වල්පොල එල්ලේ කැප්ටන් මරුතුරුලට යැවූ ග්‍රාමසේවක බිරිඳගේ එල්ලය…

3184

හමුදාවේ හතක් හවුල්වෙලා

ඝාතනය වු පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අයෙක්…

පසුගිය අගෝස්තුවේ 19 වැනිදා දහවල රාගම පොලිසිය බෙහෙවින් කලබලකාරී වී තිබුණේය. පැමිණිලි ඉදිරිපත් කිරීමට සහ විවිධ අවශ්‍යතාවන් සඳහා පැමිණි පිරිස් පොලිසිය ඉදිරිපිටට රැස්ව සිටියහ.

සිය කේෂ කල්‍යාණය දුඹුරු පැහැකරගත් නවීන විලාසිතාවන්ගෙන් සැරසී සිටි කාන්තාවක් රාගම පොලිසියේ පැමිණිලි භාරගන්නා නිලධාරියා හමුවේ පෙනී සිටියාය.

‘‘රාලහාමි මගේ මහත්තයා පසුගිය 17 වැනිදා ඉඳලා ආගිය අතක් නැහැ. එයා යන එන හැම තැනක්ම හොයලා බැලූවා. ඒත් කිසිම හෝඩුවාවක් නැහැ. අනේ රාලහාමි මගේ මහත්තයව කොහොමහරි හොයලා දෙන්න.’’

සිය සැමියාගේ හදිසි අතුරුදන්වීම ගැන උමයංගනා රාගම පොලිසිය හමුවේ පැමිණිලි කළාය.

‘‘රාළහාමි මම ග‍්‍රාම නිලධාරිනියක්. මට්ටක්කුලිය පැත්තේ රාජකාරි කරන්නෙ. මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ඒ දරුවො තාත්තව ඉල්ලලා අඬනවා. මට කොහොමහරි මගේ මහත්තයව හොයල දෙන්න.’’

උමයංගනා අතුරුදන් වූ සිය සැමියා සොයා දෙන ලෙස රාගම පොලිසිය හමුවේ හැඬූ කඳුළින් ඉල්ලා සිටියාය.

උමයංගනා පැමිණිල්ල කළ දිනට පසු දින එනම් අගෝස්තු 20 වැනිදා පෙරවරුවේ තවත් කාන්තාවක් රාගම පොලිසිය වෙත පැමිණ තම සොහොයුරා දින තුනක් තිස්සේ අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. ඒ පැමිණිල්ල කරන්නේ උමයංගනාගේ නෑනන්ඩිය එහෙමත් නැත්නම් සැමියාගේ සොහොයුරිය විසින් ය.

36 හැවිරිදි අකිල සම්පත් රත්නසිරිගේ හදිසි අතුරුදන්වීම ගැන රාගම පොලිසිය විමර්ශන ආරම්භ කළේය. මේ අතර අගෝස්තු 20 වැනිදා මෝදර කාකදූපත ප‍්‍රදේශය හිටි හැටියේම උණුසුම් වුණේය. ප‍්‍රදේශවාසීන් වැල නොකැඞී කාකදූපත දෙසට දිව යන්නට වූහ. මට්ටක්කුලිය පොලිසිය වෙත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබුණේය.

සර්… අතපය ගැටගහලා ගල් බැඳලා වතුරට දාපු මිනියක් කාකදූපතට ගොඩගහලා අඳුනගන්න බැරි විදිහට මිනිය ඉදිමිලා…. ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව වහාම ක‍්‍රියාත්මක වූ මට්ටක්කුලිය පොලිසිය කාකදූපතට ගොස් සිය විමර්ශන කටයුතු ආරම්භ කළේය. මියගොස් සිටින පුද්ගලයා හඳුනාගත නොහැකි ආකාරයට සිරුර ඉදිමී කුණුව ගොස් තිබුණේය. මෝදර හෝ ඒ අවට පදිංචිකරුවකුගේ අතුරුදන්වීමක් ගැන පොලිසිය වෙත ඒ වන විට පැමිණිල්ලක් ලැබී තිබුණේ ද නැත.

මෙය අබිරහස් ඝාතනයක් බව මූලික විමර්ශනවලින් හෙළි වී තිබුණේය. මට්ටක්කුලිය පොලිසිය කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පොලිස් ස්ථානවලට මේ නාඳුනන පිරිමි මළසිරුර පිළිබඳව දැනුම් දුන්නේය. මේ අතර රාගම ප‍්‍රදේශයේ පුද්ගලයකු අතුරුදන්වීමක් පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබී ඇති බව මට්ටක්කුලිය පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව ග‍්‍රාම නිලධාරිනියක වූ උමයංගනා සහ ඇගේ නෑනා පොලිස් මෘත ශරීරාගාරය වෙත ආහ. මියගොස් සිටින්නේ තම සැමියා වූ අකිල සම්පත් බව උමයංගනා හඳුනාගත්තාය. මළසිරුර තම සොහොයුරාගේ බව අකිල සම්පත්ගේ සොහොයුරිය විසින් හඳුනාගත්තාය.

අකිල සම්පත් රත්නසිරිගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වන්නේ එතැන් සිටය. ඒ වන විට කොළඹ උතුර ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූයේ මංගල දෙහිදෙණිය මහතාය. අකිල සම්පත්ගේ අබිරහස් ඝාතනය පිළිබඳව විමර්ශන පැවැත්වීමේ කාර්ය කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති නලින් ශ‍්‍රියන්ත උප පොලිස් පරීක්‍ෂක ජයසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් වෙත භාර කළේය.

ඒ වන විට සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි මහතාගේ අධීක්‍ෂණය යටතේ මට්ටක්කුලිය පොලිසිය මගින් ද විමර්ශනයක් ක‍්‍රියාත්මක කර තිබුණේය. අකිල සම්පත් පිළිබඳවත් ඔහුට තිබූ තර්ජන ගර්ජන මෙන්ම සතුරු පිරිස් පිළිබඳවත් බොහෝ දේ සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබුණේය. විමර්ශන කටයුතු ආරම්භ කළ පොලිස් පරීක්‍ෂක නලින් ප‍්‍රියන්ත උප පොලිස් පරීක්‍ෂක ජයසිංහ ඇතුළු නිලධාරීන් අකිල සම්පත්ගේ බිරිඳගේ සිට ඔහුගේ පවුලේ සමීපතමයන්ගේ මෙන්ම සමීප හිතවතුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගත්හ. අකිල සම්පත් රාගම වල්පොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. එල්ලේ ක‍්‍රීඩාවට කුඩා කල සිටම උපන් හපන්කම් දැක්වූ අකිල වල්පොල ප‍්‍රදේශයේ තරුණයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය පුද්ගලයෙකි.

රාගම වල්පොල එල්ලේ ක‍්‍රීඩා කණ්ඩායම්වල සාමාජිකයකු වූ අකිල සම්පත් වසර කිහිපයක් තිස්සේ තරඟ රැසකට සහභාගි වී ඒවා ජයග‍්‍රහණය කරවීමට කටයුතු කළ දක්‍ෂ ක‍්‍රීඩකයකු විය. එල්ලේ ක‍්‍රීඩාවෙන් පෙන්වූ දක්‍ෂතා නිසාම වරාය අධිකාරියේ රැකියාවක් ලබා ගන්නට තරම් අකිල සම්පත් වාසනාවන්ත වුණේය. වරාය අධිකාරියේ එල්ලේ කණ්ඩායම ද නියෝජනය කළ අකිල සම්පත් තරග රැසක් ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය. අකිල සම්පත් උමයංගනා අදාර කතාව ආරම්භ වන්නේ ඔහු වරාය අධිකාරියේ රැකියාව කරන කාලයේය. උමයංගනා පදිංචිව සිටියේ උස්වැටකෙයියාව අලූත්අක්කරය ප‍්‍රදේශයේ ය.

වසර පහක් තිස්සේ පැවති පේ‍්‍රම වෘතාන්තයෙන් පසුව අකිල සම්පත් උමයංගනා විවාහය සිදුවුණේය. විවාහයෙන් පසු උමයංගනා රාගම වල්පොල පිහිටි අකිල සම්පත්ගේ මහගෙදර නතර වූවාය. උමයංගනාට ග‍්‍රාම නිලදාරිනියක ලෙස ස්ථිර රැකියාව ලැබෙන්නේ 2014 වර්ෂයේදී ය. ඇගේ මුල්ම පත්වීම මට්ටක්කුලිය පොලිස් වසමේ ග‍්‍රාමයක් වෙත ලැබී තිබිණි.

උමයංගනා යනු කටකාර සමාජශීලී ගැහැනියකි. රාජකාරි කටයුතුවලදී තම වසමේ ජනතාව සමඟ මෙන්ම පොලිසිය ආරක්‍ෂක අංශ මෙන්ම අනෙකුත් ආයතන සමඟ උරෙන්උර ගැටෙමින් කටයුතු කළාය. උමයංගනාගේ ග‍්‍රාම නිලධාරි කාර්යාලය තිබුණේ මට්ටක්කුලියේය. රාගම වල්පොල නිවසේ සිට ඇය දෛනිකව රාජකාරි කටයුතු සඳහා එහි ආවාය.

‘‘දැන් අපි දෙන්නටම එකට රස්සාවට යන්න පුළුවන්. කාලයක් තිස්සේ දැකපු හීන සැබෑ වෙච්ච එක ගැන මට පුදුම සතුටක් තියෙන්නේ. අපි දෙන්න ලස්සන ජීවිතයක් ගත කරමු.’’

උමයංගනා විවාහ වූ මුල් කාලයේ අකිල සම්පත් සමඟ අනාගතේ ගැන ලස්සන සිහින මැව්වාය. ඒ සිහින සැබෑ කර ගන්නට උත්සාහ කළාය. කාලය කෙමෙන් ගෙවී යමින් තිබුණේය. ඒ වන විට අකිල සම්පත් උමයංගනා කැදැල්ලට අලූත් සාමාජිකයන් තිදෙනෙකුම එකතු වී සිටියහ. සමගියෙන් සමාදානයෙන් තිබු කැදැල්ලට හෙනහුරා පාත්වන්නට පටන් ගත්තේ මේ කාලයේදී ය.

ක‍්‍රීඩා කරමින් කෙළිලොල් ජීවිතයක් ගත කරමින් සිටි අකිල සම්පත් අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වන්නේ නරක ආශ‍්‍රය නිසාය. ක‍්‍රීඩා කටයුතුවලින් කෙමෙන් කෙමෙන් ඉවත් වූ අකිල සම්පත් දවස පුරාම අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් ගත කරන්නට පුරුදු වුණේය. ක‍්‍රීඩාව රැකියාව දරු පවුල සියල්ල දෙවැනි තැනට දැමූ අකිල සම්පත් මුල්තැන දුන්නේ මත්ද්‍රව්‍ය භාවිතයටය. මාස ගණනක් එක දිගට රැකියාවට වාර්තා නොකිරීම නිසා අවසානයේ වරාය අධිකාරියෙන් අකිල සම්පත් ඉවත්කර දැමුවේය.

ඒ වන විට අකිල සම්පත් උමයංගනා ආදර කැදැල්ලේ සතුට සොම්නස පෑල දොරින් පිටව ගොස් තිබුණේය. අඹුසැමි ආරවුල් අඩදබර දිනෙන් දින ඉහළ යන්නට විය. මෙච්චර වටින රස්සාවක් තමුසෙ නැතිකර ගත්තා. අපි කොහොමද දැන් ජීවත් වෙන්නෙ. දරුවො තුන්දෙනෙක් ලොකුමහත් කරන්න ඕනෙ. උන්ට උගන්වන්න ඕනෙ. තමුසෙ කුඩුගගහ ගෙදරට වෙලා ඉන්නවා. උමයංගනාගේ බැණ අඩගැසීම්වල නිමක් නැත. ආරවුල් ගැටුම්වල අඩුවක් ද නැත.

මේ අතර අකිල සම්පත් අනියම් ඇසුරකට ද මුල පුරන්නේ පවුල් ආරවුල් තව තවත් උත්සන්න අතට හරවමින් ය. අකිල සම්පත්ගේ අනියම් පෙම්වතිය වුණේ ඔහුගේම ඥාති සොහොයුරියකි. අකිල සම්පත්ගේ මේ අනියම් ඇසුර හෙළි වූ දින උමයංගනා යක්‍ෂනියක ලෙස ආවේශ වූවාය.

‘‘උඹ මහ තිරිසනෙක්. කුඩු ගහන එක මං ඉවසගෙන හිටියා. කරන දහදුරා වැඩ හැම එකක්ම ඉවසගෙන හිටියා. ඒ මදිවට දැන් ගෑනියෙකුත් ලෑස්ති කරගෙන. කවදහරි මට වෙන්නෙ මේ දරුවො ටිකත් එක්ක පාරට බහින්න. උමයංගනා අකිල සම්පත් කැදැල්ලේ දැන් ආදරයක් සෙනෙහසක් නැත. අ`ඩදබර කලකෝලහලවලින් පිරුණ මේ කුටුම්බය ඒ වන විට අවුල් ජාලාවක් බවට පත්ව තිබුණේය. අකිල සම්පත් සිය බිරිඳ සහ ආදර දරු තිදෙනා අතහැර දමා අනියම් පෙම්වතිය සමඟ අලූත් ජීවිතයක් පටන් ගත්තේ ඔය අතරතුරදීය. හොරණ ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචි වූ නව යුවළ තහනම් පේ‍්‍රමයේ රස භුක්ති විඳින්නට පටන් ගත්හ. උමයංගනා නොදරුවන් තිදෙනා ද සමඟ රාගම වල්පොල නිවසේ තනි වූවාය.

උඹට හොඳක් වෙන්නේ නැහැ මට මේ කරපු වැඬේට. මං උඹට ශාප කරනවා. කවදහරි උඹට තේරෙයි. අන්න එදාට උඹ මාව හොයාගෙන එයි. මගෙ බල්ලවත් වැද්දගන්නෙ නැහැ එදාට උඹව. දැඩි ලෙස කෝපයට පත්ව සිටි උමයංගනා අකිල සම්පත්ට දුරකථනයෙන් දිනපතාම පාහේ බැණ වැදුණාය. උමයංගනා තම ග‍්‍රාම නිලධාරි වසමේ රැකියාව සඳහා දෛනිකව පැමිණියාය. සැමියා අතහැර යෑම නිසා ලැබුණු නිදහස ඇය උපරිමයෙන් භුක්ති විඳින්නට පටන් ගත්තාය. තම ග‍්‍රාම නිලධාරි වසමේ රාජකාරි කටයුතු කරද්දී මට්ටක්කුලිය හමුදා කඳවුරේ කෝප‍්‍රල්වරයකු දැන හඳුනාගැනීමේ අවස්ථාව උමයංගනාට ලැබෙන්නේ ඔය අතරතුරදීය.

කෝප‍්‍රල් දමිත් මට්ටක්කුලිය හමුදා කඳවුරේ බුද්ධි ඒකකයට සම්බන්ධ වී සිටි අයෙකි. මට්ටක්කුලිය ප‍්‍රදේශයේ කොරෝනා මර්දන ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු සෙවීමේ කාර්යය සඳහා කඳවුර අනුයුක්ත කර සිටියේ කෝප‍්‍රල් දමිත් ඇතුළු නිලධාරීන් පිරිසකි.

වල්පොල එල්ලේ කැප්ටන් මරුතුරුලට යැවූ ග්‍රාමසේවක බිරිඳගේ එල්ලය…

මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිනියක වූ උමයංගනා කෝප‍්‍රල් දමිත්ට දැන හඳුනාගන්නට ලැබෙන්නේ කොරෝනා මර්දන ව්‍යාපෘතියට තොරතුරු සෙවීම සඳහා සම්බන්ධවීමෙන් අනතුරුවය.

ඒ වන විට අකිල සම්පත් ආපසු රාගම වල්පොල පිහිටි නිවස වෙත පැමිණ සිටියේය. අකිල සම්පත් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අනියම් පෙම්වතිය සමඟ එකට වාසය කළ අතර ඇය හදිසි හෘදයාබාධයකින් මියගියාය. ජාඇල ප‍්‍රදේශයේ හෝටල් කාමරයක අකිල සම්පත් සමඟ සිටිද්දි ඇය හදිසියේ මියගොස් තිබුණේ හෘදයාබාධයකින් ය.

තම අනියම් පෙම්වතිය වියෝවීමෙන් පසු ටික කාලයක් තැන්තැන්වල ගතකළ අකිල සම්පත් ආපසු තම බිරිඳ සහ දරුවන් තිදෙනා සොයාගෙන රාගම වල්පොල නිවසට ආවේ සිදු වූ සියල්ලට සමාව ද යදිමින්ය. ටික කාලයක් ගතවෙද්දී අකිල සම්පත් සහ උමයංගනා අතර නැවතත් පවුල් ආරවුල් ගැටුම් හටගන්නට පටන් ගත්තේය. ඒ වන විට අකිල සම්පත් හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නියෝජිතයකු ලෙස රැකියාවක් කරමින් සිටියේය.

මීගමුව ප‍්‍රදේශයෙන් රැගෙන එන මත්ද්‍රව්‍ය රාගම වල්පොල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක බෙදා හැරියේ අකිල සම්පත් විසින්ය. මත්ද්‍රව්‍ය අලෙවියට මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානයට ද තදින් ඇබ්බැහි වී සිටි අකිල සම්පත් දවසේ වැඩි කාලයක් ගත කළේ මත් විකාරයෙන් පිස්සු නටමින් ය. කෝප‍්‍රල් දමිත් සමඟ සමීපව කටයුතු කිරීමට ලැබීම උමයංගනාට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේය. ටිකෙන් ටික ඔවුන් අතර ගොඩනැගුණු මිත‍්‍රත්වය පසුකලෙක අනියම් සම්බන්ධතාවක් දක්වා දුරදිග ගොස් තිබුණේය.

උමයංගනා දමිත්ට ආදරේට කතා කළේ තාතති කියාය. තමන්ට අත්විඳින්නට සිදු වී ඇති ඛේදනීය ඉරණම සම්බන්ධයෙන් අකුරක් නෑර දමිත්ට පැවසීමට උමයංගනා කටයුතු කළේ ඔහුගෙන් ඒ සඳහා කිසියම් පිළිසරණක් ද බලාපොරොත්තුවෙමින් ය.

‘‘අනේ තාත්තී….. මට දැන් මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ. මේ පාහරයා මටයි දරුවො තුන්දෙනාටයි පුදුම ගින්දරක් දෙන්නේ. මං මේ මිනිහගෙන් හැමදාම ගුටිකනවා. ඌට කුඩුගහලා මත්වුණාට පස්සේ මගෙත් එක්ක ඉන්න ඕනෙලූ. ඒ වෙලාවට ඌ හැසිරෙන්නෙ තිරිසනෙක් වගේ. මට දැන් මේ ජීවිතේ තිත්ත වෙලා…’’

උමයංගනා තමන්ගෙ පෞද්ගලික ජීවිතේ සිද්ධවෙන හැම දෙයක්ම දමිත් හමුවේ කියා සිටියාය.

‘‘ඔයා බයවෙන්නෙ නැතිව ඉන්න. අපි මේකට මොනවහරි කරමු. මටත් දුකයි ඔයා ගැන. ඔයා මෙහෙම දුක්විඳින්න ඕන කෙනෙක් නෙවෙයි.’’

කෝප‍්‍රල් දමිත් උමයංගනාගේ සිත සැනසුවාය. දමිත් නිතර නිතර උමයංගනාට ඇමතුම් ලබා දුන්නේය. රාජකාරි වෙලාවේ පමණක් නොව නිවසේ සිටින රාත‍්‍රි කාලයේදී පවා දමිත් ඇයට ඇමතුම් ලබා දුන්නේ ඇගේ සුවදුක් විමසමින් ය. කෙසේ හෝ අවසානයේ අකිල සම්පත්ට තම බිරිඳ උමයංගනාගේ තහනම් පේ‍්‍රමය ගැන ඉව වැටුණේය.

‘‘මොකාද උඹට ඔය උදේ හිටන් ? වෙනකල් කෝල් දෙන්නේ. උඹ දැනගනින් මම උඹේ කසාද මිනිහ. මම දැන් වෙන ගෑනු පස්සෙ යන්නෙ නැහැ. මට උඹ විතරයි ඕනෙ. මට ඕනෙ හැම දෙයක්ම උඹ දෙන්න ඕනෙ. උඹ වෙන උන් පස්සෙ ගිහින් අහුඋනොත් මං උඹව මරනවා.’’

අකිල සම්පත් මේ ගැන කියමින් උමයංගනාට ඉතාම සාහසික ලෙස පහර දෙන්නටත් හිංසා කරන්නටත් පටන් ගත්තේය. අන්තිමේදී ඇය සිය දරු තිදෙනා ද සමඟ උස්වැටකෙයියාවේ මහ ගෙදර පදිංචියට ගියේ අකිල සම්පත්ගෙන් බේරුමක් නැති තැනය. එහෙත් ඇයට ගැලවීමක් නැත. මත්ද්‍රව්‍ය පානය කර කාමුක ආශාවන් උත්සන්න වූ තැන අකිල සම්පත් උමයංගනා හොයාගෙන මහගෙදරට ආවේය. ඇය බලහත්කාරයෙන් රැගෙන ගොස් තම ශරීර අවශ්‍යතාවන් ඉටුකර ගන්නට අකිල සම්පත් කටයුතු කළේය. උමයංගනාට අත්විඳින්නට සිදුවන සියලූ කෙනෙහිලිකම් කෝප‍්‍රල් දමිත් දැන සිටියේය. අනේ තාත්ති ඊයෙත් අර මිනිහ මට හොඳටම ගැහුවා. අපේ සම්බන්ධය ගැන මිනිහා දැනගෙන ඉන්නේ. මේක නතර නොකළොත් මාවත් මරලා ඌත් සියදිවි හානි කර ගන්නව කියලා තර්ජනය කළා. උමයංගනා ඒ වන විට තම එකම ගැලවුම්කාරයා බවට පත්ව සිටින කෝප‍්‍රල් දමිත්ට සියලූ දේ කීවාය. අකිල සම්පත් විනාශකර දැමීමට කටයුතු නොකළොත් ඊට පෙර ඔහු උමයංගනා මරාදමනු නිසැක බව කෝප‍්‍රල් දමිත් ඒ වන විට තේරුම් ගෙන සිටියේය. දමිත් මට්ටක්කුලිය කඳවුරේ ඉහළ නිලධාරියකු හමුවට ගොස් අකිල සම්පත් පිළිබඳව වැරදි චිත‍්‍රයක් පෙන්වීමට කටයුතු කළේය.

‘‘සර්…. ඔය අකිල සම්පත් කියන එකා පාතාලෙ වැඩකාරයෙක්. මහා පරිමාණයෙන් කුඩු බිස්නස් කරනවා. මුළු පළාතටම මිනිහා මහා පිළිලයක් වෙලා ඉන්නෙ. මිනිහට මොනවහරි කරලා දැම්මෙ නැත්නම් ලොකු විනාශයක් වෙන්න පුළුවන්.’’

කෝප‍්‍රල් තමා හිතවත් ඉහළ නිලධාරියාට අකිල සම්පත් පිළිබඳව නිතර නිතර කියන්නට වුණේය.

‘‘ඒ වගේ චරිතයක් නම් මිනිහව අපි අයින් කරලා දාමු. ඒක මුළු සමාජයටම කරන හොඳක් වෙයි.’’

කඳවුරේ උසස් නිලධාරියාගෙන් තමන්ට අවශ්‍ය නියෝගය ලබා ගැනීමට කෝප‍්‍රල් දමිත්ට අවස්ථාව ලැබුණේය. මේ අතර අකිල සම්පත් සහ උමයංගනා අතර ආරවුල් තව තවත් උග‍්‍ර අතට හැරුණේය. තමන් මරා දමනු ඇති බවට සැකපහළ වූ නිසා ඇය අකිල සම්පත්ගෙන් බේරීමට මහනුවර වෙල්ලම්බඩ ප‍්‍රදේශයේ හිතවතකුගේ නිවසට යන්නේ දරු තිදෙනාද සමඟය.

‘‘අනේ තාත්ති මට නම් තවත් ඔහෙ ඉන්න බැහැ. අර මිනිහා මාව මරන්න හොයනවා.’’

උමයංගනා කෝප‍්‍රල් දමිත්ට කීවාය.

‘‘ඔයා බයවෙන්න එපා. අපි මිනිහව අයින් කරලා දානන ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. ඔයා කලබල වෙන්න එපා. ආපහු ගෙදර එන්න. අපි මේ වැඬේ ඉවරයක් කරලා දාමු.’’ කෝප‍්‍රල් දමිත් උමයංගනාට කීවේය.

‘‘අනේ ඒක ලොකු දෙයක්. අපි හෙටම ඔය පාහරයව ඉවරයක් කරලා දාමු. මට සැනසිල්ලෙ ඉන්න ඕනෙ. මේ දරුවො තුන්දෙනා ලොකු මහත් කරන්න ඕනෙ. මං හෙටම ආපහු එන්නම්.’’

කෝප‍්‍රල් දමිත්ගේ උපදෙස් මත පසුදාම උමයංගනා ආපහු උස්වැටකෙයියාවේ මහගෙදරට ආවාය.

‘‘අපි හෙට මිනිහව උස්සනවා. ඔයා අපිට පොඩි වැඩක් කරලා දෙන්න ඕනෙ. මිනිහව අපිට මට්ටක්කුලියට ගෙන්නලා දෙන්න ඕනෙ.’’

කෝප‍්‍රල් දමිත් උමයංගනාට කීවේය. ඒ වන විට අකිල සම්පත් පැහැරගෙන යෑමට වෑන් රථයක් ද දමිත් සූදානම් කරගෙන සිටියේය. අකිල සම්පත් මරා දැමීම සඳහා කඳවුරේ තවත් සෙබළුන් පස්දෙනකු ද සම්බන්ධ කරගෙන සිටියේ උසස් නිලධාරියාගෙන් ලද උපදෙස් සහ නියෝග අනුවය. උමයංගනා ආපසු උස්වැටකෙයියාවේ මහගෙදරට පැමිණ සිටින බවට ලැබුණු තොරතුරක් මත අකිල සම්පත් ඇයට ඇමතුමක් ලබා දුන්නේය.

‘‘උඹ එක එකා එක්ක ලැගලා ඉඳලා ආවද. උඹට මා එක්ක තමයි ඉන්න බැරි. හතර වටේම උන් එක්ක උඹ නටන නාඩගම් මම දන්නෙ නැහැ කියලා හිතුවද? මට උඹව හම්බවෙන්න ඕනෙ.’’ අකිල සම්පත් උමයංගනාට දුරකථනයෙන් කතා කර තර්ජනය කළේය.

‘‘හරි තමුසෙ හෙට එනවා මට්ටක්කුලියෙ මගෙ ඔෆිස් එකට. අපි මේක දෙකින් එකක් ඉවර කරගමු.’’

උමයංගනා අකිල සම්පත්ට පසුදින තම කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම් දුන්නේ කෝප‍්‍රල් දමිත්ගේ උපදෙස් මතය. පසුදින එනම් අගෝස්තු 17 වැනිදා පෙරවරු 11.00ට පමණ අකිල සම්පත් මට්ටක්කුලියේ පිහිටි උමයංගනාගේ කාර්යාලය වෙත යන්නේ යතුරුපැදියෙන්ය. ඒ වන විට උමයංගනා කාර්යාලයේ සිටියේ නැත.

‘‘කෝ නෝනා ඉන්නවද එයා කොහෙද ගියේ?’’

අකිල සම්පත් කාර්යාලයේ සිටි තරුණියන්ගෙන් විමසුවාය. උමයංගනා තම රාජකාරි කර ගැනීම සඳහා ප‍්‍රදේශයේ ළාබාල තරුණියන් කීපදෙනකු තම කාර්යාලයේ රඳවාගෙන සිටියාය.

‘‘නෝනා කොහෙද ගියා. පරක්කු වෙනවා කිව්වා ආපහු එන්න. කාර්යාලයේ සිටි තරුණියක කීවාය. ඒ වන විට කෝප‍්‍රල් දමිත් ඇතුළු හමුදා කණ්ඩායම උමයංගනාගේ කාර්යාලය අසල රැකවල්ලාගෙන සිටියහ.

කිසිම කලබලයකින් තොරව අකිල සම්පත් අසලට පැමිණි කෝප‍්‍රල් දමිත් ඇතුළු හමුදා සෙබළුන් ඔහුව වෑන් රථයට නංවා ගත්හ.

‘‘අපිට උඹෙන් ප‍්‍රශ්න කරන්න තියෙනවා. උඹ ඩ‍්‍රග් ඞීල් එකේ ඉන්නවා කියලා අපට තොරතුරු තියෙනවා. ඒ නිසා කලබල නොකර වෑන් එකට නැගපං. කෝප‍්‍රල් දමිත්ගේ නියෝගවලට කන් දුන් අකිල සම්පත් කිසිම කලබලයකින් තොරව වෑන් රථයට ගොඩවුණේය. වෑන් රථයේ සිටි නිලධාරීන් කීපදෙනෙකු කොරෝනා මර්දන නිලධාරීන් අඳින සෞඛ්‍ය ආරක්‍ෂිත කබාවලින් සැරසී සිටියහ. අකිල සම්පත්ගේ යතුරුපැදියට නැගුණු එක් සොල්දාදුවකු එය මට්ටක්කුලිය කඳවුර වෙත ගෙන ගොස් දැමුවේ කෝප‍්‍රල් දමිත්ගේ උපදෙස් මතය.

අකිල සම්පත් පැහැරගත් හමුදා කණ්ඩායම කොළඹ නගරයේ ස්ථාන කීපයක් වෙත ගොස් අවසානයේ මාදම්පිටිය ප‍්‍රදේශයේ කැලෑවක් වෙත ගියහ.

අකිල සම්පත් පැහැරගත් ස්ථානයේ සිට සියලූ තොරතුරු කඳවුරේ සිටින තම උසස් නිලධාරියා වෙත ලබා දෙන්නට කෝප‍්‍රල් දමිත් අමතක කළේ නැත. ඕකව දැම්මම මරන්න එපා. ?වෙනකල් කොහෙහරි තියාගන්න. මං ?වෙලා වාහනයක් එවන්නම්. ?ට ඔය වැඬේ කරලා දාන්න. කඳවුරේ උසස් නිලධාරියාගෙන් ලැබුණේ එවැනි නියෝගයකි. අකිල සම්පත් මරා දැමීම පිටුපස ඇත්තේ පෞද්ගලික වුවමනාවක් බව දැන සිටියේ කෝප‍්‍රල් දමිත් පමණි. අකිල සම්පත් පැහැර ගැනීමට පැමිණි සෙබළුන් සිතා සිටියේ පාතාලයට සම්බන්ධ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු රැගෙන ගොස් මරා දැමීමට සැලසුම් කර ඇතැයි කියාය.

අකිල සම්පත් මාදම්පිටිය ප‍්‍රදේශයේ ජනශූන්‍ය කැලෑවකට රැගෙන ගිය හමුදා පිරිස ඔහුගේ දෑත් දෙපා ගැටගසා රාත‍්‍රිය වනතුරු එහි රඳවා තැබුවේය. 17 වැනිදා රාත‍්‍රියේ කඳවුරේ උසස් නිලධාරියා වෑන් රථයක් මාදම්පිටිය ප‍්‍රදේශයට එවා තිබුණේ අකිල සම්පත්ගේ අවසන් කටයුතු කිරීම සඳහාය.
මාරයා තම අබිමුවට පැමිණ දත් විළිස්සාගෙන සිටින බව අකිල සම්පත් දැන සිටියේය. කෝප‍්‍රල් දමිත් එක් අවස්ථාවක සිය ජංගම දුරකථනයේ ස්පීකරය ක‍්‍රියාත්මක කර උසස් නිලධාරියාගේ නියෝගය සැමට ඇසෙන්නට සැලැස්සුවේය. අකිල සම්පත්ට ද ඒ නියෝගය හොඳින් ශ‍්‍රවණය වුණේය. ඕක අද රෑට ඉවරයක් කරලා දාන්න. බඬේ ගලක් බැඳලා ගඟට දාන්න. අමතක නොකර ගඟට දාන්න ඉස්සර ඕකගෙ බඩ පළල දාන්න ඕනෙ. එහෙම නොවුනොත් බොඩි එක ගොඩ එනවා. එහෙම උනොත් ප‍්‍රශ්නයක් වෙයි. උසස් නිලධාරියා දුන් නියෝගය සැමටම ඇසෙන්නට සැලැස්වූ කෝප‍්‍රල් දමිත් ඊළඟ කාර්යය සඳහා සූදානම් වුණේය. අකිල සම්පත් මර බියෙන් ගැහෙමින් සිටියේය.

‘‘අනේ බුදු සර් මාව මරන්න එපා. මට ඔය ගෑනිත් එපා. මං මේ පළාතම අතහැරලා දාල කොහෙට හරි යන්නම්. මාව මරන්න එපා.’’ අකිල සම්පත් හමුදා කණ්ඩායම ඉදිරියේ නොවඳිනා වැඳුම් වඳිමින් ජීවිත දානය ඉල්ලා සිටියේය. එහෙත් හදවත් තිබූ එකකුවත් එහි සිටියේ නැත.

අගෝස්තු 17 වැනිදා මධ්‍යම රාත‍්‍රියට ආසන්න වෙමින් තිබුණේය. කෝප‍්‍රල් දමිත්ගේ නියෝග මත සෙබළුන් තිදෙනෙකු ක‍්‍රියාත්මක වූහ. එකකු කොට්ටයක් ගෙන අකිල සම්පත්ගේ මුහුණ තදකරද්දී තවත් දෙදෙනකු ඔහුගේ ගෙල සිරකර ඝාතනය කළහ.

‘‘සර්… වැඬේ ඉවරයි. අපි රෑම මූව අරගෙන ගිහින් සේදවත්තෙ කළු පාලමෙන් පහළට දානවා.’’

කෝප‍්‍රල් දමිත් සිය උසස් නිලධාරියාට කීවේය. ඒ වන විට උසස් නිලධාරියා විසින් එවා තිබූ වෑන් රථයට අකිල සම්පත්ගේ නිසල සිරුර පටවා ගත් හමුදා පිරිස සේදවත්ත කළු පාලම දෙසට ගියහ. එදින මධ්‍යම රාත‍්‍රියේ අකිල සම්පත්ගේ සිරුරේ කළුගල් මල්ලක් එල්ලා එය කැලණි ගඟ පතුලට යැවීමට හමුදා පිරිස කටයුතු කළහ. උසස් නිලධාරියා දුන් එක් නියෝගයක් ක‍්‍රියාත්මක කිරීමට සොල්සාදුවන් කටයුතු කර තිබුණේ නැත. අකිල සම්පත්ගේ සිරුර කැලණි ගඟ පතුලට දැමීමට පෙර උදරය පළා දැමීමට ඔවුන් කටයුතු කළේ නැත. ආධුනික සොල්දාදුවන් වූ ඒ හමුදා සෙබළුන්ට අකිල සම්පත්ගේ උදරය කපා දැමීමට තරම් ආත්ම ශක්තියක් තිබුනේ නැත.

සිය කාර්යය අකුරටම ඉටු කළ හමුදා කණ්ඩායම ආපසු මට්ටක්කුලිය කඳවුර වෙත යන්නේ අකිල සම්පත් සදාකාලිකව කැලණිගඟ පතුලේ නිසලව සිටිනු ඇතැයි කියා සිතාගෙනය. මේ අතර අකිල සම්පත්ගේ යතුරුපැදිය ද මට්ටක්කුලිය කඳවුරේදී කපා කොටස්කර එම කොටස් කැලණි ගෙඟ් ස්ථාන කීපයකදී ගිල්ලවා දැමීමට හමුදා සෙබළුන් පියවර ගත්හ.

අකිල සම්පත්ගේ මරණය සදාකාලික වැළලී යන අබිරහසක් වනු ඇතැයි කියා සිතා සිටිය ද එය සිතුවිල්ලක් පමණක් බවට පත්කරමින් ඔහු නැවතත් මෝදර කාකදූපතෙන් මතුවුණේය. අකිල සම්පත්ගේ අබිරහස් ඝාතනයේ සියල්ල උඩු යටිකුරු වන්නට පටන් ගත්තේ ඔහුගේ සිරුර ගොඩගැසීමෙන් පසුවය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්‍ද්‍රකුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න, පොලිස් අධිකාරි අජිත් අබේවික‍්‍රම යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අකිල සම්පත් ඝාතනයේ විමර්ශන ක‍්‍රියාත්මක කෙරිණි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදුකළ සාකච්ඡුාවකින් පසුව අකිල සම්පත්ගේ ඝාතන විමර්ශන කටයුතු මට්ටක්කුලිය පොලිසියෙන් ඉවත් කර කොළඹ උතුර අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දී තිබුණේය. කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නලින් ප‍්‍රියන්ත, උප පොලිස් පරීක්‍ෂක ජයසිංහ ඇතුළු නිලධාරීන් ඉතාම සූක්‍ෂ්ම ආකාරයට මේ විමර්ශන කටයුතු මෙහෙයවන්නට වූහ. උමයංගනාගේ ජංගම දුරකථන දත්ත පරීක්‍ෂා කළ පොලිස් කණ්ඩායම එක්තරා සැකකටයුතු අංකයක් සොයාගත්හ. ඒ වන විට උමයංගනා සහ අකිල සම්පත් අතර දීර්ඝ කාලයක සිට ආරවුල් පැවති බව පොලිසිය සොයාගෙන තිබුණේය. මේ ඝාතනයට උමයංගනාගේ කිසියම් සම්බන්ධයක් තිබෙනු ඇතැයි කියා පොලිසිය සැක පහළ කළේ එතැන් සිටය. උමයංගනාගේ දුරකථනයේ තිබූ අංකය මට්ටක්කුලිය කඳවුරේ කෝප‍්‍රල් දමිත්ගේ ජංගම දුරකථන අංකය බව පොලිසිය සොයා ගන්නේ විමර්ශන කටයුතු නව මඟකට යොමු කරමින්ය. එහෙත් දමිත් මේ ඝාතනයට සම්බන්ධ වූ බවට කිසිම සාක්‍ෂියක් ඒ වනතුරුත් ඉදිරිපත්ව තිබුණේ නැත. උමයංගනාගේ කාර්යාලයේ රැුකියාව කරන තරුණියන් සිවුදෙනා කැඳවා ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කළේ කිසියම් හෝඩුවාවක් දැන ගැනීමේ අටියෙන්ය. පොලිසියේ උත්සාහය, සැලසුම අවසානයේ සාර්ථක වුණේය.

සර්….. ඔය කෝප‍්‍රල් දමිත් අපේ නෝනා එක්ක සම්බන්ධයක් තියෙනවා. අවුරුදු එකහමාරක විතර ඉඳලා, ඒ දෙන්නා ආශ‍්‍රය කරනවා. අකිල සම්පත් මහත්තයා නෝනාගේ ඔෆිස් එකට ආව දවසේ එයාව වෑන් එකකින් අරගෙන ගියේ කෝප‍්‍රල් දමිත්. උමයංගනාගේ කාර්යාලයේ සේවය කළ එක් තරුණියක් සිදු වූ සියල්ල හෙළිකළාය. පොලිස් කණ්ඩායම උමයංගනා සහ කෝප‍්‍රල් දමිත් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. ඔවුන් වෙන් වෙන් වශයෙන් තබා කළ ප‍්‍රශ්නකිරීම්වලදී සියල්ල හෙළිකර ගැනීමට පොලිසිය සමත් විය. අවසානයේදී අකිල සම්පත් ඝාතනයට සම්බන්ධ වූ මට්ටක්කුලිය කඳවුරේ සෙබළුන් පස්දෙනා ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

කෝප‍්‍රල් දමිත්ගේ වැරදි තොරතුරුවලට අනුව ක‍්‍රියාකර අකිල සම්පත් ඝාතනයට නියෝග දුන් මට්ටක්කුලිය කඳවුරේ උසස් නිලධාරියාද අවසානයේ පොලිසියට කොටු වුණේය. උමයංගනා හා කෝප‍්‍රල් දමිත් ඇතුළු සොල්දාදුවන් කණ්ඩායම සිතා සිටියේ අකිල සම්පත්ගේ මරණය සදාතනිකව වැළලී යන අබිරහසක් වනු ඇතැයි කියාය. එහෙත් අපරාධයක් සිදුකර එය කිසි දිනෙක වසා දැමිය නොහැක.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment