ව්‍යාපාරිකයකු අන්දා ලක්‍ෂ 84කට විද්ද නයිජීරියානුවා සහ ලාංකික තරුණිය දැලේ

587

නයිජීරියානුවා ධනවතුන් රවටා මීට පෙරත් කෝටි ගණන් ගරලා

මෙරට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක හිමිකරුවකු සමඟ ව්‍යාපාරයක් ආරම්භ කරන බව කියමින් එම ව්‍යාපාරිකයා රවටා රුපියල් අසූහතර ලක්‍ෂයක් වංචා කළ බව කියන නයිජීරියානු ජාතිකයකු සහ ශ්‍රී ලාංකික තරුණියක කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

පොල්තෙල් අපනයනය කරන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යැයි පවසමින් මෙම සැකකරුවන් අදාළ ව්‍යාපාරිකයා රවටා මෙසේ මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. මොවුන් මීගමුව ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගත් අතර සැකකාර නයිජීරියානු ජාතිකයා සතුව තිබී හෙරොයින් සහ ජංගම දුරකථන 06 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාර නයිජීරියානු ජාතිකයා මෙරට ධනවත් ව්‍යාපාරිකයන් රැසක් මේ ආකාරයට රවටා කෝටි ගණනින් මුදල් වංචා කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

තම කීර්තිනාමයට හානි වන නිසා බොහෝ ව්‍යාපාරිකයන් පාඩුව විඳදරාගෙන පොලිසියට පැමිණිලි නොකර සිටින බවද වාර්තා වෙයි.

සැකකාර නයිජීරියානු ජාතිකයා 2018 වර්ෂයේද මහාපරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකි. මොහු වසර 06 කට ආසන්න කාලයක් තිස්සේ මෙරට වාසය කිරීමට වීසා බලපත්‍ර හෝ ලබාගෙන සිට නැති බවද හෙළිවී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ඇන්සල් ද සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment