රට ලේ විලක් කරන්න එපා..! – විධායක ජනපතිධුරය අහෝසි කළ යුත්තේ 2024 ජනපතිවරණයෙන් පසුවයි

92

එස්. එම්. මරික්කාර් (සජබ)

විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.

රට තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට හැකි වන්නේ දක්ෂිණාංශික ආර්ථික රාමුවක් තුළ සිටිමින් ලෝකය සමග සම්බන්ධතා තිබෙන ලෝකය සමග ගණුදෙනු කිරීමට හැකි කණ්ඩායමකට පමණක් බවත් එවැනි වැඩපිළිවෙළක් තිබෙන කණ්ඩායමක් සජබය සතු බවත් හෙතෙම කීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (14දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර් මහතා මෙසේ පැවැසීය.

2010 රට බේර ගත්ත නායකයා ඇතුළු කණ්ඩායම 2015 වෙද්දී රට විනාශ කරපු විදිහත් මතක ඇති. ඔවුන් රටේ සම්පත් කොල්ල කාලා රට අරාජික කරපු විදිහත් මතක ඇති. 2019 දී රට බේරගන්න පඹයෙක් වීරයෙක් කරලා ගෙනාවා. ඒ මනුස්සයා රට බංකොලොත් කරලා ගියා. තව කෙනෙක් කියනවා ඔහු ආවේ රටේ ආර්ථිකය හදන්න කියලා. ඔහු රටේ ආර්ථිකය හදපු විදිහ තමයි මේ. මහබැංකු මුල්‍ය වාර්තාවල සඳහන් වෙනවා 2022 මුල් මාස 11 රාජ්‍ය වියදම බිලියන 3411 ක් කියලා. 2023 මුල් මාස 11 රාජ්‍ය වියදම බිලියන 4792 යි. බිලියන 1381 කින් වියදම රටේ වැඩි කර තිබෙනවා. මේක තමයි රටේ ආර්ථිකය හදන්න ආපු නායකයා කරලා තිබෙන්නේ. පුණරාවර්තන වියදම විතරක් බිලියන 1375 ක් ගෙවලා තිබෙනවා. ණය ප්‍රාග්ධනය ගෙවන්නේ නැතිව වියදම වැඩිකරලා තිබෙන ආකාරය තමයි මෙයින් පේන්නේ. බදු වැඩි කරලා බිලියන 8051 කින් රාජ්‍ය ආදායමත් වැඩි කරගෙන තිබෙනවා. 2022 සැප්තැම්බර් මාසයේ 31 වැනිදා වනවිට රජයේ සමස්ථ ණය බර බිලියන 249 යි. 2023 ඔක්තොම්බර් මාසයේ 31 වැනිදා වනවිට බිලියන 288 කින් ණය බර වැඩි වෙලා තිබෙනවා. දවසක රජයේ වියදම සහ ආදායම අතර පරතරය බිලියන 7 යි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයේ ඉන්න රටේ වියදම වැඩි වෙනවා. ණය බර තාවයත් වැඩි වෙනවා.

ආර්ථිකය පිළිබඳව වගේම සමාජය පිළිබඳව දැක්මක් ඇති ජාත්‍යන්තරය සමග සම්බන්ධතා ඇති විවිධ ක්‍ෂේත්‍රවල දක්ෂතා ඇති කණ්ඩායමකට විතරයි රට ගොඩගන්න පුලුවන් වෙන්නේ. දක්ෂිණාංශික ආර්ථික රාමුවක් තුළ සිටිමින් ලෝකය සමග සම්බන්ධතා තිබෙන ලෝකය සමග ගණුදෙනු කරන්න පුළුවන් කණ්ඩායමකට විතරයි රට තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න පුලුවන්. ජනතාවට අවශ්‍ය වන්නේ වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ තිබෙන්නේ සමගි ජන බලවේගය සතුව බව ජනතාව දන්නවා.

රාජ්‍ය ආදායම කියන්නේ බදු විතරක් නෙවෙයි. රටේ තිබෙන බදු බර අඩු කරන්න රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. රාජ්‍ය ආදායම වැඩි කරන්න සෘජු විදේශ ආයෝජන ගේන්න පුලුවන් වෙන්න ඕන. සෘජු විදේශ ආයෝජන ගේන්න නම් වංචාව, දූෂණය, නාස්තිය නැති කරන්න ඕන. ආයෝජකයන්ට මිත්‍රශීලි පරිසරයක් නිර්මාණය කරන්න ඕන. රටේ අපනයනය වැඩි කළ යුතුයි. තේ, පොල්, රබර්වලින් යැපුණ අපනයන ආර්ථිකය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කර්මාන්ත ඇති කරලා දියුණු කළා. ඒ හරහා ඩොලර් බිලියන 13ක් රටේ ආර්ථිකයට එකතු වුණා. අවුරුද්දකට ඩොලර් බිලියන 10 කවත් ආදායමක් එකතු කරන්න පුලුවන් මට්ටමට රටේ ආර්ථිකය පුළුල් කරන්න ඕන. එසේ කිරීමෙන් අධික බදු බර අඩු කිරීමට හැකියාව ලැබෙනවා. ණය ගෙවීමේ හැකියාවත් ඒ හරහා වර්ධනය වෙනවා. තවදුරටත් ණය ගෙවන්න ණය ගත්තොත් රට තවත් පහළට ඇඳ වැටෙනවා.

ජනාධිපතිවරයා පරදින්න ඡන්දය ඉල්ලන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ දෙවතාවක් පැරදුණා. 2010 දී ජනාධිපතිවරණයට වෙනත් අශ්වයෙක් ගෙනත් දැම්මා. 2015 දීත් ජනාධිපතිවරණයට වෙනත් අශ්වයෙක් ගෙනත් දැම්මා.

මේ පාර ජනාධිපතිධුරය රනිල් වික්‍රමසිංහට හමුවුණේ පිනට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජනතාව සිටින රැස්වීම්වලට යන්නේ නෑ. ඔහු යන්නේ රාජ්‍ය නිලධාරින් සිටින උත්සහවලට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන රැලිවලට යන්න බයයි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි. නමුත් විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව. රනිල් වික්‍රමසිංහට සහ පොහොට්ටුවට බලයේ රැඳී සිටින්න පුළුවන් ආකාරයට මැතිවරණය කල්දාන්න විධායක ජනාධිපතිධුරය අහෝසි කරන වැඩපිළිවෙළට සමගි ජන බලවේගය සහය ලබාදෙන්නේ නෑ. රාජ්‍ය නොවන සංවිධාන විධායක ජනාධිපතිධුරය ගැන කතා කරනවා. නමුත් ඔවුන් බදු බර අඩුකරන්න කියලා කතා කළේ නෑ, ගෙවල් ලක්ෂ 9 විදුලිය විසන්ධි කරන අවස්ථාවේ වචනයක් කතා කළේ නෑ. ළමයි හාමතේ ඉන්න එක ගැන වචනයක් කතා කළේ නෑ. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතුයි. නමුත් පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් නෑ. රට ලේ විලක් වන අර්බුදය වළක්වා ගන්න ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අවස්ථාව ලබාදෙන්න. ඒ අවස්ථාව ලබාදීලා ජනතාව තින්දු කරන ආකාරයට තීන්දු ගන්න පුලුවන්.

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ කතා කරලා 1971 කැරැල්ලක් ආරම්භ කරලා රටේ තරුණ පිරිසෙන් විශාල ප්‍රමාණයක් මරා දමලා, රටේ සිටි ආයෝජකයින්ව පන්නා දමා. අයෝජකයන්ගෙන් කප්පම් අරගෙන දෙස් විදෙස් ආයෝජකයින්ට බාධා කරමින් සිටින කණ්ඩායමක් ඉන්දියාවේ ආයෝජකයෝ හමුවෙන්න යෑම පිළිබඳව සතුටුයි. රටේ තරුණ ප්‍රජාවගේ අනාගතය නැති කළ කණ්ඩායමක් තමයි ඉන්දියාවට ගියේ. ජනතා විමුක්ති පෙරමුණ 2001 දී යළි පුබුදම ශ්‍රී ලංකා වැඩසටහනට කෝටි 45,000 ක ආයෝජන ගෙනාපු පිරිස හරවා යවපු නිසා රාජ්‍ය ආතායන ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධ වුණ නිසා රටේ ආර්ථිකය බංකොලොත්වීමට එය හේතුවක් වෙලා තිබෙනවා. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරලා යළි පුබුදම ශ්‍රී ලංකා වැඩසටහනට ක්‍රියාත්මක කරලා තිබුණානම් අද ලංකාවේ ආර්ථික මට්ටම ඉහළ ගිහිල්ලා. ඉන්දියානු ආයෝජනවලින් ලැබෙන ප්‍රයෝජන, ආයෝජකයන් සමග එකතුවීමෙන් ලැබෙන ලාභ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ඉගෙන ගනිමින් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කරන්නේ ප්‍රධාන විපක්ෂය වෙන්නයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment