රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද සිට එස්.එස්.සී. පිටියේදී

111

ලොව දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩව පැවැත්වෙන දෙවැනි ක්‍රිකට් තරගාවලිය වන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර 145 වැනි නිල් මහා සටන කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (07 දා) ආරම්භ වේ.

ඩී. එස්. සේනානායක අනුමස්රණ පලිහ වෙනුවෙන් අද (07 දා) සිට ලබන 9 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගයේ ඉතිහාසගත වාර්තාව දෙවැනි වන්නේ, ඔස්ටේ්‍රලියාවේ ඇඩිලේඩ් හි සෙන්ට් පීටර්ස් සහ ප්‍රින්ස් ඇල්ෆර්ඩ් යන විදුහල් දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට පමණි.

රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනට ඔස්ටේ්‍රලියාව හා එංගලන්තය අතර කිර්තිමත් අළු බඳුන තරගාවලියටත් පෙර ඉතිහාසයක් පවතී.

රාජකීය - ශාන්ත තෝමස් නිල් මහා සටන අද සිට එස්.එස්.සී. පිටියේදී

මෙවර නිල් මහා සටන ක්‍රිකට් තරගයේදී, ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම මහිත් පෙරේරා විසින් මෙහෙයවනු ලබන අතර, රාජකීය කණ්ඩායම තරගයට අවතීර්ණ වන්නේ, 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුවය.

නිල් මහා සටන් ඉතිහාසයේ මේ දක්වා, රාජකීය විදුහල ජයග්‍රහණ 36ක් ලබා සිටින අතර, ශාන්ත තෝමස් විද්‍යාලය ජයග්‍රහණ 35ක් ලබාගෙන තිබේ.

පසුගිය 144 වැනි නිල් මහ සටනේදී, රාජකීය කණ්ඩායම 2016 වසරින් පසුව සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූයේය.

මෙම තරගයේදී දැවී යන සෑම කඩුල්ලක් වෙනුවෙන්ම රු 10000ක මුදලක් හා රැස් කරන සෑම ලකුණක් වෙනුවෙන්ම රු. 1000ක් වෙන් කිරීමට තරගයේ නිල අනුග්‍රාහකයා වන ඩයලොග් ආයතනය කටයුතු යොදා ඇත.ඒ අනුව ඩයලොග් Play දෙර a Cause වැඩසටහන මෙවර ද ක්‍රියාත්මක වන අතර ඉකුත් වසරේ ඒ වෙනුවෙන් රු. 1,128,000ක මුදලක් පිරිනමනු ලැබිණි. එම මුදල කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති සහ ශාන්ත තෝමස් විදුහලේ විදුහල්පතිවරයා ගේ උපදෙස් පරිදි පාසල් 4 ක් සඳහා පරිත්‍යාග කෙරිණි.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් වූ, දිවංගත ඩී.එස්. සේනානායක සහ ඔහුගේ පුත් දිවංගත ඩඩ්ලි සේනානායක යන මහත්වරුන් ශාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින්ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල සහ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරු රාජකීය විදුහල නියෝජනය කරමින්ද පාසල් අවදියේදී ඓතිහාසික නිල් මහ සටනට ක්‍රීඩා කළහ.

මෙවර නිල් මහා සටන Dialog Television – ThePapare TV HD (නාලිකා අංක 126) ඔස්සේ මෙන්ම ThePapare.com සහ Dialog ViU App ඔස්සේ සජීවිව විකාශය කෙරේ. විදුහල් දෙක අතර Mustangs කුසලානය වෙනුවෙන් වන සීමිත පන්දුවාර තරගය මාර්තු 16 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment