රට නැවත වරක් බංකොලොත් වීම වළක්වා ගැනීම අපේ ව්‍යාපෘතිවල අරමුණයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

86

අපේ රට බංකොලොත් වූයේ කෙසේද? එම බංකොලොත්භාවයෙන් ගොඩ එන්නේ කෙසේද? සහ නැවත වරක් බංකොලොත් නොවී සිටින්නේ කෙසේද? කියා සිතිය යුතු බවත් මේ සඳහා පොදු සාධයක් ලෙස දැනුම දැක්විය හැකි බවත් දැනුම කේන්ද්‍රීයව වැඩ කළහොත් තීන්දු තීරණ ගත හොත් සාර්ථක ඉලක්ක කරා යා හැකි බවත් එබැවින් නැවත වරක් රට බංකොලොත් වන යුගයක් නිර්මාණය වීම වළක්වා ගැනීම මේ ව්‍යාපෘතිවල අරමුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (13) පැවසීය.

හෙතෙම මේ බැව් පැවසූවේ අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ 71 වැනි බස් රථය බෙදාදීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේද කීවේය.

මේ බස් රථයක් පරිත්‍යාග කිරීමේ අරමුණ මොකද්ද? අරමුණ තමයි නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරිම. කන්නන්ගර මැතිතුමා අපේක්ෂා කළ නිදහස් අධ්‍යාපන සංකල්පය නව යුගයට ඔබින ආකාරයට නවීකරණය කර නූතනවාදී කර ශක්තිමත් කිරීමයි අරමුණ. සමහර අයෙක් අහන්න පුලු‍වන් ලක්ෂ 50 බස් රථයකින්ද අධ්‍යාපනය ශක්තිමත් කරන්නේ කියලා. ඒ අයට කියන්නම් ගිය වසරේ මේ විද්‍යාලයේ දෙමාපියන් රුපියල් ලක්ෂ 6ක් එකතු කරලා තිබෙනවා බස් කුලිය ගෙවන්න. දැන් එහෙම කරන්න අවශ්‍ය නැහ. දැන් අවශ්‍ය විදුහල්පතිතුමියයි ගුරුවරුයි දෙමාපියනුයි එකතු වෙලා මේක හරියට නඩත්තු කරන එක. මේ ලක්ෂ 50ක සම්පත අපි ලබා දෙන්නේ සත්‍ය වශයෙන්ම නිදහස් අධාපනය දියුණු කරන්න.

අද අපි බංකොලොත් රටක ඉන්නේ. මේ බංකොලොත් රටේ අපි බංකොලොත් භාවයෙන් මිදෙන්න ඕන. ගොඩයන්න ඕන. ආයේත් වරක් රට බංකොලොත් වන යුගයක් නිර්මාණය වන අවස්ථාව වළක්වා ගත යුතුයි. මම මේ කියන දේ ගැන හිතන්න. ඇයි අපි බංකොලොත් වුණේ. බංකොලොත්භාවයෙන් ගොඩ එන්නේ කොහොමද? නැවත වරක් බංකොලොත් නොවි ඉන්නේ කොහොමද? මේ හැමදේකටම පොදු සාධකයක් තිබෙනවා. ඒ තමයි දැනුම. දැනුම කේන්ද්‍රීයව වැඩ කළොත් අපිට සාර්ථක ඉලක්ක කරා යා හැකියි. දැනුම කේන්ද්‍රීයව අපි තීන්දු තීරණ ගත හොත් රටක් හැටියට දියුණු වෙන්න පුළුවන්.

රටේ පාසල් 10155ක් තිබෙනවා. ඡන්ද කාලෙට කියනවා දැනුමේ කේන්ද්‍රස්ථාන ඇති කරනවා කියලා හැමෝම කියනවා. ඒත් බලයට ආවම ඒක වෙන්නැ. අපි දැන් මේ කරන්නේ බලයට එන්නට පෙර සැබැවින්ම අපේ රටේ පාසල් 10155 දැනුමේ කේනද්‍රස්ථාන බවට පත් කරන්න. එක පැත්තකින් සක්වල ක්‍රියාත්මක කරනවා. එහිදි දෙආකාරයකින් උදව් කරනවා. එක පැත්තකින් බස් රථ, අනෙක් පැත්තකින් තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනයට ස්මාර්ට්බෝට් ප්‍රින්ටර්ස් දෙනවා. අද මේ 71 වැනි බස් රථය සමග ලක්ෂ 3492ක බස් රථ දුන්නා. සක්වල වැඩසටහන තුළින් පාසල් 30කට ලක්ෂ 258ක් වටිනා ස්මාර්ට් බෝර්ඩ් පරිගණක ආදිය දුන්නා. හෙට 31 වැනි වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන විද්‍යාලයේ ක්‍රියාත්මක කරනවා.

අධ්‍යාපනය වගේම සෞඛ්‍ය ගැනත් අපි බලනවා. අම්පාර රෝහලට ලක්ෂ 30කට වැඩි කිඩ්නි ඩයලසිස් යන්ත්‍රයක් දුන්නා. හුස්ම වැඩසටහන තුළින් රෝහල් 56කට ලක්ෂ 1719ක උපකරණ දුන්නා. සමහරෙක් අහන්න පුළුවන් ඕනැ තරම් දේශපාලඥයෝ පරිත්‍යාග කරනවා කියලා. ඒ පරිත්‍යාග හා මේ පරිත්‍යාග අතර වෙනසක් තිබෙනවා. 75 වසරක දේශපාලන ඉතිහාසය තුළ කවුරු හරි මේ රටට වැඩක් කළා නම් කළේ ජනාධිපති අගමැති ඇමැතිකම් ආණ්ඩුවේ මන්ත්‍රිකම් අරගෙන. බලයක් ඇතුව මිස නැතිව නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment