සිරිල් ඒ. සීලවිමල සෞන්දර්යය

289

ප්‍රවීණ මාධ්‍යවේදියකු, සිනමාකරුවකු, සාහිත්‍යකරුවකු, මෙන්ම ප්‍රකට ගේය පද රචකයකු වූ අභාවප්‍රාප්ත සිරිල් ඒ. සීලවිමල මහතාගේ දොළොස් (12) වැනි ගුණ සමරුව දෙසැම්බර් මස 04 (අද) දිනට යෙදේ. මේ ලිපිය විශේෂයෙන් ඒ නිමිත්තෙනි.

වර්ෂ 1930 ඔක්තෝම්බර් මස 29 වන දින පන්නල, සඳලංකාවේ ඉරබඩගමදී උපත ලැබූ සිරිල් ඒ. සීලවිමල මහතා කඳන්ගමුව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබීය. පසුව කීර්තිමත් පිරිවෙනක් වූ සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනින් උසස් හා පශ්චාත් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය හා වාසනාව ලැබීය. නිහඬ බව, නිවුණු බව, සංවර බව මෙන්ම උපේක්ෂිත බව සතතයෙන්ම සිය ජීවිතය හා බද්ධ කරගත් ඔහු දැයෙන් සමුගන්නා තුරුම ඒ උතුම් ගුණාංගයන්ගෙන් අලංකෘතව දිවිමඟ පෝෂණය කර ගැනීමද විශේෂත්වයකි.

මෙසේ කාලය ක්‍රමයෙන් ගෙවීයත්ම ඔහුට සහජයෙන් හා උරුමයෙන් සාංසාරිකව ගලා ආ සෞන්දර්යාත්මක භාවමය චින්තනය මුවහත් කරගැනීමේ බිහිදොර වූවේ කලා හා සිනමා තොරතුරු කේන්ද්‍රගත වූ ආරියරත්න කහවිට කර්තෘත්වය දැරූ “කලා-සිනමා” සඟරාවට සමසේ දායක වීමේ අවස්ථාව හිමිවීම තුළිනි. එහිදි ඔහුට සිය අනාගත මාවත සිනමා ක්ෂේත්‍රය ඔස්සේ බොහෝ දුරට ස්ථාවර කර ගැනීමට මංපෙත් විවර වීමය. “කලා-සිනමා” සඟරාවෙහි සෞන්දර්යයවේදී වපසරියට අමතරව ‘මිහිරි අයියා’ යන අන්වර්ත නාමයෙන් ළමා සිත් පහන් කරමින් පුවත්පත් හරහා ඔහු මැවූ සොඳුරු ළමා ලොව එදා නිර්මාණශීලි දරුවන්ට සිය දක්ෂතා එළි දැක්වීමට මහඟු අත්වැලක් සැපයීය.

වෙහෙර විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, පල්ලි කෝවිල්, යන බහුවිධ පුණ්‍යායතන මෙහෙයවූ මහා යතිවරයාණෝ, පූජක ප්‍රසාදියාණෝ සමඟ සමබරව එදා පුවත්පත් කලාව වඩාත්මැ ජනගත කිරීමට සිය කර්තෘත්වය තුළින් ඉරිදා රිවිරැස මෙන්ම දිනපතා දවස තුළ ඔහු කළ කාර්යභාරය කිසිසේත්ම ලඝු කොට තැකිය නොහැක. පසුව ගුණසේන ආයතනය හා එක්ව ‘දවස’ පුවත්පතට එක්විය. මෙසේ ක්‍රම ක්‍රමයෙන් සිනමා කලා ක්ෂේත්‍ර ඔස්සේ ජාතික පුවත්පත් හා එක්වුණු සීලවිමලයන් අතින් ලියැවුණු ගීත, දෙබස් හා පිටපත් ඔස්සේ එවකට ලංකාවේ පෘථුල ලෙස ජනගතව විහිදී තිබූ චිත්‍රපට කලාවට ද ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව හිමිකර ගැනීමද දෛවෝපගත සිදුවීමක් ලෙස සනිටුහන් කළ හැකිය. ඒ යුගයේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්ව සිටි ගායක ගායිකාවෝ රාශියක්ම ඔහු අතින් ලියැවුණු ගීත ගායනා කළහ.

සුදෝ පොඩ්ඩක් අඬන්න, මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්, හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී, මෝහෙන් මුලාවෙලා, මෙත්මල් පිබිදේවා ගල්කිස්සේ මුහුදු වෙරළේ, ළිඳෙන් වතුර බීලා, උපන්දිනය ළඟ එන හින්දා, දෝතින් දෝතයි, ජන්ම භූමි වන්දනා, දිලි දිලි දිලිසෙන එළියක්, සන්සුන් රුවන් හද වැනි ඔහු ලියූ චිත්‍රපට හා ගුවන් විදුලි සරල ගීත රාශියක්ම වත්මනෙහි පවා ජන සිත්හි රැඳී පවතී. මෙසේ නිහඬව හා නිසසලව කලා ලොව විවිධ හැලහැප්පිලි මැද උපේක්ෂිතව කැපවීමෙන් පෙරට ආ මේ සෞන්දර්යවේදියාණෝ සිය ජීවිතය තුළ නොමැකෙන සටහන් තබමින් පසු කලකදී දවස හා රිවිරැස යන ජාතික පුවත්පත් දෙකෙහිම ප්‍රධාන කර්තෘත්වය දරමින් පුවත්පත් ලොව ආලෝකවත් කිරීමේ ප්‍රදීපස්ථම්භයක් බවට පත්වීමට තරම් භාග්‍යවන්ත විය. ඔහු සිය පුවත්පත් හරහා කවි කිවිඳියන්ට ආධුනික හෝ ප්‍රවීණ භේදයකින් තොරව සිය නිර්මාණ ජනගත කිරීමට ඔහු තෝතැන්නක් බිහි කර දුන්නේය.

සිරිල් ඒ. සීලවිමල සෞන්දර්යය

අගනුවර තරුණ කවි සමාජයේ දිගුකාලීන සම්පත් දායකයකු ලෙස කටයුතු කළ ඔහූ ඒ තුළින් කවියට නව පණක් ලබාදීමට සිය පුවත්පත් ඔස්සේ කළ කැපවීම එහි වත්මන් ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු ලෙස මම පැහැදිලිවම දනිමි.

අති දුෂ්කර කාර්ය බහුල පුවත්පත් කලාව වෙනුවෙන්ම සිය ජීවිතය කැපකළ ඔහු ලද අස්වැසිල්ලකින් වුව සිය නිර්මාණශීලී ප්‍රතිභාව ජනගත කිරීම් වස් කාව්‍ය කෘති කිහිපයක්ම ලියා පළ කළේය. පණ්ඩිත් විමල් අභයසුන්දර, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර, කරුණාරත්න අබේසේකර, ඩෝල්ටන් අල්විස්, මඩවල එස්. රත්නායක වැනි සමකාලිකයන් සමග සීලවිමලයන්ද එදා ගුවන්විදුලි මහ ගෙදර තුළින් සපථ කළ නිර්මාණ ප්‍රතිභාව අදටත් අප සිත්හි රැඳී පවතී.

එදා ගුවන් විදුලි පරිශ්‍රය තුළ වියත් නිර්මාණවේදින් සමඟ නිතර එක්වුණු ඔහු දිනපතා, සතිපතා හා මාසිකව ඉදිරිපත් කළ සාහිත්‍ය හා සංගීත වැඩසටහන් අදත් සිහිපත් කරනුවෝ බොහෝ වෙති. 2009 වසරේ අග භාගයේදී පමණ එදා සභාපතිව සිටි වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ අධික්ෂණයෙන් ‘සීලවිමල අභිනන්දන’ උත්සවයක් පැවැත්විණි. සිරිල් ඒ. සීලවිමල මහතා, අනුලා අබේනායක මෙනවිය සමග විවාහ දිවියෙන් පුතුන් දෙදෙනකු හා දියණියෝ දෙදෙනකු ද ජාතියට දායාද කළේය.

සිරිල් ඒ. සීලවිමල සෞන්දර්යය

කවිය, ගීතය, ලේඛනය, සිනමාව සේම සුබාවිත පුවත්පත් කලාව සිය ආත්මය කොට දිවි ගෙවූ මේ නිහඬ නිසල, සංවර නිරහංකාර කලාකරුවාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

රාජ්‍ය කලාභූෂණ කිවිපති
ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි

සිරිල් ඒ. සීලවිමල සෞන්දර්යය

advertistmentadvertistment
advertistmentadvertistment