වනිඳු රජ වූ ක්වීන්ස් පිටියේ – ශ්‍රී ලංකාව පහසු ජයක්

673

ලකුණු 24 කට කඩුලු‍ 6 ක් දවා ගනිමින් එක්දින ක්‍රිකට් පිටියේ තම හොඳම පන්දු යැවීම වාර්තා කළ වනිදු හසරංග ගේ දක්ෂතා සහ නොම්බර 1 සිට නොම්බර 4 දක්වා පිතිකරුවන් අර්ධ ශතක ඉක්මවා ලකුණු රැස් කිරීම මත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරඟයේදි එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ලකුණු 175ක පහසු ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ (19 වැනිදා ) සමත් විය.

ඊයේ වාර්තා කරන ලද කඩුලු‍ 6 ත් සමඟ එක්දින කඩුලු‍ 50 සීමාව ඉක්මවා ගිය වනිදු හසරංග කඩුලු‍ 50 සීමාව ඉක්මවා ගිය වේගවත්ම ශ්‍රී ලංකා පන්දු යවන්නාගේ වාර්තාවේ සම අයිතියද උපුල් චන්දන සමග එක් ව බෙදා ගත්තේය.

ඔවුන් දෙදෙනාම කඩුලු‍ 50 වාර්තා කිරීමට තරග 42 කට ක්‍රීඩා කර තිබේ.

මෙම පන්දු යැවීම වනිදු ගේ ඉහළම එක්දින පන්දු යැවීම වූ අතර මීට පෙර ඔහුගේ ඉහළම දක්ෂතාවය වූයේ ලකුණු 58 කට කඩුලු‍ 4ක් දවා ගැනීමයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ නොම්බර 1 සිට නොම්බර 4 දක්වා සියලු පිතිකරුවන් අර්ධ ශතක ඉක්මවා ලකුණු රැස් කිරීමත් වනිදු හසරංග ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතාත් මත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරඟයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 175 ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත් වූයේය. කාසිය වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු යැවීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එමීර් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි.

වනිඳු රජ වූ ක්වීන්ස් පිටියේ - ශ්‍රී ලංකාව පහසු ජයක්

එමීර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් වූ නායක මුහමඩ් වසීම් සහ රිටියා අරවින්ද් ලකුණු 39 බැගින් රැස් කළහ. ඉනිමේ හරි අඩක් අවසානයේ එමීර් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 120 ක් ලබා ගෙන සිටියේය.

සිම්බාබ්වේ බුලවායෝ හි ක්වීන්ස් ක්‍රීඩාංගණයේ පැවති එම තරඟයේ දී ශ්‍රී ලංකාව රැස් කළ මෙම ලකුණු සංඛ්‍යාව සිම්බාබ්වේ දේශයේදී ශ්‍රී ලංකාව එක්දින තරගයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් වෙයි.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම සමත් වූහ.

ඉනිමේ අවසාන භාගයේ වේගවත් පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක පන්දු 23 කදී නොදැවී ලකුණු 48ක් ලබාගත් අතර ඔහු සමග නොදැවී පන්දුවට පහරදුන් වනිදු හසරංග පන්දු 12කදී ලකුණු 23 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක දෙදෙනා ලකුණු 95ක සම්බන්ධතාවයක් ගොඩනැංවූ අතර දිමුත් ලකුණු 52 ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 57ක් ලබා ගත්තේය.

අනතුරුව පිටියේ එකතු වූ ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූ කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ. කුසල් මෙන්ඩිස් පන්දු 63 කදී ලකුණු 78 ක් ලබාගත් අතර සධීර පන්දු 64 කදී ලකුණු 73 ක් ලබා ගත්තේය.

නායක දසුන් ශානක එක් ලකුණකටත්, ධනංජය ද සිල්වා ලකුණු 5 කටත් දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දු වාර 46.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 297 ක් ලෙස සටහන් වූ අතර ඉතිරි පන්දු 22 දී ලකුණු 58 ක් කණ්ඩායමට එකතු කිරීමට චරිත් සහ වනිදුගේ වේගවත් පිතිහරඹයට හැකිවිය.

පන්දු යැවීමේදී අලී නසීර් ලකුණු 44 කට කඩුලු 2 ක් දවා ගත් අතර ආයන් ඛාන්, මුස්ටෆා සහ බැසිල් හමීඩ් එක් කඩුල්ල බැගින් දවා ගත්හ. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අනෙක් තරඟය ලබන 23 වෙනිදා ඕමානය සමග පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment