හිස් වචන

“නිකන් හිස් වචන කියවන්න එපා මිනිහෝ!” ඉස්සර හයියෙන් ගෙදර මොනවාහරි කථා කරද්දි අපේ තාත්තා කියූ කතාව තමයි ඒ. තාත්තාගේ ප්‍රතිචාරය එදා මට තේරුණේ නෑ. දැන් තේරෙන්නෙත් නෑ. ඒත් හිස් වචන කියන අපභ්‍රංසෙ මගෙ වටේ තවමත් කැරකෙනවා.

අද ප්‍රජාතන්ත්‍රවාදය කියන ගරුගම්භීර වචනය නිකන් හිස් ප්‍රලාපයක් කියල සමහරු කියනවා. ඒත් මං ඒකට කැමති නෑ. මොකද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය ඕනවටත් වඩා සුරකින රටක්. ඒක අපේ හිස් වචනයක් නෙවෙයි. අපේ සමහරුන්ට ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය කොච්චර කටකමිසිරියාවක් වෙලාද කිව්වොත් ඒ වචනය උච්චාරණය වෙන්නෙත් ප්‍රජාචන්ච්‍රවාදය කියල. කමක් නෑ. වැදගත් වෙන්නෙ උච්චාරණය නෙවෙයි, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම. ප්‍රජාචන්ච්‍රවාදී කට්ටියේ ඒකෙ ප්‍රායෝගික භාවිතය ඕන නම් වැලිකඩ හිරගෙදර උද්ඝෝෂණයෙදි, රතුපස්වල උද්ඝෝෂණයෙදි, ඒ වගේම ධීවර උද්ඝෝෂණවලදී සිද්ධ වෙච්ච දේවලින් බලාගන්න පුළුවන්. ඇත්ත වශයෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙවෙයි, සමාජවාදයත් සුරකින රටක්. අපේ රට හඳුන්වන්නෙත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කියලනෙ. අපේ එක පැත්තක කොළ කොඩි තියෙනවා. අනික් පැත්තෙ රතු කොඩි තියෙනවා. වර්ණාවලිය ගැළපෙන්න නිල් කොඩියකුත් දාලා තියෙනවා. ඊට අමතරව කහ, තැඹිලි වගේ අමතර වර්ණත් තියෙනවා. ඕන කෙනකුට ඕන කොඩියක් වනන්න පුළුවන්. මොකක් වැනුවත් කාටවත් මොනවත් කරන්නෙ නෑ. සුදු කොඩි කතාවට අපි කරපු මොනවත් තියෙනවාද! නෑනෙ. අපි ඕනම තැනක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා. සිරිකොතේ ප්‍රජාතන්ත්‍රවාදය, ශ්‍රීලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදය, සීනුවේ ප්‍රජාතන්ත්‍රවාදය අමුතුවෙන් කියන්න ඕන නෑ! ඒ විතරක්ද? බලන්න, අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන හැටි. අපි ඕනම මන්තිරියෙකුට, මන්තිරිවරියෙකුට කුණුහබ්බෙන් බැණගන්න වගේම අතින් පයින්, පොත්පත්වලින් ගුටිකෙළගන්නත් පාර්ලිමේන්තුවේ ඉඩප්‍රස්ථා දීලා තියෙනවා. මේ හින්දා ප්‍රජාතන්ත්‍රවාදය අද හිස් වචනයක්ය කියල කවුරුහරි කියනවා නම් ඒ කියන මනුස්සයාගේ සිහිය හොඳ නෑ.

මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වගේ වචනත් අද හුඟක් දෙනා හිස් වචන කියල හඳුන්වනවා. ඒකත් මට මහ අපභ්‍රංසයක්. ඇත්තටම විවේචනය කළා කියල හරි, දූෂණ එළි කළා කියල හරි මාධ්‍යවේදීන්ගේ අතපය කැඩුවේ, කටවල් කැපුවේ, මාධ්‍යවේදීන් මරාදැමුවේ ඉස්සර. අද එහෙම දේවල් කරන්නෙ නෑ. අද මාධ්‍ය ආයතන ලොක්කාට අපේ ලොක්කා එක දුරකථන ඇමතුමක් දෙයි. දීලා අදාළ ලිපිය ලියපු හරි අනාවරණය කරපු හරි මිනිහාව එක පයින් ගෙදර අරී. එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා මාස තුන හතරකට බන්ධනාගාර පුහුණුවකට අරී. ඒක හිරේ දැමිල්ලක් නෙවෙයි, පුහුණුවක්. ඔහුට හෝ ඇයට ලබා දීපු මාධ්‍ය පැවරුමක්. අද තරම් නිදහස් අදහස් ප්‍රකාශන අයිතියක් මිහිපිට මනුස්සයෙකුට හම්බුණු වෙන කාලයක් නෑ. සත්තකටම මේ වනාහි නිදහස දෝරෙ ගලන කාලයක්. දළදා වහන්සේට මොකක්ද ලබු ගෙඩියක් කියල සිංහල රජ කාලෙ කිව්වා නම් ඒ කිව්ව එකාගේ මාළු එදා බෝගම්බර වැවේ තියෙනවා සිකුරුයි. අර ජෙරොම්ලා බුක්ති විඳින අදහස් ප්‍රකාශනයේ නිදහස එදා යසසාලක තිස්ස රජජුරුවන්ගෙ කාලෙවත් තිබුණෙ නෑ කියල කැට තියල කියන්න පුළුවන්. ඉතිං මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශන අයිතිය ආදියත් නිසරු වචන කියල කියන්නෙ මිනිස්සු නෙවෙයි, කාලකණ්ණි. ඔවුන්ට ඕන නම් සමාජ ක්‍රියාකාරිකයො කියල කියන්න පුළුවන්. ඒ කිව්වෙ අර ගෝල්පේස් එකේ ගංජා ගැහුවේ, ගණිකා මඩම් කළේ. අන්න එවුන්. එවුන්ට ආගමක් – දහමක් නෑ. සංස්කෘතියක් නෑ. නොදකින්! ඕකුන්ව මතක් කරන්නවත් එපා.

හෙට අනිද්දා පඩි වැඩි වෙනවාය කියන කතාවත් අපේ කට්ටිය හිස් වචනයක් විධියට සලකනවා. ඒ ගැන නම් මං මොනවත් කියන්න යන්නෙ නෑ. මොකද මගෙත් පඩිය කවුරුවත් වැඩි කරලා නෑ. ඒත් මං එකක් කියන්න ඕන. වැඩි පඩි ඉල්ලන අය දන්නවාද මෙහෙන් පඩි වැඩි වෙද්දි අරෙහෙන් කොච්චර වෙන දේවල් නග්ගලාද කියල. මං කියන්නෙ මිනිස්සුන්ට පඩි ඕන නෑ, නිකන් වැඩ කරපල්ලා, හැබැයි නිකන් වැඩ කරනවාට වැඩ කරන උන්ට කන්න බොන්න නිකන් දියල්ලා කියල. ඇත්තටම හිස් වචනයක් වෙන්නෙ වැඩි පඩි කතාව නෙවෙයි, වැඩි පඩි ඉල්ලන කතාවයි. මිනිස්සු දන්නෙ නෑ ආණ්ඩුව නිකන් කන්න බොන්න දුන්නොත් ඒකෙ ප්‍රතිලාභය ඔය ගෙවන පඩිවලට වඩා ලොකුයි කියල.

ශ්‍රී ලංකා ක්‍රිකට් කියන වචනෙත් දැන් හුඟක් දෙනකුට හිස් වචනයක්. හැම කෙනෙක්ම කියන්නෙ ක්‍රිකට් තේරීම් කමිටුව පුස්සක් කියල. ඒ වගේම අර්ජුන රණතුංග මහත්තයාගේ සභාපතිත්වයෙන් පත් කළ ජාතික ක්‍රීඩා සභාවත් පුස්සක් කියල. මං නම් පුහු කියල දැනගෙන සිටියේ පොල් පුහු වෙන එක විතරයි. ඒත් දැන් කවුරුහරි අරවත් පුහු කියල කියනවා නම් මං ඒකට කමිටුවක් පත් කරන්නම්. ඒත් පුහුය, හිස්ය කියල කටමැත දොඩවන අයට මං කියන්න කැමතියි ලෝකෙ ලොකුම ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති වෙලා හිටපු සංගක්කාර මහත්තයා ඉන්නෙත් ලංකාවේ කියල. ඒ වගේම ලෝකෙ ලොකුම ලීග් තරගාවලියේ ලොකුම සල්ලියක් වියදම් කරලා අරගත්තු හොඳම ටීම් එකේ පුහුණුකාරයා වුණු මහේල ඉන්නෙත් අපේ රටේ කියල. ඔව්, ඒ ගොල්ලො ඉන්නවා. ලංකාවේ නොවෙන්න පුළුවන්. කොහෙ හරි ඉන්නවා. කොහෙ හරි ඉඳන් කාටහරි වැඩ කරනවා. ඒවා එහෙම තමයි. ඒත් ඒ විතරක් නෙවෙයි, ලෝකෙ ලොකුම ඥාති හිතෛශීයො පිරිසක්, හිත මිතුරු නළු නිළියො පිරිසක් ක්‍රිකට් එකේ සල්ලිවලින් ලෝක කුසලාන තරගාවලිය බලන්න ඇරිය ක්‍රිකට් සභාපති ෂම්මි මල්ලි ඉන්නෙත් ලංකාවේ කියල දැනගන්න. ඉතිං ක්‍රිකට් පුස්සක් කියන්නෙ පුස්සො ටිකක් වෙන්න ඕන. මේ නිසා ක්‍රිකට්වලට පුහු හරි හිස් හරි කියල අපහාස කරන එක උඩ බලාගෙන කෙළගහ ගන්නවා වගේ වැඩක් කියල කියන්න කැමතියි.

සාහිත්‍යයටත් හිස් වචනය ගෑවිලා තියෙනවා කියල මං මෙතනදි කියන්නෙ කනගාටුවෙන්. අද ප්‍රවීණ ලේඛකයන්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ය කියන අය හුඟක් වෙලාවට කියන්නෙ අද නවකතාවක් නෑය, කෙටිකතාවක්, කවියක් නෑය, සාහිත්‍යය එකම පුස්සක්ය කියල. අමරසේකර මහත්තයා නම් ඒ කතාව එදාත් කිව්වා. අදත් කියනවා. මං ඔවුන්ට උත්තර දෙන්න යන්නෙ නෑ. ඒත් මං අහන්න කැමතියි සාහිත්‍යය පුස්සක් නම් අර පුස්තක සම්මාන පිරිනමන්නෙ පුහු ගෙඩිවලටද කියල. ඒ වගේම රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ, විද්‍යෝදය වගේ විනිශ්චය මඬුලු කරන්නෙත් පුස්ස බිඳින එකද කියල. ඉතිං කියන්න ඕන, මෙතනදි අපි ආචීර්ණකල්පික වෙන්න නරකයි. සාහිත්‍යය හැමදාම එක තැන තියෙන්න බෑ. ඒක ඉස්සරහාට යන්න ඕන. සාහිත්‍යය අලුත් වෙන්න ඕන. ඒකෙ භාෂාව හැමදාම අමාවතුරේ හිර වෙලා තිබිලා බෑ. නවකතාව ‘ගම්පෙරළියේ’ තිබිලා බෑ. කෙටිකතාව ‘ජීවන සුවඳේ’ තිබිලා හරියන්නෙ නෑ.

අනෙක, සාහිත්‍යය ගැන අපේ හුඟක් වැරදි අදහසුත් තියෙනවා. සාහිත්‍යකරණයේ නිරත වෙන්න ඉගෙනගන්න ඕන නෑ. ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් වගේම ඕන ගොනෙකුට ලියන්න පුළුවන්. අකුරු ලියන්න පුළුවන් වෙන්න ඕනකමකුත් නෑ ඒකට. පරිගණකයෙන් ටයිප් කරන්න පුළුවන් නම් ටිකක් විතර ඒ හොඳටෝම ඇති ඒකට. ඕන වෙන්නෙ හිතට එන ඕන බහුබූතයක් ටයිප් කරගෙන යන්න විතරයි. ටයිප්රයිටර්කාරයෙකුට නවකතාවක් ලියන්න බැරිද! අර අපේ සර්පයා මල්ලි ලියලා තියෙනවා නේද ‘මහිලා වංසය’ කියල පොතක්. අන්න හොඳම උදාහරණය. ඒක ආදර්ශයට ගන්න. මං අහන්නෙ ඕන කුණුහබ්බයක් ලියාපන්. ලියලා පළ කරපන්. එච්චරයි. ඔන්න එතකොට සාහිත්‍යය. සාහිත්‍යයේ සභ්‍ය – අසභ්‍ය වාදයක් නෑ. සාහිත්‍යයේ චූල – මහා සම්ප්‍රදාය භේදයක් නෑ. සාහිත්‍යයේ චමත්කාරයක්වත් නෑ මස්සිනේ. තියෙන්න ඕන වචන විතරයි. ඒවා හිස් වචන කියල එකක් නෑ.

පත්තරවලටත් ඔය හිස් වචන ප්‍රෝඩාව ගෑවිලා තියෙනවා. අද පත්තර කලාවක් නෑ, පත්‍ර කලාවේදය හිස් වචනයක්ය කියල සමහර පත්තර ඔස්තාර්ලා කියනවා. ඒකත් ඒ වගේම මිථ්‍යාවක්. පත්තරවල එදාත් බෝතල් පත්තරකාරයො හිටියා, අදත් බෝතල් පත්තරකාරයො ඉන්නවා. ඒත් පත්තරකාරයෙක් බෝතල් පත්තරකාරයෙක් වීම පත්තරකාරයාගේ වරද නෙවෙයි මහත්තයා. ඒක අපේ සමාජ ක්‍රමයේ වරද. පත්තරවල පිටු අඩු වෙන්න පුළුවන්. පිටුවලට වැඩිපුර දැන්වීම් එන්න පුළුවන්. ඒත් පත්තරේක පිටු වැඩි වුණා හරි දැන්වීම් අඩු වුණා හරි කියල පත්තරේ උසස් වෙනවාද? නෑ. උසස් වෙන්නෙ ලියන පුංචි කොටස හරි මිනිස්සු ඥානනය කරනවා නම් විතරයි. ඒත් අපි හැම වෙලේම ගොඩ හොයනවා. ගොඩ හොයලා ගොඩ ගහලා තමන් ගොඩ ගියා කියල කවුරුහරි හිතනවා නම් ඒක වැරදියි. ඒත් කරුමෙ හැම මිනිහාම ගොඩ ලොකු කරගන්න මාරාවේශයෙන් දුවනවා. කනගාටුයි කියන්න. මාත් කරන්නෙ ඒක තමයි. ගොඩ පස්සෙ දුවනවා. ගොඩ ගහගනිල්ලා කියල අපේ පස්සෙ ඉඳන් කවුරුහරි අපිව දක්කනවා. ඒකයි හරිම දේ. ඒත් අපි ඒ දක්කන එකවත් අපි දුවන එකවත් හිස් විධියට දකින්නෙ නෑ. මට හිතෙන්නෙ මේ ජීවිතයමයි හිස්. හෙටක් නැති ජීවිතය නම් නියම හිස් වචනයක්.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment