රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට එරෙහි නොතිසි නීතිපති උසාවියට භාරදෙයි

95

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවලට අදාළ නොතිසි ඔහුට භාරදීම සඳහා නීතිපතිවරයා විසින් ඊයේ (27 දා) අභියාචනාධිකරණයට භාරදෙනු ලැබීය.

වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ අගෝස්තු 28 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කළ එම ප්‍රකාශයට අදාළ වීඩියෝපට පිටපත් විත්තියට භාරදී සාක්ෂි ආඥා පනතේ 7 (1) වගන්තිය අනුව එකී නොතිසි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හසිනි ඕපාත මහත්මිය විසින් අධිකරණයට භාර දෙන ලදී.

වගඋත්තරකරුට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් චෝදනා පත්‍රය පසුගිය 15 වැනිදා නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට භාරදී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය. එම චෝදනා පත්‍ර ලැබී ඇත්දැයි දැනුම්දීම සඳහා එම නඩුව ලබන මස 13 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එන්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරු නියෝග කළහ.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා මාධ්‍ය හමුවේ සිදුකර ඇති එම ප්‍රකාශ මගින් අධිකරණයට දැඩි ලෙස අපහාසයක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ සියලුම දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, නීතිඥ ප්‍රියලාල් සිරිසේන හා නීතිඥ විජිත කුමාර යන මහත්වරුන් එම පැමිණිලි ගොනුකර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment