සතුන්වත්තේ සිංහයකුට කොවිඩ්… සීබ‍්‍රා හිපපොටේමස් හිටි ගමන් මැරෙති

137

ජගත් කණහැරආරච්චි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඞ්’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි සත්වෝද්‍යාන ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
 
 මෙසේ කොවිඞ් ආසාදනය වී ඇති බව කියනු ලබන්නේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාට ය.
 
 දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවත්, ඉන් පසු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකළ සතාගේ සෙම පටල පරීක්ෂාවෙන් කොවිඞ් බවට තහවුරු වී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.
 
 මේ පිළිබඳව කරුණු සනාථ කරගැනීම සඳහා අප ජාතික සත්වෝද්‍යානයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු දුරකථනය මගින් සම්බන්ධ කරගැනීම සඳහා ඊයේ (17* උත්සාහ දැරුවත් ඊට ප‍්‍රතිචාර නොලැබිණි.
 
 මේ අතර සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් (Keepers)  දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැුකවලකු නිවසේත් නිරෝධායනය කර ඇති බව ද දැනගන්නට ඇත.
 
 සිංහයා ලෙඩ වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ‍්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් සිටි බවත් වාර්තා වන අතර, ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැත.
 
 ආසාදිත තෝර් නමැති සිංහයා වෙසෙන සිංහ දූපත තුළ 2012 වසරේදීම මෙරටට ගෙන එන ලද ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු වෙසෙන බව වාර්තා වේ.
 
 මේ පිළිබඳව අප වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් කරුණු විමසූ විට ඒ මහතා කියා සිටියේ සත්වෝද්‍යානයේ සිංහයකු අසනීප තත්ත්වයෙන් පසුවන බව සැබෑ නමුත්, සතුන් සඳහා ලබාගන්නා පී. සී. ආර්. පරීක්ෂණ ප‍්‍රතිපලවල දෝෂ තිබිය හැකි බැවින් ඉන්දියාව සමග කතා කර නිවැරදි පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දුන් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment