වාහන ආනයනයට දැන්ම අවසර දෙන්න බෑ-ඇමැති සියඹලාපිටිය

205

පවතින තත්ත්වය හමුවේ වාහන ආනයනයට මේ මොහොතේ අවසර දිය නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

රජය තවදුරටත් භාණ්ඩ 900ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අවධානයකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බව ද රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (16දා) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

අද ඩොලරයේ මිල තීරණය වන්නේ ඊට ඇති ඉල්ලුම සැපයුම මතයි. නමුත් මීට පෙර අපි සතුව තිබුණු සංචිත මුදා හරිමින් ඩොලරය පාලන කිරීමට උත්සාහ කළා. අද ඉල්ලුම සහ සැපයුම මත ඩොලරයේ අගය තීරණය කරලා තියෙනවා. රුපියල් 360ට ඉහළ ගිය ඩොලරයේ අගය පහළ බැස්සේ ඩොලර් ලැබෙන මාර්ග වර්ධනය වුණ නිසයි. සංචාරක කර්මාන්තය වර්ධනය වුණා. විදේශයන්වල සිටින අපේ සහෝදරයන් එවන ප්‍රේෂණ වැඩි වුණා. ඒ වගේම ඩොලර් පිටතට ඇදී යන ආනයනයන් සීමා කළා. නමුත් පහුගිය සතියේ දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් මිල දී ගන්න ඩොලර් මිලියන 75ක් 80ක් පමණ අවශ්‍ය වුණා. මෙම මුදල මහ බැංකුව මිල දී ගත්තා. ඒ නිසා ඩොලරයේ අගය යළිත් ඉහළ යෑමේ තත්ත්වයත් උදා වුණා. ඒ වෙලාවෙ ඩොලර් මගින් ආයෝජනය කරන පාර්ශ්ව ඩොලරය ඉහළ යයි කියන අපේක්ෂාව මත ඒවා මිල දී ගත්තා. ඒ නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ. මේක සාමාන්‍ය තත්ත්වයක් යැයි ද සියඹලාපිටිය මහතා පැවැසීය.

රථ වාහන ආනයනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිතවරයා සඳහන් කළේ රට පවතින තත්ත්වය හමුවේ එය ගැඹුරින් අධ්‍යයනය කළ යුතු තත්ත්වයක් බවයි. තෙල් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 80ක් වෙන් කළ විට ද එය ඩොලරයේ අගය කෙරෙහි බලපෑමක් ඇති කළේ නම් රථ වාහන ආනයන වැනි ඩොලර් විශාල ප්‍රමාණයක් වැයවන කරුණක් පිළිබඳ සලකා බැලීම දැඩි අධ්‍යයනයෙන් යුතුව කළ යුතු බව ද හෙතෙම කීවේය. එබැවින් මේ අවස්ථාවේ දී රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දිය නොහැකි බව ඇමැතිවරයා තවදුරටත් සඳහන් කළේ ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment