මෝදිගේ ඉලක්ක, රනිල්ගේ ඉලක්කය සහ දේශපාලන කැටපෝලය

911

ඉන්දියාව ලෝකයේ පස්වැනි තැනට විශාලතම ආර්ථිකය ඇති රට බවට පසුගිය මාසයේදී පත්විය. එසේම ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන රට බවටද එම මාසයේදී ඉන්දියාව පත්විය. Press Trust of India නමැති ප්‍රවෘත්ති ඒජන්සිය සමග පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ වසර 2047 දී සංවර්ධිත රටක් බවට ඉන්දියාව පත්වන බවය. අගමැති මෝදි මේ වන විට පුරා අවුරුදු 9 ක් තිස්සේ ඉන්දියාව පාලනය කර තිබේ. 2047 දක්වාම ඉන්දියාව පාලනය කිරීම ඔහුගේ අපේක්ෂාව වන අතර එවැනි දීර්ඝකාලීන පාලනයක් තුළින් යහපත් ආර්ථික ප්‍රතිඵල නෙළා ගැනීමට හැකි බව ඔහු විශ්වාස කරනවා විය යුතුය. කිසියම් රටක් තුළ එකම නායකයකු සහ එකම පක්ෂයක් යටතේ දීර්ඝ කාලීන රාජ්‍යය පාලනයක් සිදුවන විට එම රටට මුදල් ආයෝජනය කිරීමට ආයෝජකයෝ බිය නොවෙති. එහෙත් අවුරුදු පහෙන් පහට හෝ හයෙන් හයට වෙනස් වන ආණ්ඩු ඇති රටක මුදල් ආයෝජනයට ව්‍යාපාරිකයෝ බිය වෙති. මෙයට තිබෙන හොඳම උදාහරණය කොළඹ පෝර්ට් සිටියයි. ලංකාවේ ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ලෙස අදටත් සිටින ක්ෂී ජින්පින් අතර 2014 දී අත්සන් කරන ලද ගිවිසුමකට අනුව බොහෝ බාල්දි පෙරළිලි මැද සහ මඩ ගැසීම් මැද පටන්ගත් පොර්ට් සිටියේ ඉදිකිරීම 2015 දී බලයට ආ යහපාලන ආණ්ඩුව මගින් අත්හිටුවන ලදී. මෙය චීනයේ කණට ගැසුවාක් හා සමාන වැඩකි. මෙවැනි වැඩක ඇති අවදානම යහපාලන ආණ්ඩුවට වැටහුනේ නැත. චීනය යනු ලෝකයේ සිටින යුද බලවතුන් පස්දෙනාගෙන් කෙනෙකි. එසේම ලෝකයේ සිටින දෙවැනි ආර්ථික බලවතා ද චීනයයි. වෙන රටක් චීන ජනාධිපති අත්සන් කළ ගිවිසුමක් මේ ආකාරයෙන් අත්හිටුවූයේ නම් එම රට එකම එක පරමාණු බෝම්බයක් හෙළා මුහුදේ ගිල්වීමට චීනය පසුබට වන්නේ නැත. එහෙත් ලංකාවේ පෙර වාසනා මහිමය නිසා චීන්නු දත් මිටි කාගෙන ඉවසා දරා සිටි අතර යහපාලන ආණ්ඩුව විසින් පෝට් සිටිය සම්බන්ධයෙන් සාදන ලද සංශෝධිත ගිවිසුමට එකඟ විය. එහෙත් මේ සිද්ධිය නිසා පෝට් සිටියේ ආයෝජන කිරීමට බලාගෙන සිටි විදේශික ආයෝජකයෝ බියපත් වූහ. විවිධ රටවල දේශපාලනඥයන් පිස්සු කෙළින නමුත් ලංකාවේ දේශපාලනඥයන් තරමට පිස්සු කෙළින කට්ටියක් ගෝත්‍රික අප්‍රිකාවේ වත් නැති බව තේරුම්ගත් නිසා එම ආයෝජකයෝ සිය ආයෝජන අවලංගු කළහ. අද චීන පෝට් සිටිය නමැති කඩය ඇරගෙන සිටින නමුදු එයින් බඩු ගන්නට එන කෙනෙක් නැත. මෙය තවමත් යටිතල පහසුකම් පවා ඉදිකර අවසන් නැති වැලි කාන්තාරයකි. ශ්‍රී ලංකාව වැනි රටකට දීර්ඝ කාලීන පැවැත්මක් ඇති ආණ්ඩුවක් අවශ්‍ය බව පෝට් සිටියට සිද්ධ වූ කෙළියෙන් පෙනී යයි. සමහරවිට නරේන්ද්‍ර මෝදි දිගුකාලීන ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ ප්‍රතිපත්තිය ඇතිකරන්නට ඇත්තේත් ලංකාවේ තාවකාලික ආණ්ඩු ක්‍රමය සහ දේශපාලන පෙරළි දෙස බැලීමෙන් විය යුතුය. Press Trust of India පුවත් සේවය සමග පැවති සාකච්ඡාවේදී දූෂණය, කුලභේදය සහ ජාතිවාදය නමැති විපත්වලින් තොර ඉන්දියාවක් බිහිකරන බව නරේන්ද්‍ර මෝදි කියා ඇත.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මේ කලාපයේ සිටින බලවත්ම රාජ්‍යය නායකයාය. ඉන්දියානු සමාජ සේවා සංගමයක බලගතු ක්‍රියාකාරිකයකු සිටියදී භාරතීය ජනතා පක්ෂය මගින් ඔහු ණයට ගන්නා ලදී. එයට හේතුව ජාතික සේවය පැත්තෙන් ඔහුට ගහන්නට හැකි මිනිහකු ඒ වෙලාවේදී ඉන්දියාව තුළ නොසිටීමය. නරේන්ද්‍ර මෝදි ජාතිකවාදී බලවේගයක් ලෙස ඉන්දියානු මහ මැතිවරණයට පැමිණි මුල් අවස්ථාවේදී ඉන්දියාවේ සාම්ප්‍රදායික පාලක රජ පවුල වූ ගාන්ධිලාගේත් වෙනත් මාක්ස්වාදී වලවේග වලත් හුළං සම්පූර්ණයෙන්ම බැස ගොස් තිබිණ. ඉන්දියාව යනු නිතරම ජාතිවාදී, කුලවාදී සහ ආගම්වාදී කලබලවලින් යුතු රටකි. මේවා දෙතුන් දාහ බැගින් මියයන භයානක ගැටුම් වෙති. 2047 දී ජාතිවාදය පිටුදකින බව නරේන්ද්‍ර මෝදි අද කීවද මීට අවුරුදු 9 කට පෙර ඔහු බලයට එන්නේ ජාතිවාදයේ දේශපාලන ස්වරූපය වූ ජාතිකවාදය කරේ තබාගෙනය. ඔහු බලයට එන විට ඉන්දියාව යුද බලයෙන් ශක්තිමත් වූ නමුත් ආර්ථික පැත්තෙන් ඉතා දුප්පත් රටකි. එහෙත් මෝදි රටේ ආර්ථිකය ගොඩදමා ගත්තේය. අගමැති වීමට පෙර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැතිව සිටියේ නරේන්ද්‍ර මෝදි ය. ගුජරාටයේ පැවති ආගම්වාදී කෝලාහලයකින් පසු ඇමරිකාව මෝදිගේ වීසා බලපත්‍රය පවා තහනම් කළේය. එහෙත් ඉතිහාසය කොතරම් හාස්‍යජනක ලෙස පුනරුච්චාරණය වේද යත් අද වන විට ඔහු ඇමරිකාවට නැතිවම බැරි ලෝක නායකයෙකි. එදා ඇමරිකාව ඔහුගේ වීසාව තහනම් කළ නමුත් අද වන විට ඔහු දිනපතාම ඇමරිකාවට එන්නේ නම් එරට නායකයෝ සතුටු වන්නාහ. මේ අනුව අපට වැටහෙන්නේ ලෝක දේශපාලනය යනු තනිකරම බලය මත පමණක් රැඳෙන සාධකයක් බවය. ඉන්දියාව ලෝක ආර්ථිකයේ පස්වන බලවතා වීමත් සමගම ප්‍රංශය, එක්සත් රාජධානිය වැනි රටවල් පවා සංත්‍රාසයට පත්වීමට ඉඩ තිබේ. ලෝකයේ පළමුවැනි ආර්ථික බලවතා ඇමරිකාවය. චීනය, ජපානය, ජර්මනිය යන රටවල් පිළිවෙළින් ඉතිරි ආර්ථික බලවත්තු වෙති. ඉන්දියාව පස්වන ආර්ථික බලවතා නම් සිංගප්පූරුව කීවෙනි ආර්ථික බලවතාද? එය 33 වන ලෝක ආර්ථික බලවතාය. ලංකාව 76 වන ලෝක ආර්ථික බලවතාය. මාලදිවයිනට හිමි අංකය 155 ය. ලංකාව යනු ධනවාදී රටකි. එය සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස නිල වශයෙන් හඳුන්වන නමුත් ඒ මගුල් සියල්ලම පල් බොරුය. දීර්ඝකාලීන ඒකීය දේශපාලන ප්‍රතිපත්තියක් සහිතව කිසියම් ආණ්ඩුවකට මේ රට පාලනය කිරීමට හැකිවනවා නම් 2048 වන විට අපටද සංවර්ධිත රටක් වීමට ඉඩ ලැබෙනවා ඇත. මෝදිගේ ඉලක්කය 2047 වන අතර රනිල් වික්‍රමසිංහ ගේ ඉලක්කය වන්නේ 2048 ය. ඉලක්ක දෙකට හරියට විද ගැනීමට නම් ශක්තිමත් දේශපාලන කැටපෝලයක් මේ දෙදෙනා අතම තිබිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment