්ෂ හතළිස් දහසක් බලාපොරොත්තු වෙනවා. ඕක අයවැයෙන් කියන කතාව. ගිය අවුරුද්දට වඩා සියයට එකසිය පහක් වැට් එකෙන් විතරක් බලාපොරොත්තු වෙනවා. මේ ආර්ථිකයේ ප්‍රසාරණය කරලා මිනිස්සුන්ගේ අතට ආදායමක් අරන් දීලා වැට් එක වැඩි කරනවා නෙවෙයි. මේ බෙල්ල මිරිකලා හිරවෙලා ඉන්න මිනිහගේ බෙල්ල තවත් හිර කිරීමක්. බදු ගහනවා ඇරෙන්න ආණ්ඩුවට වෙන විකල්ප නැහැ. අනිත් එක විකිණිල්ල. විකුණන ඒවා ගන්න කෙනෙක් නැත්නම් බදු ගහන්න වෙනවාමයි. නිෂ්පාදනය වැඩි කරලා, නාස්තිකාර වියදම් නතර කරලා, ආර්ථිකය ශක්තිමත් කරලා, ණය ස්ථිරසාරකරණයක් කරලා, ආණ්ඩුවේ වියදම් කපා හැරලා වගේ ගමනක් යන්න ආණ්ඩුව කැමති නැහැනේ. ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඒගොල්ලන්ගෙ ගාන හරි ගානට බෙදාගෙන තියෙන්නේ. ඔවුන් අඩු කරන්නේ ජනතාවගේ පිඟානෙන් විතරයි. දැන් ජනතාවට වෙලා තියෙන්නේ වැට් කන්න. මිනිස්සු වැට් මිලදී ගන්න අතරේ බඩු පොඩ්ඩකුත් හම්බෙනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. මේ බද්ද, බද්දට බදු ගහන එකක්. වැල් බද්දක්.

ප්‍රශ්නය – මෙතෙක් කලක් නිදහස් කර තිබූ වැට් බදු නිදහස් භාණ්ඩ ලැයිස්තුව තවදුරටත් පටුකර තිබෙනවා.

පිළිතුර – බදු අයකර ගන්නා ක්‍රමය ගැන නිරවුල් වැඩපිළිවෙළක් තාමත් ඉදිරිපත් කර නැහැ. උදාහරණයක් ලෙස ඉන්ධනවලට අලුතින් වැට් බදු අය කළත් වරායෙන් ගොඩබාන මිලට අය කරනවාද, රේගු ගාස්තු ඇතුළු අනෙකුත් බදු අය කළ පසුව ඒ මත වැට් බද්ද අයකරනවාද, යන්න කවුරුත් දන්නේ නැහැ. උදාහරණයක් හැටියට රුපියල් 1000.00 ක් වන භාණ්ඩයකට සියයට 18 ක වැට් බදු අය කරනවා නම්, මිල රුපියල් 1180.00ක් වෙනවා. නමුත් රුපියල් 1000.00 මිලට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්ද අයකිරීමෙන් පසුව වැට් බද්ද අයකරනවා නම්, ඒ භාණ්ඩයේ මිල රුපියල් 1209.00 ක් වෙනවා. එහෙම වෙන්නේ රුපියල් 1025. 00 ක් මත වැට් බද්ද අය කිරීම නිසයි. මේ නිසා ඇත්තටම වැට් බද්ද සියයට 18 වුණත් ක්‍රියාත්මක වීමේදී එය සියයට 18.45 ක් බවට පත්වෙනවා.

පනවන බද්ද ගැන විග්‍රහ කර නැති නිසා බදු ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ බදු ඉහළ යෑමක් සිදුවෙනවා. ආණ්ඩුව උපයා ගැනීමට ඉලක්ක කර තිබෙන ආදායම් රුපියල් කෝටි එක් ලක්ෂ හතළිස් දහස දක්වා කෙසේ හෝ අයකර ගැනීමට ක්‍රියා කරාවි. නමුත් ජනතාවට මොකද වෙන්නේ? ඔවුන්ගේ ආදායම් වැඩිවී නැහැ. හමුදා පොලිසි ඇතුළු මාසික පඩි ගන්නා රජයේ සේවකයන් නන්නත්තාර වී ඉන්නේ. ලූනු කෑවාද? දැන් සැපද? කියලා ඇහුව මහින්ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවේදී අත උස්සා අයවැය සහ බදු සංශෝධන අනුමත කළා. දැන් එළියට ඇවිත් වැට් බද්දට විරුද්ධ බව ප්‍රකාශ කරනවා. ජනතාවට කියන කතාවලට වඩා පාර්ලිමේන්තුව ඇතුළේ බලය රැකගන්න ඔවුන් එකට එක්වී ක්‍රියාකරනවා. වැල් පොලිය වගේ සියයට 18 ක වැට් බද්ද වැල් බද්දක් වෙලා තිබෙනවා. මෙය ඉතා බරපතළ පීඩාකාරී දෙයක්. තමන්ට දැන් පැනවෙන බද්ද මොකක්ද කියලා වත් ජනතාව දන්නේ නැහැ

ප්‍රශ්නය – වැට් ප්‍රශ්නය මිනිසුන් කබලෙන් ළිපට වැටීමක් බව ආර්ථිකය ගැන දන්න බොහෝ අයගේ අදහසක්. මෙහි ඉදිරි බලපෑම මොන වගේ වේවිද ?

පිළිතුර – අපි කිව්වත් නැතත් මීට එරෙහිව මිනිස්සු අනිවාර්යෙන්ම පාරට බහිනවා. ඔබ හිතන්න මිනිහෙක්ව බෑග් එකට දාලා හුස්ම හිරවෙනකම්ම මිරිකුවොත් මොකද වෙන්නේ කියලා. එක ඔහු මැරෙනවා. නැත්නම් මරණයෙන් ගැලවෙන්න කොහොමහරි දඟලලා මේක කඩාගන්නවා. සරලව කිව්වොත් එක්කෝ මැරෙන්න ඕන එක්කෝ ගැලවෙන්න ඕනා. මැතිවරණයට කලින් ගැලවෙන්න පුළුවන් නම් ඔවුන් ඒක උත්සාහ ගන්නවා. අපි කිව්වහම ලබන අවුරුද්දේ අගෝස්තු වල තමයි ජනාධිපතිවරණය එන්නේ කියලා මිනිස්සු හූල්ලනවා එච්චර කල් කොහොමද ඉන්නේ කියලා.

ප්‍රශ්නය – යම් හෙයකින් ජාතික ජන බලවේගය මැතිවරණයකදී බලය ලබා ගතහොත් මිරිකලා අඹරලා ගන්න වැට් බදු අඩු කරන්නේ කොහොමද?

පිළිතුර – වැදගත්ම ප්‍රශ්නය ඒක. සමහරු හිතන්නේ අපි මේකම කරගෙන යනවා කියලා. ඒක කරන්න නම් අපි එන්න ඕනේ නෑනේ. පළවෙනි දේ තමයි මේ නාස්තිය වංචාව දූෂණය නතර කිරීම. ඒකට නව නීති සම්පාදනය වෙන්නත් ඕනේ. තියෙන නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නත් ඕන. ජනතාවට නොලැබෙන කිසිදු වරප්‍රසාදයක් දේශපාලකයන්ට ඕනේ නෑ. අපි ඒවා ගන්නේ නැහැ. ඔය කතාව හරියට ලියන්න. ඔය දේ කරන්න අනිත් දේශපාලඥයන්ට පුළුවන්ද. රටේ මිනිස්සුන්ට පාරේ බස් එකේවත් යන්න බැරුව තිබියදී මැති ඇමැතිවරු ආරක්ෂකයෝ පිරිවරාගෙන වාහන පෝලිම්වල යන හැටි බලන්න. මේ ආණ්ඩුවේ වැඩිපුරම වියදම ආරක්ෂක වියදම. මේ කාගේ ආරක්ෂාවටද. ජනතාවගේ ආරක්ෂාවට නෙවෙයිනේ. ඒ පාලකයන්ගේ ආරක්ෂාවට. ජනතාවගෙන් ආරක්ෂාව වෙන්න පාලකයෝ ආරක්ෂාව වැඩි කරගෙන තිබෙනවා. අපේ ආණ්ඩුවක මේවා අවශ්‍ය නැහැ.

පළමුව දේශපාලනඥයෝ ජනතාවට ආදර්ශයක් දිය යුතුයි. ජනතාවට අමාරු කාලයේ නායකයෝ ඒ අමාරුකම් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. මේ ආණ්ඩුවට එහෙම එකක් පේන්න තියා හිතන්නවත් බැහැනේ. ඒ කැප කිරීම කරන්න පුළුවන් අපට විතරයි. එහෙම වුණොත් විතරයි මිනිස්සු කැප කිරීමක් කරන්න සූදානම් වෙන්නෙ. බදු නොගෙවන මිනිස්සු බදු ගෙවන්නේ. නායකයෝ හරියට වැඩේ කරනවා නම් මිනිස්සුන්ගෙන් බලෙන් බදු ගන්න ඕන වෙන්නේ නැහැ. තියෙන ආදායමට එකතු කර ගත්තත් මේක ගොඩදාන්න පුළුවන්.

ඊළඟට අපනයන වැඩි කරන්න ඕනා. ඒකෙදි තේ කර්මාන්තය ප්‍රධාන තැනක් ගන්නවා. තේ හදන්නේ කොහොමද අවුරුදු දෙකක් හරියට තේ වලට පෝර දාලා නැහැ. මේ නිසා තේ නිෂ්පාදනය සීයට පනහකින් කඩා වැටිලා. අන්න ඒක වැඩි කරන්න ඕනා. ඊළඟට සංචාරක කර්මාන්තයට වැඩි බරක් තියන්න වුණා.ඒ ක්ෂේත්‍රයේ වසර පහක් පුරා කඩා වැටිලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ටික දුන්නොත් එක සීසන් එකෙන් ඔය දේ වෙනස් කරන්න පුළුවන්. ඒත් සමගම විදේශ විනිමය ලංකාවට ගෙන්නන මෙහෙයුම හරි ලෙස පණ ගන්වන්න ඕන. ඔය මම කිව්ව කාරණා වලින් අපට පටන් ගන්න පුළුවන්. හොරු පැන්නුවහම රට හදන එක මහ දෙයක් නෙවෙයි. විශ්වාස කරන්න අපි ඒ දේ අනිවාර්යෙන්ම කරනවා.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment