රෝහල් රැසක ස්කෑන් යන්ත්‍ර කැඩිලා

35

ලීනියර් ඇක්සලේටර් – කොබෝල්ට් පෙට් – සීටී – ආදිය ඒ අතර

රජයේ රෝහල් රැසක විකිරණ තාක්‍ෂණික උපකරණ ක්‍රියාවිරහිත වී ඇතැයි, රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මහරගම අපේක්‍ෂා රෝහලේ පවතින ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර පහෙන් 2ක් ද මේ වනවිට අක්‍රිය වී ඇති අතර කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ කොබෝල්ට් ප්‍රතිකාර යන්ත්‍රය ද සති 2ක් තිස්සේ බිඳවැටීමකට ලක්ව පවතින බව එම සංගමය ඊයේ (22 දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ හෘද කැතිටකරණ ඒකකයේ ඩී.එස්.ඒ. යන්ත්‍රයක් මෙන්ම වකුගඩුවල ගල් කුඩු කරන යන්ත්‍රයක් ද හම්බන්තොට සහ කළුතර මහ රෝහල්වල සී. ටී. ස්කෑන් යන්ත්‍ර ද මේ වනවිටත් අක්‍රිය තත්ත්වයේ පැවතීමෙන් රෝගී ජනතාව මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද දැඩි පීඩාවට පත්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේය.

ජාතික රෝහලේ පෙට්ස් ස්කෑන් යන්ත්‍රයේ නඩත්තුව හේතුවෙන් පරීක්‍ෂණ නතරවී ඇති බවත් අපේක්‍ෂා රෝහලේ ‘පෙට් ස්කෑන් යන්ත්‍රය නතරවී ඇත්තේ එම පරීක්‍ෂණ සිදු කිරීමට අදාළ එෆ්. ඩී. ජී. ඖෂධය සැපයීම නතරවීම හේතුවෙන් බවත් හෙතෙම සඳහන් කළේය.

පුද්ගලික අංශයෙන් අදාළ ‘පෙට් ස්කෑන්’ පරීක්‍ෂණයක් සිදුකර රුපියල් ලක්‍ෂ දෙකහමාරක මුදලක් වැය කිරීමට රෝගියකුට සිදුවන බවත්, මෙම පරීක්‍ෂණය මගින් රෝගියකුගේ පිළිකාවේ වර්ධනය හා පැතිරීමේ ප්‍රමාණය හඳුනා ගැනීමට හැකි බවත් සඳහන් කළ චානක ධර්මවික්‍රම මහතා මේ වනවිට පෙට් ස්කෑන් පරීක්‍ෂණ සඳහා මාස 04ක පමණ පොරොත්තු ලේඛනයක් ද පවතින බව වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment