බද්ද නැතිකළත් අඩුවට නැති හාල්….එතකොට හාල් ටිකක් ගන්න වෙන්නේ ගිනිගාණටද?

155

අප මෙතෙක් මුහුණ දුන් ප්‍රශ්න මේ වනවිට යථා තත්ත්වයට පත්වී ඇතැයි සමහරෙකුට සිතෙන්නට පුළුවන. එනමුත් එය එසේ නොවන්නට ඇතැයි කියන්නට හේතුකාරණා බොහෝය. එනම් පවතින ජීවන වියදම අනුව ගත් කළ සාමාන්‍ය ජනජීවිතයට අදාල විදුලිබිල්, ජලබිල් හා අනෙකුත් බිල් පසුගියකාලයේ රජය මගින් ඉහල දමනුලැබුවේ මෙරට ජනතාවට නොකා නොබී හෝ සියලු බිල්පත් ගෙවා දමා මෙරට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමටය. එහෙත් ගොඩඑනවා කෙසේ වූවත් මෙරට ජනතාවටනම් ගොඩඒමක් පේනමානයක නැත. කෑම වේල් පවා අඩුකර ප්‍රශ්න වලට උත්තර හොයන රටේ මිනිසුන්ට පවතින ‘සහල් මිල’ද ඔවුන් මුහුණදෙන ප්‍රධානම ගැටලුවකි. පසුගියදා ජනපතිවරයා විසින් මෙරට සහල් නිෂ්පාදකයන් සඳහා පනවා තිබූ සමාජ ආරක්‍ෂණ බද්ද වන 2.5%ක ප්‍රමාණය මෝල් හිමියන්ගේ ඉල්ලීම පරිදි ඉවත්කලද, එහෙත් මේවනවිටත් සහල් මිල දිනෙන් දින ඉහල යමින් පවතින බවක් පෙනී යයි. මේ කතාව ඒ ගැනය.

සහල් මිල ඉහල යෑම මේවන විට ක්‍රමයෙන් සිදුවූවත් පසුගිය කාලය තුළ මෙරට වී අස්වැන්න ඉතා අඩුමුදලකට ගත් බවද අප කළ සොයාබැලීම් වලින් පැහැදිලි විය. එහෙත් මේවනවිට නාඩු සහල් කිලෝ එකක් රුපියල් 210 කුත් කීරි සම්බා කිලෝ එකක් රුපියල් 275කුත් තොග වශයෙන් අලෙවි වෙයි. නාඩු සහල් සිල්ලර මිල රුපියල් 215ත් රුපියල් 220 අතර මිලකටද කීරි සම්බා රුපියල් 280 ක මිලකට අලෙවි වන බවද අලෙවි වන බව වෙළෙඳසල් හිමියෝ පවසති.

මෙරට ගොවීන් මුහුණ පා ඇති ප්‍රශ්න ගැන පසුගිය වකවානුව තුළ බොහෝ සෙයින් විවිධ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්විය. ඒ අතරින් මෙරට සහල් අවශ්‍යතාවයට සෘජුදායකත්වයක් දක්වන දේශීය වී ගොවියා පසුගිය කාලය තුළ සිට මුහුණ පෑ කරුණු හේතුවෙන් මේ වනවිටත් දේශීය වී ගොවියා අනතුරේය. ඒ වෙන කිසිවකුත් නොව දේශීය වී සඳහා සහතික මිලක් හා සාධාරණ මිලක් නොමැති කමය. මේවන විට මෙවර මහ කන්නයේ සහල් අස්වැන්න නෙළාගැනීම අවසන් වෙමින් ඇත. එහෙත් අපේ රටේ වී ගොවීන්ට නියමිත මිලකට වී තොග විකුණාගැනීම දැවැන්ත අභියෝගයකි. බොහෝ ගොවීන් පවසන ආකාරයට තමන් ගොවිතැන සඳහා වියපැහැදම් කළ මුදලවත් උපයා ගැනීමට දැනට රජය මගින් සහතික කර ඇති වී මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවකි. මෙරට පොහොර ප්‍රශ්නය හෙවත් කාබනික පොහොර යෙදීමේ වැඩපිළිවෙල දේශීය කෘෂිකර්මාන්තය සඳහා යෙදවීමත් සමඟම රටේ ගොවීන් මුහුණුදුන් ගැටලු තවමත් නිසියාකාරව නිරාකරණයද වී නොමැති බව පෙනේ. එවන් පසුබිමක ණයතුරුස්වී මෙරට වී ගොවියා වගාකළ අස්වැන්න සඳහා නිසි මිලක් නොමැතිවීම හා රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අක්‍රමවත් බව නිසා මෙරට වී ගොවියා වැටී ඇත්තේද බරපතල අවදානමකටය.

● වී අලෙවි මණ්ඩලය නැති වී මිලදී ගැනීම

පසුගිය මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මැදිහත්වීමක් නොමැති බව පසුගිය කාලය තුළ කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව පසුගිය මහ කන්නයේ වී මිලදී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදුකිරීමට රජය තීරණය කර ඇතැයි ඔහු පෙන්වා දුනි. මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු සඳහා වී අලෙවි මණ්ඩලය මගින් සිදුනොකරන අතර වී මෙට්ට්්‍රක් ටොන් 66,000 ක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මිලදී ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ඇමැතිවරයා පැවැසීය. එහෙත් පසුගිය යල කන්නයට සිදුවූ දෙයම මෙවරත් සිදුවේ දැයි ගොවීහු දැඩි කනස්සල්ලෙන් පසුවෙති. පසුගිය වර්ෂයේද රජය මගින් වී මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා ගැන හා බෝඩ් ලෑල්ලට පමණක් සීමාවී තිබූ වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීම ගැනද විවිධ පුවත් පලවිය.

● වී අලෙවි මණ්ඩලය

මෙරට පවතින බංකොලොත්භාවයට වැටී ඇති රාජ්‍ය ආයතන අතරින් වී අලෙවි මණ්ඩලයට හිමිවන්නේද ප්‍රමුඛ ස්ථානයකි. පසුගිය වකවානුව තුළ සලකා බැලීමේදී අපේ රටේ වී ගොවියාගේ වී අස්වැන්න මිලදී ගැනීමට මෙම වී අලෙවි මණ්ඩලයට නොහැකිවිය. මෙරට ගොවියාගේ වී මිලදී ගැනීම, සහල් මිලදී ගැනීම, අලෙවි කිරීම, සැපයීම සහ බෙදාහැරීමේ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වී අලෙවි මණ්ඩලයේ අරමුණු වුවත් මේ දක්වාම මෙම වී අලෙවි මණ්ඩලයෙන් ජනතාවට සියයට සියයකම සේවයක් සිදුවුණාද යන්න ප්‍රශ්නයකි. තවද මෙම මණ්ඩලය සතු කාර්යයක් වූ සාධාරණ මිලකට ඉහල ගුණාත්මකභාවයෙන් යුත් සහල් ඇතුළු ධාන්‍ය සැපයීම සඳහා කටයුතු කිරීමද මෙම වී අලෙවි මණ්ඩලයෙන් මෙරට ජනතාවට ඉටුවී නොමැති බවද ගොවීහු නගන චෝදනා වලින් පැහැදිලිය. මෙම වී අලෙවි මණ්ඩලයට සිදුවූයේ කුමක්ද යන්න රජයක් මගින් සොයා බැලිය යුතුය. එදා සිට මේ දක්වා මෙම මණ්ඩලය පාඩු ලබන්නේ කෙසේද යන්න සොයාබැලීමට තවමත් රටේ සිටින කෘෂි ආර්ථික ඔස්තාර්ලාටද වුවමනාවක් නැත. 1972 ආරම්භ කර ඇති මෙම වී අලෙවි මණ්ඩලයෙන් මේ දක්වාම ඉටුවී ඇති සේවාව නතර වී ඇත්තේ වංචා හා දූෂණ වලින් සපිරි ආයතනයක් බවට වී අලෙවි මණ්ඩලය පත්ව ඇති බවට විගණන වාර්තා වලින් හෙලිවීමත් සමඟය.

● වී කර්මාන්තයට මොකද වුණේ?

පසුගිය සමයේ මෙරට කෘෂිකර්මාන්තය එල්ලවූ බරපතල අභියෝගයක් වන්නේ රසායනික තෙල් පොහොර තහනමයි. තවද කෘෂි යන්ත්‍ර සූත්‍ර වල මිල ඉහළ යෑම හා ඉන්ධන මිල ඉහල යෑම මෙරට කෘෂිකර්මාන්තය බොහෝ සෙයින් බලපෑවේය. මෙයින් රජරට ගොවියා හා රටේ අනෙකුත් ප්‍රදේශවල ගොවීන්ට සිය කෘෂිකර්මාන්ත සිදුකරගෙන යෑමට සිදුවූයේ බොහෝ කම්කටොළු මැද්දේය. මේ වනවිටත් මෙරට වී ගොවීන්ගේ ප්‍රශ්න බොහෝය. මෙවර මාස් කන්නයේ තමන් විශාල මුදලක් වැයකොට ණය තුරුස් වගාකළ වී අස්වැන්න විකුණාගැනීම නොහැකිව ගොවීන් පසුතැවෙති. මේ සම්බන්ධව අපි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතාගෙන් විමසුවෙමු. ඔහු ගොවීන් මේ වනවිට මුහුණු පා ඇති ගැටලු පිළිබඳ සවිස්තරාත්මක විස්තරය අප වෙත ගෙනහැර පෑවේය.

“මේ වන විට මහකන්නයේ අස්වනු කැපී අවසන්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ සමහර දිස්ත්‍රික්ක වල අස්වනු හොදයි ගුණාත්මක පොහොර ලැබුණු හා පුද්ගලික පොහොර සමාගම් වලින් ගත්තු ඒවා. හැබැයි සමස්ථයක් විදියට 30%-40% පමණ අස්වනු හානියක් තිබෙනවා. මෙයට බලපෑවේ විශේෂයෙන්ම කන්න තුනක් හතරක් යනතුරු මඩපොහොර නෑ. ඒ කියන්නේ මූලික පොහොර නෑ (TSP). එමෙන්ම බණ්ඩි පොහොර (MOP) නෑ. ඒ නිසා මේ නිසා අස්වනු හානියට ප්‍රබල වශයෙන් මේවා බලපෑවා. අනිත් එක තමයි ගොවියාට යූරියා පොහොර ලැබුණට ගුණාත්මක යූරියා පොහොර ලැබුණෙත් නෑ. ගුණාත්මක කාබනික පොහොර ලැබුණෙත් නෑ. මේ හේතු නිසා තමයි විශේෂයෙන්ම ගොයම් කහවීම ආදී රෝග වලට ගොඩක්ම බලපෑවා. මේ නිසා පොළොවේ සමතුලත බව නොමැති නිසා ගොයමට දැඩිලෙස බලපෑවා. නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය කවදාවත් මේවා පිළිගන්නේ නෑ ඒ අයගේ වැරැද්ද කියලා. 2021 දී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිදුකල රසායනික තෙල් පොහොර තහනම නිසා මේ වනවිට සිදුව ඇති විනාශය භාරගන්න ඕන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශය සහ අදාල ඇමැතිවරයා. ඔවුන්ට තවමත් මෙය නිවැරදි කරන්න බැරිවුණා. පස්සේ 2021 වර්ෂයේ නොවැම්බර් වන විට රසායනික තෙල් පොහොර තහනම නැවත ඉවත් කර ගැනීමට ඔවුන් කටයුතු කරා. කන්න තුනක් යනකන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ ඇමැතිවරු මාරුවුණා තුන්දෙනෙක්. මේ අයට වී වගාවට අවශ්‍ය ගුණාත්මක පොහොර ටික දෙන්න, මූලික පොහොර ටික දෙන්න බැරිවුණා. ලබන කන්නයේ පොහොර ටික අප විසින් නිතරන්තරයෙන්ම හඬනගපු නිසා දැන් ගෙනත් තියෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. දැන් පොහොර බෙදමින් යනවා මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයට පොහොර බෙදාගෙන යනවා මඩපොහොර :TSP). හැබැයි දැන් තියෙන ප්‍රශ්නය මේ පොහොර දුන්නට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් බෙදන නොමිලේ බෙදන මේ පොහොර හැම ගොවියටම බෙදනවාද නැත්නම් වෘත්තීමය ගොවියන්ට පමණක්ද කියන එක. වෘත්තීමය ගොවියන් කියා අපි අදහස් කරන්නේ සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරට වඩා තිබෙන ගොවීන්ට. පසුගිය සහනාධාර මුදල් දුන්නේ වෘත්තීමය ගොවීන්ට නොවේ. හෙක්ටයාර එකටත් වඩා අඩු අයට. ඒ කියන්නේ ඔවුන් වෘත්තීමය ගොවීන් නොවේ. දැන් ගොවියට තියෙන තදබල ලෙසම ප්‍රශ්නය වන්නේ මේ මාස් කන්නයේ වී ටික විකුණා ගන්න බැරිකම.

රජයේ වී මිලදී ගැනීම මුළුමනින්ම අසාර්ථකයි. වී අලෙවි මණ්ඩලය මුළුමනින්ම අයින් වෙලා තියෙන්නේ වී මිලදී ගැනීමෙන්. ඒ නිසා අපි කියන්නේ වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයින්ට, නිලධාරීන්ට පඩිනඩි නොදී මේවා වහල දාන්න කියා. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා වී අලෙවි මණ්ඩලය කියන්නේ සුදු අලියෙක්. දැන් රජයේ ආණ්ඩුව තීරණය කළේ වී මිලදී ගැනීම සදහා දිස්ත්‍රික් ලේකම් හරහා ප්‍රාදේශීය ලේකම් හරහා කුඩා හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන් හා වීමෝල් හිමියන් ලවා වැඩේ කරවන්න. හැබැයි මේක මුළුමනින්ම අසාර්ථකයි. අද වෙනවිට වී කිලෝ එකක් කවුරුවත් මිලදී ගන්නේ නෑ. මෝල් හිමියන් නම්කර තිබ්බට ඔවුන්ට ප්‍රතිපාදන ලැබී නෑ. මොකද පසුගිය කාලයේ සිදුවූ දේ අනුව කුඩා හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියාට ණය ගෙවා ගන්න බැරිව කලින් පන්දහසකට වැඩිය තිබූ වී මෝල් අද වනවිට දාහක් පමණ තිබෙන්නේ ඒවා සියල්ල වැහිලා ණය ගෙවාගන්න බැරිව. මේවනවිට දාහකට අඩු ප්‍රමාණයක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් තිබෙන්නේ. මීට අවුරුදු හතරක්ට කලින් මෝල් හයදහසකට වැඩිය තිබුණා. එය ගිය අවුරුද්ද තුළ දෙදහස් ගණනක් වුණා. මේ අවුරුද්ද වන විට ඒ මෝල්හිමියනුත් වැටුණා. දැන් තියෙන්නේ දාහක්, එක්දහස් එකසියයක් පමණ. මේ රටේ සහල් කර්මාන්තය ඉහල දාන්න නම් අඩු තරමේ පාරිභෝගිකයාට අඩුවන සහල් දෙන්න පුළුවන් වෙන්නේ වී ගොවියාට අවශ්‍ය යෙදවුම් අඩුමිලට දිය හැකිනම් පමණයි. වී කිලෝවක් නිෂ්පාදනය කරන්න අද වන විට රුපියල් 130-135 විතර යනවා. ආණ්ඩුව කරන්නේ පොහොර සහනාධාරය දීලා වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් දහයක් පමණ මුදලක් වැය කරන එක. ඒ කියන්නේ වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 130-135 යද්දී ආණ්ඩුව දරා ඇත්තේ රුපියල් 10 ක් නම් රුපියල් 120 ක්ම ගොවියා දරල තියෙන්නේ. මෙරට වී කර්මාන්තය ගොඩදාගන්න පිටරටින් හාල් ගෙනවිත් මෙය ගොඩදා ගන්න බැහැ. ඒ නිසා වී ගොවිතැන කරන්න අවශ්‍ය ශක්තිය ආණ්ඩුව ලබාදිය යුතුයි. ගොවියා නිකම් සහනාධාර ඉල්ලන්නේ නැහැ. ගොවියාට තමන්ගේ නිෂ්පාදන හරි මිලට විකුණා ගන්න, ඔවුන්ට වියදම අඩුකර අස්වැන්න වැඩිකරගැනීමට ක්‍රමවේද හදන්න ඕන. එයට රජයේ මැදිහත්වීම අවශ්‍යයි. වී වලට සහතික මිල මෙවර දී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සීත කාමර වල සිටින තක්කඩි නිලධාරීන්. සහල් ආනයනයේදී අත යටින් ගනුදෙනු කරන තක්කඩි නිලධාරීන් වී වලට සහතික මිලක් දැම්මා. ඒ රුපියල් 80 දැම්මා තෙත වී කිලෝවක් සඳහා නාඩු. රුපියල් 100 ක් කිව්වා සම්පූර්ණයෙන්ම වේලපු වී සඳහා. ඒ දැම්මේ ජනවාරි පෙබරවාරි මාසවල. හැබැයි මීට මාස හයකට උඩදී 2022 යල කන්නයේ සහතික මිල තිබුණේ නාඩු කිලෝවක් සඳහා 120 සම්බා කිලෝවක් සඳහා 125 කුත් කීරි සම්බා සඳහා 130 යි. එතකොට මේවා දැමුමේ 2022 ජූලි මාසයේ. එයින් පසු මේ වනවිට අපේ රටේ සියලුම දේවල් වැඩිවෙලා තිබෙනවා. එතකොට වී මිල විතරක් අඩුවෙන්නේ කොහොමද? දැන් වී මිල රුපියල් 75-80 යි. අක්කරයක් වී නිෂ්පාදනය කරන්නම එක්ලක්‍ෂ හැත්තෑදහසක් අසූදහසක් අතර ප්‍රමාණයක් වැයවෙනවා.

“අපි සාකච්චාවක් කළා මහපරිමාණ මෝල්හිමියන් සමඟ රජයේ සහතික මිල අපට පිළිගන්න බැහැ ඒ නිසා මහාපරිමාණ මෝල්හිමියන් ගොවියාට සහනක් විදිහට ගොවියා සහන මිලක් දෙන්න කියලා. එය තමයි පසුගිය දිනවල මහාපරිමාණ මෝල්හිමියන් ප්‍රකාශ කළේ. හැබැයි එයාලා සූදානම් වුණාට වැඩක් නෑ තවමත් ප්‍රායෝගිකව මහාපරිමාණ වී මෝල්හිමියෝ වී මිලදී ගන්නේ නෑ. අපි කියනවා මහපරිමාණ සහල් කර්මාන්තය රැකිලා තිබෙන්නේ මේ රටේ වී ගොවියා නිසා කියලා. මේ රටේ වී ගොවිතැන නැතිවුවහොත් මහාපරිමාණ සහල් කර්මාන්ත මුළුමනින්ම ඉවරයි. අපි මේ රටේ මහාපරිමාණ කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ වී ගොවියාගේ වී ටික රුපියල් 135-140 ටවත් ගන්න කියලයි. එය ඔවුන්ට පාඩුවක් වෙන්නේ නෑ. ඔවුන් තමයි සහල් ඒකාධිකාරිය පවත්වාගෙන යන්නේ. මෙරට වී ගොවියා ගැන සානුකම්පිතව හිතා අපි ඉල්ලා සිටින විදියට වී මිලදී ගන්න කියා. ආණ්ඩුව දැන් කරන්නේ පිටරටින් ගෙන්වන හාල් මෙට්ට්‍රික් ටොන් එකක අතයට ගනුදෙනුව ඩොලර් සියයක්. මෙවර ගෙනත් තිබෙනවා මෙට්ට්‍රික් ටොන් දසලක්‍ෂයක්. හැබැයි කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා සහල් වලින් අපි ස්වයංපෝෂිතයි කියලා. ඔහු එසේ කියන්නේ ආනයනික සහල් සමඟද රට ස්වයංපෝෂිත වන්නේ. ආනයනික සහල් ගුණාත්මක භාවයෙන් තොරයි. සාමාන්‍ය වාර්ෂික සහල් අවශ්‍ය තාවය සහල් මෙට්ට්්‍රක් ටොන් මිලියන 2.6 ක් වගේ. මේ ප්‍රමාණය අපේ රටේ ගොවියන් නිෂ්පාදනය කරනවා. ඒ නිසා මෙරටට සහල් ආනයනය කළ යුතු නැහැ.”

● මහ කන්නයේ අස්වැන්න අඩුයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙවර මහ කන්නයේ හෙක්ටයාර් එකකට ලැබුණු වී අස්වැන්න මෙට්ට්‍රක් ටොන් 3.1 ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත. 2021 මහ ක්නනයට පෙර මෙරටින් හෙක්ටයාර එකකින් ලද වී අස්වනු ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 4.1 සිට 4.5 දක්වා ඉහළ මට්ටම පැවැති බව එම දෙපාර්තමේන්තුව පවසයි. රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමඟ 2021 මහ කන්නයේ හෙක්ටයාර් එකකින් ලැබූ වී අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 2.1 දක්වා තවදුරටත් පහත වැටී ඇති බවත් 2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ලබාදීමට රජය ගත් තීරණයත් සමඟ මෙරට හෙක්ටයාර් එකකට ලැබෙන වී අස්වනු ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 3.1 දක්වා ඉහළ ගිය බවද සඳහන් කරයි.

මෙරට වී ගොවියාගේ ප්‍රශ්න ගැන තවමත් වගකිවයුතු බලධාරීන් පියවරයන් ගෙන නොමැති බව ගොවි සංවිධාන ප්‍රකාශ කරයි. එහෙත් මෙරට බලධාරීන් කෝටි ගණන් වැයකොට පිටරටින් ආනයනික සහල් මෙරට රැගෙන ඒමේදී විශාල ධනස්කන්දයක් මෙරට අහිමිවන වන බව සැබෑය. තවද පසුගිය කාලය තුළ මෙරට ගොවීන් පාරට බැස උද්ඝෝෂණය කළේ ගොවීන්ගේ අවශ්‍ය පොහොර ටික, තෙල් ටික ලබාගැනීමටය. එහෙත් මේ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ රජය මෙරට ගොවීන්ගේ ගැටලු විසදීමට ඉදිරිපත් නොවීම මෙරට ගොවීන්ගේ අවාසනාවකි. රජය පවසන පරිදි රුපියල් 100 ක් වැනි මුදලකට මෙරට වී ගොවියාගේ අස්වැන්න ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය අපටද කිසිසේත් අනුමත කළ නොහැක. එදා සිටි මෙරට සහල් ඒකාධිකාරිය පවත්වාගෙන ආ මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් අඩුමුදලට මෙරට ගොවියාගේ වී තොග ටික මිලදී ගෙන මෙතුවක් කලක් කළේ තම ව්‍යාපාර රැකගැනීමය. ගොවි සංවිධාන හා ගොවීන් පවසන පරිදි මෙරට මහා පරිමාණ මෝල් හිමියන්ගේ පැවැත්ම ඇත්තේද මෙරට ගොවීන් අත බව නැවත වතාවක් අප මතක් කරන්නෙමු. එහෙයින් මෙරට මහා පරිමාණ මෝල්හිමියන්ද දැන් සිදුකළ යුත්තේ මෙරට ගොවියාගේ වී සඳහා නිෂ්පාදන වියදම රැකෙන පරිදි ගොවීන් ඉල්ලා සිටින සාධාරණ මිලක් වන රුපියල් 135-140 වැනි මුදලකට වී කිලෝවක් මිලදී ගෙන දේශීය ගොවියා රැකගැනීමයි. තවද සහල් සඳහා පාලන මිලක් පැනවිය යුතු අතර සහනදායී මිලකට සහල් මිලදී ගැනීමේ හැකියාවක් මෙරට පාරිභෝගික ජනතාවට ලබාදෙන්නේ නම් මෙරට වී ගොවියා මෙන්ම පාරිභෝගික ජනතාවටද මහත් අස්වැසිල්ලකි.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment