මේ භවයේදීම නිවන් දැකිය හැකිද?

508

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය මැනැවින් අසන ජනතාව ලෝකයෙහි කවදත් බොහෝ නොවන බව කිය යුතු මැයි. බුදු බණ ඇසීමෙහි ප්‍රධාන ඵලය නිවන් දැකීමයි. සසර සැරිසරණ සතුන් අතුරෙහි නිවන් ලැබීමට කැමති පින්වතුන් ඉතා අල්ප වන බැවින් මිනිසුන් අතුරෙහි ද නිවනට යනුවන් ඉතා ටික දෙනකුන් බව පැනෙයි. එහෙත් එක් බුදුවරයකු විසින් දහම් දෙසා නිවනට පමුණුවන ජනතාව සූවිසි අසංඛ්‍යයක් බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. සසරටම බත්වී රැඳී සිටින්නන් ලෝකයෙහි කවදත් වැඩි බැවින් නිවන් දකින සූවිසි අසංඛ්‍යය අල්ප බව පැනෙයි.

භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාළ

‘අප්පකා තෙ මනුස්සේසු

යෙජනා පාරගාමිනො

අථායං ඉතරා පජා

තීර මෙවානු ධාවතී’

යන ධර්ම පදයෙන්ම නිවන් දකින අය අඩු බව පැහැදිලි වෙයි. එහෙයින් බුදු බණ ඇසීමෙන් නිවන් දකින පුද්ගලයන් ගැන හැඳින්වීමක් ඉතා සැකෙවින් මෙහි දක්වනු ලැබේ.

නිවන් සැප ලබන්නන් පුද්ගල විශේෂ වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය. උද්ඝටිතඥ යැ විපටිතඥ යැ නෙය්‍ය යැ යනු විසිනි. උද්ඝටිතඥ නම් ධර්ම මාතෘකාවක් ගෙන ඇර වදාළ කල්හිම ධර්මාවබෝධය හෙවත් නිවන් දකින පුද්ගලයායි. මෙකී පුද්ගලයාට ධර්මය විස්තර කොට කියන්නට කලින් මැ මාතෘකාව ඇසූ පමණින්ම නිවන දැකිය හැකි වෙයි. මේ පුද්ගලයා වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙහි අධික ඇල්මක් නැති කාමයන් කෙරෙන් නික්ම යෑමට හැම වේලෙහිම ඉතා ඕනෑකමින් බලා සිටින කෙලෙස් අඩු තැනැත්තායි. එහෙයින් මෙවැනි පුද්ගලයනට කාමයන්ගේ නිස්සරණය පවසන නිස්සරණ පූර්වක ධර්ම දේශනය ප්‍රමාණවත් වෙයි.

මේ උද්ඝටිතඥ ගණයට වැටෙන පිරිස දුඛ:, සමුදය, නිරෝධ, මාර්ග සංඛ්‍යාත චතුස් සත්‍යයන් සොතාපත්තියාදි මාර්ග ඥාන පිළිවෙළින් ඉතා ඉක්මණින් පිළිවිද නිවන් දැකීමට සමත්හු වෙති. මේ පිරිස ජලයෙහි හටගෙන ජලයෙහි වැඩී ජලයෙහි නොගෑවී ජලයෙන් ඉක්ම සිටි නෙළුම් මල් මෙනි. හිරු රැස් වැටුණු කෙණෙහි ඒ නෙළුම් මල් පිපෙන්නාක් මෙන් ධර්ම මාතෘකාව කනෙහි වැටුණු පමණින් නුවණ මෙහෙයවා නිවන ලබා ගැනීමට ඔවුනට හැකිවෙයි.

විපටිතඥ ගණයට වැටෙන්නේ කාමයන්ගේ ආදීනවයත් නිස්සරණයත් දෙකම ඇසිය හැකි දහමක් විස්තර වශයෙන් ඇසීමෙන් නිවන් දැකීමට සමර්ථයෝ වෙති. ඔවුන් චක්ෂුරාදී වූද, රූපාදී වූද කාම්‍ය වස්තූන්ගේ ආදීනවය ඉතා මැනැවින් දැන ඒ කාම්‍ය වස්තූන් කෙරෙහි කලකිරී ඉන් නික්ම යෑමට සුදුසුකම් ඇති වන බැවින් ඔවුනට ආදීනව නිස්සරණ පූර්වක ධර්ම දේශනය ප්‍රමාණවත් වෙයි.

මේ විපචිතඥ පිරිස, ජලයෙහි හටගෙන ජලයෙහි වැඩී ජලයෙහි ගෑවෙමින් ජලය හා සමතල වැ සිටි නෙළුම් මල් මෙනි. නෙය්‍ය ගණයට වැටෙන්නෝ කාමයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තුළම ඇසිය හැකි දහමක් විස්තර වශයෙන් හා උපමා උදාහරණ ගෙනහැර පෑමෙන් ප්‍රශ්න කරමින් වදාළ කල්හි නිවන් දැකීමට සමර්ථයෝ වෙති.

ඔවුනට කාම්‍ය වස්තූන්ගේ ආස්වාද සංඛ්‍යාත සුව සොම්නස් රසය පළමුකොට වදාරා එවුන්ගේ ආදීනවය දෙවනු කොට වදාරා සසරට කලකිරීම දනවා තෙවනු කොට ඒ චක්ෂු රාදී කාම්‍ය වස්තූන්ගේ ඉක්ම යෑමට දහම් දෙසීමෙන් සුදුසුකම් ඇති බැවින් ආස්වාද ආදීනව, නිස්සරණ පූර්වක ධර්ම දේශනය කළ යුතුය. මේ නෙය්‍ය පිරිස ජලයෙහි හටගෙන ජලයෙහි හැදී වැඩී ජලයෙන් මතු නොවී දිය තුළම පවතින නෙළුම් මල් මෙනි.

මෙලෙසින් උද්ඝටිතඥාදී පින්වත් තුන් පිරිස බුදු සසුනක් පහළ වූ කල්හි බුදුපියාණන් වහන්සේ වෙතින් හෝ සාරිපුත්‍රාදී ශ්‍රාවක නමක් වෙතින් හෝ සිවුසස් දහම් අසා නිවන් ලබන්නෝ වෙති.

මේ ආත්ම භාවයෙහිදී කුමන අයුරෙකින්වත් නිවන් ලබා ගැනීමට උපනිඃශ්‍රය සම්පත්තියක් නැති පුද්ගලයෝ පදපරම ගණයට වැටෙති. දෙසන දහම්හි පදයම පරම කොට ඇති අර්ථ රසයක් විඳීමට සමත් නොවූ මේ පද පරම පුද්ගලයෝ මිනිසුන් අතර බෙහෙවින් සිටිති. ඔවුනටද බුදුවරුන් බුදු සව්වෝත් අවස්ථානුකූල වැ වාසනාභාගිය වශයෙන් බණ දෙසත් මැයි.

පදපරම පුද්ගලයා නම් ධර්මය බොහෝ කොට ඇසුවත් බොහෝ කොට කීවත් බොහෝ කොට සිත්හි දැරුවත් බොහෝ කොට ඉගැන්නුවත් ඒ ජාතියෙහිදී ධර්මාවබෝධය නොලබන්නායි. මෙවැනි පුද්ගලයනට දහම් දෙසන්නේ ආස්වාදය මුල්කොට ගෙනය. කාමයන්ගේ ආස්වාදය ඔවුන් ගරු කොට සලකන බැවින් දාන කතා, සීල කතා, ස්වර්ග කතාදිය විස්තර වශයෙන් ඔවුනට කියා දෙති. දන් දීමෙහි අනුසස්, සිල් රැකීමෙහි අනුසස්, ස්වර්ගය පිළිබඳ වැනුම් ඇසීමෙන් ඔවුහු බුදු බණට පහදිති. සසරින් මිදීමට කැමැත්තක් ඔවුනට ඒ ජාතියෙහිදී නොවන නමුත් මරණින් මතු දෙව් මිනිස් සැප ලැබීමට ඔවුහු දානාදි පින් කම් කරති.

පන්සිල් අටසිල් ආදී සිල් රකිති. සසරට ඇති කැමැත්ත නිසා බඹලෝ තලයන්හි ඉපදීමට සමථ භාවනාවද වඩති. එහෙයින් ඔවුනට ලෞකික වශයෙන් බුදු බණ ඇසීමෙන් ප්‍රයෝජන ලබාගත හැකිය.

මේ කරුණු නුවණැසින් දුටු අපගේ භාග්‍යවතුන් වහන්සේ පදපරමයන් ලෞකික වශයෙන් නිසි මග යැවීමට හා මතු පිහිට පිණිසත් කවදා හෝ ඔවුනට සසරින් මිදී නිවන් ලබා ගැනීමටත් උපනිශ්‍රය වන පරිද්දෙන් වදාළ නොයෙක් දහම් කොටස් සූත්‍ර පිටකයෙහි සඳහන් වැ ඇත. මේ ලෙසින් බලන විට බුදු දහමින් ප්‍රයෝජනය ලබන බොහෝ දෙනකුන් මිනිසුන් අතරැ සිටි බව පැහැදිලිය. දැනුත් සිටින එහෙත් ලෝකයෙහි වසන සියලුම සතුන් ගැන සලකන විට මිනිස්සු අතිශයින් විරලයහ. එසේ විරල මිනිසුන් අතුරෙනුදු නිවනට යන්නෝ ඉතාම අල්පයහ.

මේ සංසාරයෙහි වාසය කරන සතුන් අතරෙහි ඉතාම ටික දෙනකුන් පමණක් බුදු බණ ඇසීමෙන් නිවන් දකින බව සැලකිය යුතුයි. ලෝකයෙහි බුදු කෙනකුන් උපන්නත් නරකයෙහි සිටින සතකුට බුදු බණ අසා නිවන් දැකිය නොහැකිය. තිරිසන් අපායෙහි සිටින සතකුට බුදු බණ අසා නිවන් දැකිය නොහැකිය. ප්‍රේත ලෝකයෙහි සිටින සතුනට ද බුදුබණ අසා නිවන් දැකිය නොහැකිය. එහෙත් පියංකර මාතාව වැනි ඇතැම් කෙනකුන් හට බුදු බණ ඇසීමෙන් නිවන් ලැබිය හැකිය.

අසුර අපායෙහි සිටින වුනට ද බුදු බණ අසන්නට නොලැබෙයි. අසංඥතලයෙහි සිටින රූපී බ්‍රාභ්මනයට ද අරූප තලයෙහි වසන අරූපී බ්‍රහ්මනයට ද බුදු බණ ඇසිය නොහැකිය. මේ සංසාරයෙහි වසන සෙසු සත්ත්වයනට බුදු බණ ඇසිය හැකිය. බුදු බණ ඇසීමෙන් නිවනට ද පැමිණිය හැකිය. එහෙත් මා මුලින් දක්වන ලද උද්ඝටිතඥාදී තුන් පිරිසට විනා පදපරමයනට නිවන ඉහත ආත්මයෙහිම ලැබිය නොහැකි බව පදත යුතුයි.

ඔබට නිවන් දැකීමේ පින පෑදේවා.

මේ භවයේදීම නිවන් දැකිය හැකිද?

මෙම ලිපිය නැවත පළ කිරීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment