අවුරුදු විස්සකට පස්සේ ආයෙත් සැප්තැම්බර් ප‍්‍රහාරයක්!

371

පළමු ගුවන්යානය  ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන උතුරු කුලූනේ ගැටුණේ උදෑසන 8.46ටයි. ඒ මොහොතේ ජනාධිපතිවරයා සිටියේ ඊට සැතපුම් දහස්  ගණනක් ඈත ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සරසෝටා නම් ප‍්‍රාථමික පාසලක උත්සවයකට සහභාගි වෙමිනි. ජනාධිපතිවරයාට එම පණිවිඩය ලැබුණේ කුඩා ගුවන්යානයක් හදිසි අනතුරට ලක්වී ඇති ලෙසටයි. ඉන් විනාඩි 17කට පසු දෙවැනි ගුවන්යානය එහි දකුණු කුලූනේ  ගැටුණි. ඒ වන තෙක් ඇමෙරිකාවට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවන බව වටහා ගැනීමට බුද්ධි අංශ සමත් නොවීය. ඒ වන විට තවත් ගුවන්යානා දෙකක් ත‍්‍රස්තවාදීන්ගේ පැහැර ගැනීමට ලක්ව ඔවුන්ගේ ඉලක්ක වෙතට ගමන් කරමින් තිබුණි. ඇමෙරිකානු ගුවන් සීමාව මුළුමනින්ම වසා දමා ඉහළ අහසේ තිබූ ගුවන්යානා සියල්ල ආසන්නතම ගුවන් තොටුපළවල් වෙත ගොඩබස්වන ලෙස නියෝග නිකුත් විය.

අවුරුදු විස්සකට පස්සේ ආයෙත් සැප්තැම්බර් ප‍්‍රහාරයක්!

ලෝක ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ත‍්‍රස්තවාදී ක‍්‍රියාව ලෙස සැලකෙන්නේ 9/11 හෙවත් 2001 සැප්තැම්බර් මස 11 දින ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයයි. මෙම ප‍්‍රහාරය සිදුවී පසුගිය සතියට වසර විස්සක් සපිරිණු අතර එයින් මියගිය පිරිස් සිහිකරමින් සැමරුම් උත්සව රාශියක් ලොව පුරා සංවිධානය වී තිබුණි. ලෝක දේශපාලනයේ දිශානතිය බොහෝ සෙයින් වෙනස් කළ මෙම සිදුවීම පිළිබඳව පසුගිය දශක දෙක පුරා අප ඕනෑ තරම් කතාබහ කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයට පමණක් නොව සමස්ත ලෝකයටම ත‍්‍රස්තවාදය පිළිබඳව අලූතින් සිතන්නට සිදුවූයේ මෙම ප‍්‍රහාරය හේතුවෙන් බව අමුතුවෙන් නොකිව මනාය. එතෙක් විමුක්ති සංවිධාන ලෙස බටහිර සම්භාවනාවට පාත‍්‍ර වී තිබූ එල්ටීටීඊ වැනි සංවිධානත් ත‍්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමට මේ සිදුවීම බලපෑවේය.

අවුරුදු විස්සකට පස්සේ ආයෙත් සැප්තැම්බර් ප‍්‍රහාරයක්!

මෙම මහා ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 3000ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇත. තවත් 25000ක් පමණ තුවාල ලදහ. ඇමෙරිකානු ආර්ථිකයේ දැවැන්ත කඩා වැටීමක් සිදුවිය. එකම දිනක එකම හෝරාවක මඟී ගුවන් යානා හතරක් පැහැර ගෙන මෙවැනි බිහිසුණු ප‍්‍රහාරයක් එල්ල කිරීමට අල්කයිඩා ත‍්‍රස්තවාදී ජාලයට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳව තවමත් ඇත්තේ අවසන් නොවුණු සංවාදයකි.

අවුරුදු විස්සකට පස්සේ ආයෙත් සැප්තැම්බර් ප‍්‍රහාරයක්!

ඔවුන් සිදුරු කළේ ලෝක බලවතාගේ හදවතයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් නොව ලෝකයේම වෙළෙඳ අගනගරය වන්නේ නිව්යෝක් නගරයයි. ඇමෙරිකානු ආර්ථිකයේ මර්මස්ථානය වූ මහල් 110කින් යුතු නිව්යෝක්හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලූනු ද්විත්වය බිමට සමතලා කිරීමට ත‍්‍රස්තවාදීන්ට හැකිවිය. ගුවන් යානා දෙකක් එකී කුලූනුවල ගැටීමට සලස්වා හෝරා දෙකක් ගතවන්නටත් මතු මෙකී ගොඩනැගිලි ද්විත්වය කඩාගෙන වැටුණේ ලොව මිලියන ගණන් ජනතාවක් සජීවීව ඒ දෙස බලා සිටියදී ය. තවද ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයේ පදාසයක්ම විනාශ වී ගියේ තෙවැනි ගුවන්යානය ඒ තුළට කඩා වැටීමට සැලැස්වීම නිසාය. ඉලක්කය වැරදී ගිය අවසන් ගුවන් යානය පෙනිසිල්වේනියාවේ කැලෑවකට කඩා වැටුණේ තම ඉරණම කුමක්දැයි අවබෝධ කරගත් එහි ගමන්ගත් මඟී පිරිස ත‍්‍රස්තවාදීන් සමඟ සටන් කිරීම නිසාය. පසුව හෙළි වූ පරිදි මෙම ගුවන් යානයේ ඉලක්කය වී තිබුණේ ජනාධිපතිවරයාගේ නිල නිවාසය වූ වොෂින්ටන්හි ධවල මන්දිරය හෝ කැපිටල් හිල් ගොඩනැගිල්ලයි. එක්සත් ජනපද සෙනට් සභාව හා පාර්ලිමේන්තුව රැස්වන්නේ එකී කැපිටල් හිල් ගොඩනැගිල්ල තුළයි. ඒ අනුව ඇමෙරිකානු ආර්ථික, දේශපාලන හා ආරක්ෂක මර්මස්ථාන තුනම එක මොහොතකින් විනාශ කිරීමට අල්කයිඩා ජාලයට වුවමනා වී තිබුණ බව පැහැදිලිය.

අවුරුදු විස්සකට පස්සේ ආයෙත් සැප්තැම්බර් ප‍්‍රහාරයක්!

එක්සත් ජනපදය හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කරන්නේ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් එහි සැඟව සිටින බවට ලැබුණු වාර්තා නිසාම නොවේ. තම රටට එරෙහි ත‍්‍රස්තවාදී කටයුතු සැලසුම් කරන මධ්‍යස්ථානය එවකට තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ ස්ථාපිත වී තිබූ නිසාය. බින් ලාඩන් පමණක් නොව කලීඞ් ෂෙයික් මොහමඞ් ඇතුළු අල්කයිඩා නායකයන් බහුතරයකට තම ත‍්‍රස්තවාදී කටයුතු සැලසුම් කරමින් සුවසේ රැඳී සිටීමට සුදුසු පරිසරයක් එහි පැවතුණි. කාලිඞ් ෂෙයික් මොහමඞ් යනු කුවේටයේ උපන් පාකිස්තානු ජාතිකයෙකි. සැප්තැම්බර් 11 ප‍්‍රහාරකයේ මහා මොළකරුවා වන්නේ කාලිඞ්ය. සමස්ත ක‍්‍රියාවලිය සැලසුම් කර එය බින් ලාඩන්ගේ අනුමැතියට ඉදිරිපත් කර ඇත්තේ ඔහුය. ඇමෙරිකානු හමුදා විසින් බින් ලාඩන්ව මරා දැමුව ද කලීඞ්ට අත්වූයේ වෙනත් ඉරණමකි. 2003 වසරේදී ඇමෙරිකානු CIA හා පාකිස්තාන ISI බුද්ධි අංශ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් කාලිඞ් පාකිස්තානයේදී අත්අඩංගුවට පත්විය. ගුවන්තනාමෝ ආදී CIA සංවිධානයේ රහස් සිරකඳවුරුවල රඳවා සිටි කාලිඞ් මේ වන විට නීතිය ඉදිරියට පමුණුවා ඇත. ඔහුට ලබාදුන් වද බන්ධන පිළිබඳව ඇමෙරිකානු මානව හිමිකම් සංවිධාන පවා දැඩිව විවේචනය කර ඇත.

එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මහතා ඇෆ්ගනිස්තානයට හමුදා යැවීම සාධාරණීකරණය කළේ එය ලෝක ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කරන අනිවාර්ය අවශ්‍යතාවක් බව පවසමිනි. මේ යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු සෙබළුන් 2420ක් මියගොස් ඇත. ඇෆ්ගනිස්තාන රජයේ හමුදා හා නේටෝ රටවල හමුදා සාමාජිකයන්ගේ මරණ සංඛ්‍යාව 73250 පමණ වෙතැයි පැවසේ. සිවිල් වැසියන් 43319ක් ද තලේබාන්, අල්කයිඩා ඇතුළු ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ගේ මරණ 57000ක් ද ඇතුළුව යුද්ධය නිසා අහිමි වූ සමස්ත ජීවිත සංඛ්‍යාව 212000ක් පමණ වෙතැයි ඇස්තමේන්තු ගතකර ඇත. කෙසේ නමුත් 9/11 ප‍්‍රහාරයට වසර විස්සක් සපිරෙන මොහොතේ ඇමෙරිකානු හමුදා තම දීර්ඝකාලීන යුද්ධය නිමාකර සියරට පැමිණ සිටී. එසේ ඉවත් වීමට ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ගත් හදිසි හා ආන්දෝලනාත්මක තීරණය හේතුවෙන් පසුගිය සති කිහිපය පුරා ගෝලීය දේශපාලනය උණුසුම් වී තිබුණි. මේ වන විට වසර විස්සකට පෙර බලයෙන් පහ වූ තලේබාන් සංවිධානය නැවත ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන ඇත. එබැවින් තම ජනාධිපතිවරයාගේ මෙම තීරණය පිළිබඳව ඇමෙරිකානුවන් තුළ පවා ඇත්තේ ව්‍යාකූල මානසිකත්වයකි.

නමුත් විශේෂත්වය වන්නේ සැප්තැම්බර් 11 සිද්ධියට පසු ඇමෙරිකානුවන්ට එරෙහිව සැලකිය යුතු මට්ටමේ ප‍්‍රහාරයක් එක්සත් ජනපද දේශසීමාව තුළ හෝ ඉන්පිටතදී හෝ එල්ල කිරීමට කිසිවෙකුට නොහැකි වීමයි. ඇෆ්ගනිස්තානයෙන් තම හමුදා මුළුමනින්ම ඉවත්කර ගත් පසුගිය අගෝස්තු 30 වැනිදා බයිඩන් මහතා විශේෂ ප‍්‍රකාශයක් කළේය. එක්සත් ජනපදයට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා තවදුරටත් ඇෆ්ගනිස්තානය භාවිතා කිරීමට කිසිවෙකුට නොහැකි බව තමන්ට සහතික කළ හැකි යැයි ඔහු එහිදී කියා සිටියේය. එය එසේ වුවද 9/11 ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ කොමිෂන් සභා වාර්තා අනුව ඇමෙරිකානු ආරක්ෂක හා බුද්ධි අංශවල පැහැදිලි අඩුපාඩු රැුසක් හෙළිකර ගැනීමට හැකිවිය. මීට අමතරව ඇමෙරිකානු ජනමාධ්‍යද තවමත් මේ පිළිබඳව

ගවේෂණාත්මකව කරුණු ඉදිරිපත් කරමින් සිටී. බොහෝ විමර්ශන තුළින් අනාවරණය වූයේ ආරක්ෂාව සම්බන්ධ ආයතන තනි තනිව කටයුතු කිරීම නිසා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව කලින් දැනගැනීමට නොහැකි වූ බවයි. බුද්ධි හා විමර්ශන කටයුතු සම්බන්ධ ආයතන දාහතරක් (14* ඇතිමුත් ඒවා අතර නිසි සම්බන්ධීකරණයක් තිබී නැත. ලැබුණු තොරතුරු පවා විශ්ලේෂණය කර ඒ පිළිබඳව තක්සේරු කිරීමක් සිදුවී නොමැත.

සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට පෙර 1993 වසරේදී ද ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බෝම්බ පිපිරීමක් සිදුව තිබුණි. එයින් අති විශාල හානියක් නොවූවද එකී අපරාධකරුවන් සමඟ කාලිඞ් ෂෙයික් මොහමඞ්ගේ සම්බන්ධයක් ඇති බව සොයා ගැනීමට ෆ‍්‍රෑන්ක් පෙලෙග‍්‍රිනෝ නම් FBI නිලධාරියකු සමත්විය. බෝම්බකරුවකුගේ බැංකු ගිණුමකට මුදල් තැන්පත් කළ අයගේ නම් අතර කාලිඞ්ගේ නම ද සඳහන් විය. තවද ශාන්තිකර සාගරයට ඉහළින් ගමන්කරන මඟී ගුවන්යානා කිහිපයක් එකවර පුපුරා දැමීමට කාලිඞ් විසින් කරන ලද සැලසුමක් අනාවරණය කරගැනීමට ද පෙලෙග‍්‍රිනෝට හැකිවිය. පෙලෙග‍්‍රිනෝ දිගින් දිගටම කාලිඞ් සොයා ගැනීමට වෙහෙසුණු අතර අවසානයේ සැකකරු කටාර් රාජ්‍යයේ සිටින බවට තොරතුරු වාර්තා විය. නමුත් රහසිගත ගුවන්යානයක් සූදානම් කර කාලිඞ්ව රැගෙන ඒමට ගිය පෙලෙග‍්‍රිනෝ ඇතුළු FBI කණ්ඩායමට කටාර්හි ඇමෙරිකානු තානාපතිවරයා හරස්විය. ඔහු කීවේ එවැනි අත්අඩංගුවට ගැනීමක් හේතුවෙන් තම රටේ රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පළුදු විය හැකි බවයි.

තවද ජූනි මාසයේ දිනක නිව්ජර්සි නගරයේ සුපිරි වෙළෙඳසලකට පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි ඇති තැපැල් පෙට්ටි දෙකක් තාවකාලිකව කුලියට ගත් බව වාර්තා විය. නියමිත ලිපිනයක් නොමැති පුද්ගලයන් සඳහා වෙන් කරන මෙම තැපැල් පෙට්ටි හිතූමතේ ලබාගත නොහැක. ඒ සඳහා ක‍්‍රමවේදයක් ඇත. වෙළඳසලේ සේවකයෙකුට විශාල මුදලක් ලබා දී සැප්තැම්බර් අග දක්වා මේවා වෙන්කර ගෙන තිබුණේ නිව්යෝක් ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් දෙදෙනෙකි. ඒ හරහා චෙක්පත් හා ලිපි ආදිය ගෙන්වා ගැනීමට ඔවුන් කටයුතු කර තිබුණි. මීට අමතරව ප‍්‍රහාරයට සතියකට පමණ පෙර සමහර පුරවැසියන්ගේ නමට මාරාන්තික ඇන්ත‍්‍රැක්ස් බැක්ටීරියාව අඩංගු ලිපි ලැබී තිබුණි. ඒවා ලැබුණේ කාගෙන්දැයි සඳහන් නොවුණත් කිහිප දෙනකු රෝගී වී මියගොස් තිබුණි. තවද ගුවන් නියමු අභ්‍යාස ආයතනයකට මුදල් ගෙවා ගුවන්යානා පැදවීම පුහුණු වූ සැක කටයුතු පුද්ගලයන් කිහිපදෙනකු පිළිබඳව ද වාර්තා වී තිබුණි. ප‍්‍රහාර මාලාවට සම්බන්ධ පළමු ගුවන්යානය ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන උතුරු කුලූනේ ගැටුණේ උදෑසන 8.46ටයි. ඒ මොහොතේ ජනාධිපතිවරයා සිටියේ ඊට සැතපුම් දහස් ගණනක් ඈත ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සරසෝටා නම් ප‍්‍රාථමික පාසලක උත්සවයකට සහභාගි වෙමිනි. ජනාධිපතිවරයාට එම පණිවිඩය ලැබුණේ කුඩා ගුවන්යානයක් හදිසි අනතුරට ලක්වී ඇති ලෙසටයි. ඉන් විනාඩි 17කට පසු දෙවැනි ගුවන්යානය එහි දකුණු කුලූනේ ගැටුණි. ඒ වන තෙක් ඇමෙරිකාවට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවන බව වටහා ගැනීමට බුද්ධි අංශ සමත් නොවීය. ඒ වන විට තවත් ගුවන්යානා දෙකක් ත‍්‍රස්තවාදීන්ගේ පැහැර ගැනීමට ලක්ව ඔවුන්ගේ ඉලක්ක වෙතට ගමන් කරමින් තිබුණි. ඇමෙරිකානු ගුවන් සීමාව මුළුමනින්ම වසා දමා ඉහළ අහසේ තිබූ ගුවන්යානා සියල්ල ආසන්නතම ගුවන් තොටුපළවල් වෙත ගොඩබස්වන ලෙස නියෝග නිකුත් විය. ඒ තීරණය ගනු ලබන්නේ තුන් වැනි ගුවන් යානය පෙන්ටගනයට කඩා වැටීමෙනුත් අනතුරුවය. තත්ත්වයේ බරපතළකම වටහා ගත් බුෂ් මහතා ඕනෑම ගුවන් යානයක් වෙඩිතබා බිම හෙළීමට අවසරය ලබාදුන්නේය. අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වසා දැමුණි. සිව්වන ගුවන්යානය පෙනිසිල්වේනියාවේ කැලෑබද ප‍්‍රදේශයකට කඩා වැටුණේ එවැනි වෙඩිතැබීමකින් නොව තම ඉරණම අවබෝධ කරගත් මඟීන් ත‍්‍රස්තවාදීන් සමඟ සටන් කිරීම නිසාය. තවද පළමු ගුවන් යානය පැහැර ගත් වහාම ඒ බව ගුවන් පාලක මැදිරියට වාර්තා කිරීමට එම යානයේ ගමන්ගත් ගුවන් සේවිකාවක් විසින් කටයුතු කර තිබුණි. තොරතුරු ලැබෙද්දී ඒවා නිසි පරිදි සන්නිවේදනය නොවීමත් ඒ ඒ ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැති වීමත් බරපතළ අඩුපාඩුවකි. ඒ නිසා මෙවැනි ඛේදවාචයක් වළක්වා ගැනීමට තිබූ අවස්ථා ගිලිහී ගොස් ඇති බව කොමිෂන් සභා වාර්තාවල දැක්වේ.

කෙසේ වෙතත් අල්කයිඩා ත‍්‍රස්ත ජාලයට උඩගෙඩි දුන්නා යැයි චෝදනා ලැබූ ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය දින කිහිපයකින් පෙරළා දැමීමට එක්සත් ජනපද හමුදාවන්ට පසුව හැකිවිය. එමතු ද නොව ලෝක ත‍්‍රස්තවාදයට එරෙහිව තම හමුදා මෙහෙයවීම උදෙසා බුෂ් මහතාට අසීමිත ජනතා සහයෝගයක් හිමිවිය. බුද්ධි අංශ ප‍්‍රතිසංස්කරණයට ලක්විය. වෙන් වෙන්ව කටයුතු කළ බුද්ධි ඒකක අතර මනා සම්බන්ධීකරණයක් ඇතිවිය. විශේෂයෙන් CIA හා FBI ආයතන එක්ව කටයුතු කරන්නට පෙළඹිණි. තවත් එවැනි ප‍්‍රහාරයකට ඉඩ නොතබා ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම, ප‍්‍රශ්න කිරීම හෝ විනාශ කිරීමට හැකියාව ලැබුණි. නව ආරක්ෂක ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සැලසුම් කළ අල්කයිඩා ජාලය බොහෝ සෙයින් අක‍්‍රියකර දැමීමට එක්සත් ජනපදයට හැකි වූ බවට සැකයක් නැත. ප‍්‍රහාරයට පසු ගන්නා ලද උපායමාර්ගික තීරණයක් වූයේ සතුරා නිවසට පැමිණෙන තෙක් නොසිට ඔහුව ලූහුබැඳ යෑමයි. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ පමණක් නොව පාකිස්තානය, සිරියාව, ඉරාකය, යේමනය, සෝමාලියාව හා පිලිපීනය යන රටවල පවා ත‍්‍රස්තවාදී බලකොටුවලට පහර දීමට ඇමෙරිකානු හමුදා කටයුතු කළහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජනපද භූමිය විදේශ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන්ගෙන් තොර කලාපයක් ලෙස පවත්වාගැනීමට ඔවුන්ට හැකිවී ඇත. විශේෂත්වය වන්නේ මේ කිසිවකින් ඇමෙරිකානු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවීමයි.

ගෝලීය වශයෙන් ගතහොත් ලොව පුරා ගුවන්තොටුපළවල ආරක්ෂාව සඳහා විශේෂිත තාක්ෂණික මෙවලම් භාවිතයට පැමුණුනි. ෂබඑැරචදක හෙවත් ජාත්‍යන්තර පොලිසිය හරහා ත‍්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු රාජ්‍යයන් අතර හුවමාරුකර  ගැනීමේ කටයුතු ආරම්භ විය. ලොව පුරා බොහෝ ත‍්‍රස්තවාදී සංවිධාන තහනම් විය.

කෙසේ නමුත් ගුවන්තනාමෝ වැනි රහසිගත සිරකඳවුරු පවත්වා ගැනීම පිළිබඳව ඇමෙරිකාව මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්ව ඇත. අත්අඩංගුවට ගන්නා ත‍්‍රස්තවාදී සැකකරුවන් මේ කඳවුරු තුළදී දැඩි වධබන්ධනයට ලක් කරමින් ප‍්‍රශ්න කරන බවට ඔවුහු චෝදනා කරති. මේ පිළිබඳව විකල්ප අදහස් දක්වන්නන් පෙන්වා දෙන්නේ සිවිල් උසාවි තුළ දරුණු ගණයේ ත‍්‍රස්තවාදීන්

සියගණනක් ප‍්‍රශ්න කිරීම ප‍්‍රායෝගික නොවන බවයි. විවිධ රාජ්‍යයන්ගේ අනුග‍්‍රහය ලබන ජිහාඞ් ත‍්‍රස්තවාදීන් තමන්ගේ ඊළඟ සැලසුම් පිළිබඳව සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුට හෙළි නොකරන බව ඔවුන්ගේ මතයයි.

සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු එක්සත් ජනපද ජනාධිපතිවරුන් සිව් දෙනකු බලයට පත් වී ඇත. රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු වූ බුෂ් මහතාගෙන් පසුව බලයට පත්වූයේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ බැරැුක් ඔබාමා මහතාය. නමුත් ත‍්‍රස්තවාදයට එරෙහිව බුෂ් පරිපාලනය ගෙන ගිය ප‍්‍රතිපත්ති එලෙසම පවත්වා ගැනීමට ඔහු කටයුතු කළේය. ඔසාමා බින් ලාඩන් පාකිස්තානයේ ඇබොට්ටාබාද්හි ආරක්ෂිත නිවාසයක රැඳී සිටියදී මරා දැමුවේ ඔබාමා යුගයේදීය. ඔබාමා වැඩි කැමැත්තක් දැක්වූයේ ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරනවාට වඩා ඔවුන්ව ඩ්‍රෝන ප‍්‍රහාර වලින් දුර සිට විනාශ කිරීමට බව පැවසේ. මේ වන විට ගුවන්තනාමෝ කඳවුරේ රඳවා සිටි වැඩි දෙනකු නිදහස් කර ඇත. එසේ නිදහස් කරන ලද සමහර පුද්ගලයන් දැන් තලේබාන් නායකයන් වන නිසා ඔවුන් මෙට්ටය මත තැබීමට හැකිවේද යන්න සැක සහිතය.

ඔබාමා පරිපාලනය යටතේ ගත් තීරණයක් අනුව 2011 දී ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා ඉවත්කර ගැණුනි. අයිඑස් ත‍්‍රස්තවාදීන්ට ඉස්ලාම් කැලිපේතයක් ප‍්‍රකාශයට පත්කර ගැනීමට එම තීරණය හේතු වූ බවත් ඉරාක හා සිරියානු කලාපයේ බලවත් වීමට පාර කැපූ බවත් චෝදනා කරමින් රිපබ්ලිකන් පක්ෂය එකී තීරණය විවේචනය කරයි. අල්කයිඩා ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණු හා අමානුෂික මූලධර්මවාදීන් වූ අයිඑස් සංවිධානයෙන් බැග්ඩෑඞ් නගරය බේරාගැනීමට ඉරාකය වෙත නැවතත් ඇමෙරිකානු සෙබළුන් යැවීමට ඔබාමා මහතාට සිදුවිය. ඇෆ්ගනිස්තානය තුළද එවැන්නක් සිදුවීමට ඇති ඉඩකඩ බැහැරකළ නොහැකිය. නමුත් තලේබාන් සංවිධානය හා අයිඑස් සංවිධානය අතර ඇති දැවැන්ත ප‍්‍රතිවිරෝධතා නිසා නුදුරේදීම එවැනි වාතාවරණයක් උදාවේයැයි කිව නොහැක. අයිඑස් සංවිධානයයේ අරමුණ ලෝක ව්‍යාප්ත තනි ඉස්ලාම් රාජ්‍යයක් හෙවත් කැලිපේතයකි. තලේබාන් සංවිධානයේ අරමුණ ඇෆ්ගනිස්තානය තුළ පමණක් ක‍්‍රියාත්මක ඉස්ලාම් එමිරේටයකි. එය ඔවුන් විසින් දැනටමත් ප‍්‍රකාශයට පත්කර ඇත.

කෙසේ නමුත් තලේබාන් සංවිධානය හා අල්කයිඩා සංවිධානය අතර ඇති සහෝදර බැඳීමට නම් තවම ඒ තරම් හානියක් වී නොමැත. ඇෆ්ගනිස්තානයෙන් එක්සත් ජනපද හමුදා ඉවත් වී යෑමත් සමඟ මේ සම්බන්ධතා අලූත් වටයකින් වර්ධනය වී ඇති බව වාර්තා වෙයි. ජිහාඞ්වාදීන්ගේ සමාජ මාධ්‍ය තුළ දැනටමත් කතාබහ වන්නේ ඇමෙරිකානුවන් පරාජය වී ඇති බැවින් දැන් ඔවුන්ව නිවසේදී ලූහුබැඳ යා හැකි බවයි. ඉස්ලාම් අන්තවාදී සන්නද්ධ සංවිධාන අතර දැඩි මතවාදී පරස්පරතා තිබුණත් පොදුවේ ගත්කල පසුගිය මාස කිහිපයේදී ජිහාඞ් මතවාදය පෝෂණය වී ඇති බව පැහැදිලිය.

සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ වගකිව යුත්තන් සොයා ඇෆ්ගනිස්තානයට පැමිණි ඇමෙරිකානු හමුදා මේ වන විට ඉවත්ව ගොස් ඇති වටපිටාවක ප‍්‍රහාරයේ විසි වැනි සංවත්සරය හුදෙක් එහි වින්දිතයන් අනුස්මරණය කිරීමක් ලෙස පමණක් සැලකිය නොහැක. ප‍්‍රහාරයට පසුව ගලාගෙන ආ ගෝලීය දේශපාලන ක‍්‍රියාදාමය මේ වන විට උඩු යටිකුරු වී ඇත්තේ සතුරා කවුද මිතුරා කවුද යන්න පවා හඳුනාගත නොහැකි ලෙසයි.

විදේශ රාජ්‍යයන් කෙරෙහි ඇමෙරිකාවේ මැදිහත් වීම විවාදාසම්පන්න වුවද 9/11 මහා විනාශයෙන් පසුව උගත් පාඩම් ක‍්‍රියාවෙහි නැංවීමෙහිලා ඇමෙරිකානුවන් ජාතියක් ලෙස එක්සත් වූ බව කිව යුතුය. නමුත් අන්තවාදී ආගමික කල්ලි රජ කරන රටවල් තව තවත් වලපල්ලට ගොස් ඇත. කාල් මාක්ස් වරක් කියා ඇති පරිදි ඉතිහාසය පළමුව ඛේදවාචකයක් ලෙසත් දෙවනුව විගඩමක් ලෙසත් ප‍්‍රතිනිර්මාණය වෙයි. එකිනෙකට වෙනස් ආකාරයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලින් දීර්ඝ කාලයක් තිස්සේ බැට කෑ අප රට වුවද ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගතහොත් නැවත එය ප‍්‍රතිනිර්මාණය වන්නේ විගඩමක් ලෙස බව කිව හැකිය.

*  ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment