වර්ණ භේදය අඳුනගන්න බැරිවීම අයර්ලන්තයට එරෙහි ජයග්‍රහණය පහසු වුණා – ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න

4143

අයර්ලන්තය වැඩිපුර සුදු පන්දුවේ ක්‍රීඩාව (එක්දින ජාත්‍යන්තර තරග සහ පන්දුවාර විස්සයි විස්ස තරග) කෙරෙහි අවධානය යොමු කර ඇති නිසා රතු පන්දුවෙන් කෙරෙන ක්‍රීඩාව සඳහා ද (ටෙස්ට් තරග) ඒ මානසිකත්වයෙන් තරග වැදීම අයර්ලන්තයට එරෙහි ජයග්‍රහණය පහසු වීමට හේතු වන්නට ඇති බව ශ්‍රී ලංකා නායකයාගේ විශ්වාසය වී තිබේ.

ඔවුන් පන්දු රකින්නන් ටෙස්ට් තරගයකට උචිත ලෙස ස්ථාන ගත කරන්නට අසමත් වූ බවත් ඊට හේතු වන්නට ඇත්තේ ද සීමිත පන්දුවාර තරග මානසිකත්වයෙන් තරග කිරීම වන්නට ඇති බවද ශ්‍රී ලංකා නායකයා විශ්වාස කරයි.

කෙසේ වෙතත් ඒ හේතුවෙන් තම ක්‍රීඩකයන්ට පහසුවෙන් එක ලකුණ බැගින් රැස් කිරීමට ඕන තරම් අවස්ථාව තිබූ බවද ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී සඳහන් කළ සිටියේය.

ශ්‍රී ලංකාව සමග මෙම ටෙස්ට් තරගාවලියට පැමිණෙන විට ඊට පෙර ටෙස්ට් තරග තුනකට පමණක් ක්‍රීඩා කර සිටි අයර්ලන්තය 2016 ජුනි මස එක්දින ජාත්‍යන්තර වරම් ලබා එක් දින තරඟ 185 කට ක්‍රීඩා කර අත්දැකීම් ඇති කණ්ඩායමකි. අයර්ලන්තය ක්‍රීඩා කර ඇති පන්දුවාර විස්සයි විස්ස තරග සංඛ්‍යාව 147 කි.

මෙම තරගයේදී දිමුත් ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් සිව්දෙනකු ශතක වාර්තා කරමින් පළමු ඉනිම සඳහා කඩුලු 6 කට ලකුණු 591 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 280 ක ජයක් අත්කර ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලබාගත් එම ලකුණු 591 න් හතරේ පහරවලින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 284 කි. ( හතරේ පහර 66ක්.) හයේ පහර එකකි. ඒ අනුව හයේ සහ හතරේ පහරවලින් තොර කඩුලු අතර දිවීමෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 301 (591-290) කි.

එසේම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අයර්ලන්තයට ඇති අත්දැකීම් අඩුකම ඔවුන්ට එරෙහි පළමු ටෙස්ට් තරගය දින 3 ක් ඇතුළතදී ජයග්‍රහණය කිරීමට හැකිවීමට හේතු වූ බව ද ශ්‍රී ලංකා නායකයා එහිදී සඳහන් කර සිටියේය. “අයර්ලන්ත කණ්ඩායමේ පන්දු යැවීම අවතක්සේරු කරන්න බෑ. එයාලා හොඳට පන්දු යැව්වා. හැබැයි එයාලා කරපු එකම අවුල තමයි එයාලට ටෙස්ට් ක්‍රිකට් ගොඩක් ක්‍රීඩා කරලා නැති එක. එයාලට හරියට පන්දු රකින්නන් යෙදවීම, පන්දුව පතිත කළ යුතු සීමාවන්, ගැන එයාලට අල්ලගන්න බැරි වෙලා තියෙනවා. එයාලට ගොඩක්ම සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රීඩාවට යොමු වෙලා තියෙන නිසා ඒ පන්දු රකින්නන් යොදවන විදිය තමයි මේ තරගයකටත් යෙදෙව්වේ. මං හිතන්නේ ඒක තමයි අපිට පොඩ්ඩක් ලේසි වුණේ. ඒකත් එක්ක එක් ලකුණ බැගින් ගන්න ඒවා ලේසියෙන් ගන්න පුළුවන් වුණා. නමුත් මං හිතන්නේ ඒ නිසා තමයි අපිට මේ තරගය දින 3 ක් වැනි කාලයක් ඇතුළතදී ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ” යැයි තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් සඳහන් කර සිටියේය.

ටෙස්ට් තරගයක පන්දුවට පහරදෙන අවස්ථාවන්හි දීර්ඝ වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමේ ප්‍රවණතාවය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය කරගැනීමට තමා අපේක්ෂාවෙන් පසුවුණ ද ශ්‍රී ලංකා නායකයා මෙහිදී සඳහන් කර සිටියේය.

“මේ ටෙස්ට් තරගයේ මුල් ඉනීමේ දී අපි පන්දුවට පහරදෙන අවස්ථාවේ කුසල් මෙන්ඩිස් පන්දුවට පහරදෙද්දී මං ඔහුට කිව්වේ ඉක්මන් වැඩි වන අවස්ථා හෝ ඉවසීම බිඳ වැටෙනවා වගේ දැක්කොත් මට කියන්න කියලා. ඉතිං ඒ නිසා නිතරම අපි දෙන්නා ඒ ගැන කතා කළා. ඒක නිසා තමයි අපිට දෙවැනි කඩුල්ලට දීර්ඝ ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන් වුණේ’ යැයි ද දිමුත් සඳහන් කර සිටියේය.

ගිය වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ඔස්ටේ්‍රලියා සහ පාකිස්තාන තරගාවලියේ මෙන්ම නවසීලන්ත තරගාවලියන්හිදී තමා අර්ධ ශතක ලබා ලකුණු අතරට පිවිසියත් ඒවා විශාල ලකුණු බවට පත්කර ගැනීමට අවස්ථාව උදා නොවූ බව කී දිමුත් කරුණාරත්න මේ සංචාරය ආරම්භයේ දී දිගු ඉනිම සිතෙහි තබාගෙන ක්‍රීඩා කළ බව සඳහන් කර සිටියේය.

දිමුත් මෙම තරගයේදී පන්දු 235 කට මුහුණ දී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත්වූයේ හතරේ පහර 15 ක්ද තම ඉනිමට ඇතුළත් කරමිනි. එහෙත් කඩුල්ලේ රැඳී සිටීම සඳහා වූ අධිෂ්ඨානය තමන් අතින් ගිලිහී යෑම නිසා ද්විත්ව ශතකය ලබා ගැනීමට තිබූ අවස්ථාව ද ගිලිහී ගිය බව දිමුත් සඳහන් කර සිටියේය. ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු පන්දු යවන්නන්ගෙන් තමා නිතර ඉල්ලා සිටියේ මූලික සිද්ධාන්තයන්ට ගරු කරමින් නියමිත ස්ථානයන්හි පන්දු පතිත කරන ලෙස බව කී දිමුත් කරුණාරත්න ඔවුන් එම වගකීම අකුරටම ඉටු කළ බවද සඳහන් කර සිටියේය. මේ අතර කඩුලු රකින්නා ලෙස තරග වැදි සදීර සමරවික්‍රම පිතිහරඹයට අමතරව කඩුල්ල පිටු පස සිට ඉතා විශිෂ්ට මෙහෙවරක නිරත වූ බව සඳහන් කළ දිමුත් ඒ පිළිබඳව තමා සතුටු වන බවද සඳහන් කර සිටියේය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment